වාර්තාවකින් නැවතුණ දේශබන්දු


ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය අඟහරුවාදා (05)දා පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඉවත් කෙරිණි. එම යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරු 177ක් කැමැත්ත පළකළ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවකු ඉදිරිපත් වුණේ නැත. එහෙත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් දිනා ගැනීමට උත්සාහ දරන රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පතිවරයාගේ නම ඉදිරියේ දේශබන්දු තෙන්නකෝන් නාමය මැකී ගියේ ඉතිහාසගත සලකුණක් තබමිනි. ඒ 2002 අංක 5 දරන ඉහළ නිලධාරීන් ධුරයෙන් ඉවත් කරන පනත ප්‍රකාරව ඉවත් කළ පළමු ඉහළ නිලධරයා මෙන්ම, පළමු පොලිස්පතිවරයා ද වන්නේ දේශබන්දු තෙන්නකෝන් ය. එම පනතට අනුව ඉවත් කළ හැකි නිලධරයන් වන්නේ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පමණි.

එම පනත ප්‍රකාරව අදාළ නිලධරයන් සම්බන්ධයෙන් විෂමාචාර සහ ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවහොත් ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් කමිටුවක් පත්කළ යුතුය. පනතට අනුව එම කමිටුව සඳහා අග්‍රවිනිශ්චකාරවරයා නම් කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙන් යුත් අයෙක් සහ කමිටුව පොලිස්පතිවරයා සම්බන්ධව නම් පොලිස් කොමිසමේ සභාපතිවරයා පත්කළ යුතුව ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගේ විමර්ශන කමිටුව සඳහා එවකට අග්‍රවිනිශ්චකාරවරිය විසින් නම් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන වර්තමානයේ අග්‍රවිනිශ්චයකාරවරයා වන ප්‍රීති පද්මන් සූරසේන ය. එසේම අගමැතිනිය සහ විපක්ෂ නායකවරයාගේ යෝජනා නාමය වූයේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දෙවෙල ය. ඉන් පසුව පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක ද ඇතුළත් විය. මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සඳහා පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් අවශ්‍ය වන අතර, ඊට පසුගිය අප්‍රේල් 8 දා අනුමැතිය හමුවිය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට විමර්ශන කමිටුව රැස් වී කමිටුව පවත්වාගෙන යන ආකාරයත්, දේශබන්දු තෙන්නකෝන්ට ලබාදෙන චෝදනා පත්‍රයත් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මැයි මාසයේ දී විමර්ශන කමිටුව ආරම්භ විය.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් ඒ වනවිට වැඩ තහනමට ලක්වී සිටියේය. ඒ 2024 වසරේ ජුලි 24 දා ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ නියෝගයකට අනුවය. ඊට හේතු වූයේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් වූ ගැටලු‍ සහගත තත්ත්වයක් නිසාය. එම නියෝගය නිකුත්කර ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ, වැඩ බලන පොලිස්පතිවරයකු එතෙක් ජනාධිපතිවරයාට පත් කළ හැකි බවය. ඒ ජනාධිපතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීම නිසාය. එහෙත් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩබලන පොලිස්පතිවරයකු පත් කළේ නැත. අවසානයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පතිවරයකු සහ වැඩබලන පොලිස්පතිවරයකු නැතිව ජනාධිපතිවරණය ඉතා සාමකාමීව පවත්වන ලදි.

නව රජය පත්වීමත් සමග 2023 දෙසැම්බර් 30 දා මාතර වැලිගම ඩබ්ලිව් 15හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තබා ගැනීමත්, ඒ සිදුවීමෙන් එක් පොලිස් නිලධාරියකු මිය ගොස් තවත් නිලධාරියකු තුවාල ලැබීමේ සිදුවීමත් සම්බන්ධයෙන් - විධිමත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය. ඊට අදාළව රහස් පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අතර ඒ අනුව එදින කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ගිය කණ්ඩායමත්, එහි ස්ථානාධිපති සහ අධ්‍යක්ෂවරයාත්, එවකට වැඩ බලන පොලිස්පති ලෙස රාජකාරි කළ දේශබන්දු තෙන්නකෝන් ද ඇතුළු අට දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරනු ලැබුවේය. ඒ 2025 පෙබරවාරි 28 දාය. එහෙත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිරයා ලෙස එම නියෝගය තඹයකට මායිම් නොකරමින් සැඟවී සිටියේය . අවසානයේ මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස පසුගිය මාර්තු 11 දා ඔහුව දුටුතැන අත් අඩංගුවට ගන්නා ලෙසට රහස් පොලීසියට නියෝගයක් නිකුත් කළේය. එහෙත් එම නියෝගයට අවනත නොවෙමින් මාර්තු 12 දා දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥයන් විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය වළකාලමින් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මේ අතර කාලයේ රහස් පොලිසියේ 20ක පමණ කණ්ඩායමක් යොදවා දේශබන්දු තෙන්නකෝන් සොයමින් රටපුරා ඇවිද්දේය. ඇතැම් ප්‍රභූ නිවාස, පන්සල්, ඔහුගේ මිත්‍රයන්ගේ නිවාස පවා පරීක්ෂා කළහ. පොලීසිය පොලිස්පති සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය. තෙන්නකෝන් විසින් අත්අඩංගුවෙන් බේරීම සඳහා යොදාගත් අවසන් තුරුම්පුව වූ අභියාචනාධිකරණ රීට් පෙත්සම මාර්තු 17 දා ප්‍රතික්ෂේප කළේය. එම නියෝගයත් සමග මාර්තු 18දා තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවාසය වටලා මත්පැන් බෝතල් 2000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්හ. එසේ අත්අඩංගුවට ගත් පසු දින දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ බාර වුණේ කිසිවක් නොවූ ගාණටය. පොලීසියට සොයා ගැනීමට නොහැකි වූ දේශබන්දු - ගිරිඋල්ල නිවසේ සිටි බව ඔහුම පැවසීය. කෙසේ වෙතත් එදින රිමාන්ඩ් වූ තෙන්නකෝන්ට නැවත ඇප ලැබෙන්නේ අප්‍රේල් 10 දාය. ඒ වනවිටත් ඔහුට එරෙහි කමිටුවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණේය.

ඒ අනුව කමිටුව විසින් සාක්ෂි කැඳවීම සඳහා වැඩ කටයුතු ආරම්භ කළ අතර, නීතිපති දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, රහස් පොලීසිය, නියෝජ්‍ය පොලිස්පතිවරු වන නිශාන්ත සොයිසා, ජගත් චන්ද්‍රකුමාර, කොළඹ අපරාධ කොට්ඨාසයේ චෝදනා ලත් නිලධාරීන් සහ දේශබන්දු තෙන්නකෝන් ය.

ඉතිහාසය ගත් කල ප්‍රේමදාස උඩුගම්පළ, ඩග්ලස් පීරිස්, අනුර සේනානායක, වාස් ගුණවර්ධන, ලලිත් ජයසිංහ, පුජිත ජයසුන්දර, නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් දක්වාම නම් ගම් එකී නොකී බහුතරයක් විනාශ කර දැමුවේ මේ රටේ මජර දේශපාලනය විසිනි. එහෙත් පුදුමය නම් තවමත් එය අවසන් වී නැත.

එම සාක්ෂි ලබාදීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ ඇනස්ලම් සිල්වා ඇතුළු මාතර වැලිගම ගිය කණ්ඩායම ඇත්ත ප්‍රකාශ කළේ ඉහළ නිලධාරින්ගේ වැඩ කරන්නට ගොස් අමාරුවේ වැටීම ගැන දුක් වෙමිනි. එහෙත් කොළඹ දිසාව භාර එවකට නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මෙලෝ හසරක් දැන සිටියේ නැත. කමිටුව නගපු ප්‍රශ්න වලට &යන්නෙ කොහෙද මල්ලේ පොල්”‍ වර්ගයේ උත්තර දුන්නේය. වගකීම් සහගත නිලධාරීන්ගේ අවිධිමත් රාජකාරි ගැන ඔහු රටට හොඳ පාඩමක් කියා දුන්නේය. අවසානයේ ඩබ්ලිව් 15 හෝටලයට යාම සහ වෙඩි තැබීම සහ නිලධාරීන් මියයාම, වන්දි ගෙවීම ආදී සියල්ල ප්‍රශ්න සහගත තැනකට කමිටුව ඉදිරියේ විය.

කෙසේ වෙතත් අවසානයේ කමිටුව විසින් සාක්ෂි විමසීමෙන් පසුව පනතේ (8) 2 වගන්තියට අනුකූලව අදාළ නිලධාරියා ඔහුට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් සිය අවසන් වාර්තාව කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත අගෝස්තු 5 දා මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වමින් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ ඡන්ද වීමසීම පැවැත්වීමට එකඟතාවයකට ආවේය.

පසුගිය අඟහරුවදා විවාදය ආරම්භ කරමින් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර සිටියේ දේශබන්දු තෙන්නකෝන්ට එල්ල කළ චෝදනා 23 න් 19 කට සම්පූර්ණයෙන් ඔහු වරදකරු බවට කමිටුව තීරණය කර ඇතැයි යන්නය. එයින් 2 ක් අධිකරණයේ විභාග වන නිසාත් තවත් දෙකකට වරදකරු නොවන බවත් ඔහු දන්වා සිටියේය. කෙසේ වෙතත් මෙහි දී දේශබන්දු තෙන්නකෝන් ට අතීත චෝදනා කිහිපයක් ද එල්ල කළේය. එකක් භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා වෙඩි තැබීමේ දී ඔහු දුමින්දගේ වාහන පේළියේ ගිය අයකු බවටත්, සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රියන්හි සිද්ධාලේප ආලේප කිරීමක් සම්බන්ධයෙන් වරදකරු වීම ගැනත්, අරගලයේ දී මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගමට පහරදීම සම්බන්ධයෙනුත් චෝදනා එල්ල කළේය. ඒ නිසා ඔහු පොලිස්පති ධුරයේ රාජකාරි කරන්නට නුසුදුස්සෙකු බව සඳහන් කළේය.

එහෙත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කීවේ ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම පසුපස කෙනෙකු ඉන්නා බවත්, ඔහුගේ නම කතා නොවන බවත්, දේශබන්දු තෙන්නකෝන් අනුන්ගේ වරදකට දඬුවම් ලබන බවත් ය. ඒ නිසා හැම රාජ්‍ය නිලධාරියාටම දේශබන්දු තෙන්නකෝන් හොඳ ආදර්ශයක් බව ඔහු කීවේය. මෙම විවාදයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දය ලබා නොදී සිටීමට තීරණය කළ අතර, සමගි ජන බලවේගය ඡන්දය පක්ෂව ලබාදීමට එකඟ විය.

ඒ අනුව 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම මන්ත්‍රීවරු 177 දෙනෙකුගේ ජන්දයෙන් සම්මත විය. ඉන් අනතුරුව එම තීරණය කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා යැවු අතර, ජනාධිපතිවරයා විසින් 36 වන පොලිස්පති ඉවත් කළ බව නිල වශයෙන් පිළිගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ඊළඟ පොලිස්පති තෝරා ගැනීම සඳහා නාමයන් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇත. ඊළඟ පොලිස්පති කවුද යන්න තීන්දු වන්නේ ඉන් අනතුරුවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පොලිසිය තරම් දේශපාලනිකව තැළී පොඩිවී ගිය ආයතනයක් නොවූ තරම්ය. කාලයක පටන් පොලිස් නිලධාරීන් දේශපාලනීකරණය වුණේ ඉබේටය. විශේෂයෙන් ස්ථානාධිපති ධුරය ලබා ගැනීමට ආරම්භ වන දේශපාලන ගනුදෙනුව අවසානයේ උසස්වීම දක්වා ඇදී යන අතර, කාලයක් සමග එකී පොලිස් නිලධාරියා “අපේ එකෙක්”‍ කියන තැනට දේශපාලනඥයන් විසින් පත් කරන්නේ ඉබේටම ය. එතැණින් ඉහළ යන්න යන්න පොලිස් නිලධාරියාත් දේශපාලඥයාත් අතර ඇතිවන සහ සම්බන්ධය සුළු පටු නොවේ. මේ හේතුවෙන් අවසානයේ දක්ෂ හොඳ පොලිස් නිලධාරීන් විනාශ වන්නේ බලා සිටියදීම ය.

ඉතිහාසය ගත් කල ප්‍රේමදාස උඩුගම්පළ, ඩග්ලස් පීරිස්, අනුර සේනානායක, වාස් ගුණවර්ධන, ලලිත් ජයසිංහ, පුජිත ජයසුන්දර, නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් දක්වාම නම් ගම් එකී නොකී බහුතරයක් විනාශ කර දැමුවේ මේ රටේ මජර දේශපාලනය විසිනි. එහෙත් පුදුමය නම් තවමත් එය අවසන් වී නැත. අනාගතයේ ද එකී දේශපාලනයට ගොදුරු වන ඇතැම් නම් ගම් දැනටමත් දේශපාලන පොර පිටිය තුළ කතාවනු ඇත.

දමිත් කරුණාතිලක