2020 අපේක්‍ෂකයා ගැන පුද්ගලික අදහස් එපා


(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව නිසි වේලාවට තමා ප‍්‍රකාශ කරන හෙයින් එතෙක් තම තමන්ගේ පුද්ගලික අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වළකින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (16) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී විශේෂ ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (16) පැවැත්විණි.

එමෙන්ම පළාත් සභා මැතිවරණය දිනාගැනීම සඳහා පළාත් මට්ටමින් විරෝධතා රැළි මාලාවක් සංවිධානය කිරීමටද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගීවීමට නියමිතව සිටියද පුද්ගලික හේතුවක් මත ඔහු සහභාගිවූයේ නැත.

උද්ඝෝෂණ සංවිධානය කිරීම ගැන බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමටද මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.