එය එසේ නොවිය යුතුව තිබුණි - යටිනුවර ප්‍රා.සභාවේ හිටපු සභාපති, බිරිඳ සහ දියණියගේ මරණය වළක්වාගත හැකිව තිබුණි ද?


අප සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී විවිධ ස්වරූපයෙන් සිය දිවි නසාගැනීම සාමාන්‍ය ප්‍රවෘත්තියක් වශයෙන් ගණන් ගැනුන ද  ඉකුත් සතියේ අතිශය සෝචනීය සංවේදී සිය දිවි නසා ගැනීමක් සහ ඝාතන දෙකක් පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න කම්බිඅඩිය ප්‍රදේශයෙන් දී වාර්තා විය.

අධික ආදරය, ආත්මීය බැඳීම් අත්හැරීමට ඇති ලොල්කම වැනි හේතු කාරණාවලදී මෙවැනි ශෝචනීය ප්‍රවෘත්ති වාර්තාවීම සුලභ විය හැක.

මහනුවර සිටින ප්‍රමුඛ පෙළේ සමාජ විශ්ලේෂකයකු මෙන්ම රජයේ වෛද්‍යවරයකු හා නීතිඥයෙකු ද වූ පාලිත බණ්ඩාර සුභසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ මෙම සිද්ධිය බොහෝ විට තීව්‍ර අවපීඩනය නමැති මානසිකත්වය උඩ සිදුවූ ඝාතන දාමයක් සහ සියදිවි නසාගැනීමක් වශයෙන් හැඳින්විය හැකි බවයි.

එම ශෝචනීය සිදුවීමේදී හතර දෙනකුගෙන් යුත් සුන්දර පවුලක කුඩා එක් දියණියක හැරෙන්නට ඔවුන්ගේ වැඩි මහලු‍න් සියලු‍ දෙනා මේ වන විට මෙලොව හැර ගොසිනි. දකුණු ආසියාවේ කෙළවරක පිහිටි බංකොලොත් වී සිට නැවත ගොඩ ගියා යැයි කියන රාජ්‍යයක මෙවැනි සිදුවීම් අසන්නට බලන්නට ලැබීම සාමාන්‍ය දෙයක් වුවද මෙම සිදුවීම බොහෝ දෙනකුගේ හදවතට තට්ටු කළ සිදුවීමක් විය.

මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම වත්මන් විපක්ෂනායක චම්පික නිලන්ත (52), ඔහුගේ භාර්යාව වූ දිල්රුක්ෂි රාජපක්ෂ (44) සහ ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ සිහාරා හපුගොඩ (16) යන අයයි.

ඔහු කොතරම් සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙකු වශයෙන් සිටි අයකු ද යන්න ඔහු මෙම ඛේදවාචකයට මුහුණ දීමෙන් අනතුරුව පළ වූ කතිකාවෙන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඉකුත් අඟහරුවාදා (29) දිනයේ හිරු උදාවත් සමඟ බොහෝ ප්‍රවෘත්ති ධාරාවලින් කියවුණේ යටිනුවර ප්‍රදේශයේ දේශපාලකයෙකු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවසේ මියගොස් ඇති බවයි. සැබැවින්ම එය දිවි නසා ගැනීමක්ද එසේත් නොමැති නම් ඝාතනයක්ද යන්න බොහෝ දෙනෙකුට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. 

එහෙත් ඔහු සියදිවි නසාගැනීමට පෙර ලියන ලද පිටු හතරකින් යුත් ලිපියකින් ඔහු පවුලේ අනෙකුත් අය ඝාතනය කොට ඔහු සිය දිවි නසාගෙන ඇති බව සඳහන් විය කිසියම් පුද්ගලයෙකුගේ තර්ජන හමුවේ ඔහු පවුලේ සාමාජිකයන් ඝාතනය කොට ඔහුද ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පසුව තහවුරු විය. එසේම ඔවුන්ගේ බාල දියණිය විසින් ලබාදුන් ප්‍රකාශයෙන්ද ඒ බව වඩාත් තහවුරු විය.

දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වූ පුද්ගලයෙකු වශයෙන්ද දේශපාලන තලයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි පුද්ගලයෙකු කිසියම් පුද්ගලයෙකුගේ තර්ජනයකට ගර්ජනයකට භාජනය වී මෙවැනි විනාශයක් සිදුකර ගනීවී යැයි බොහෝ දෙනෙකුට තිබූ ගැටලු‍වකි. ඔහු ඊට පෙර දිනයේ හැසුරුණ ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බොහෝ දෙනකු පවසා තිබුණේ ඔහුගේ මානසිකත්වයේ කිසිදු ආකාරයක වෙනසක් දක්නට නොලැබුණ බවයි.

එහෙත් මෙහි තුළ ගැබ් වූ සංවේදී කතාවක් තිබේ. එය ඔබට ද අපට ද යම් දුර්වල අවස්ථාවකදී පීඩාකාරී විය හැකි අවස්ථාවක් විය හැක.

සැබැවින්ම ඔහු දේශපාලනයේ නිරත වුවද ඔහු අහිංසක පුද්ගලයෙකි. දේශපාලනයෙන් හරිහම්බ කරගත් ඒ හා සම්බන්ධයෙන් ඉහළ වටපිටාවක් ගොඩනගා ගත් පුද්ගලයකු නම් තවත් අයෙකුගේ තර්ජන ගර්ජන හමුවේ මෙවැනි ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සිතිය නොහැක.

ඔහු අංශ කිහිපයකින් මානසික ආතතියට පත්ව සිටි බවක් අවසන් වශයෙන් ලියූ ලිපියේ සඳහන්ව තිබේ. එක් පැත්තකින් විජේසිංහ නමැති පුද්ගලයා විසින් ඔහුට දිගින් දිගටම එල්ල කරන තර්ජනය. අනෙක් පැත්තෙන් ඔහුගේ දහසය හැවිරිදි දියණියට වැළඳී ඇති චර්ම රෝගයකි. තම පවුලටත් දියණියන් දෙදෙනාටත් අතිශයින් ආදරය කළ මේ පියාට දරා ගැනීමට නොහැකි තරම් පීඩනයක් දෙපැත්තෙන්ම එල්ල වෙමින් තිබූ බවක් පෙනෙන්නට තිබේ. 

රටම කම්පාකල යටිනුවර ඛේදවාචකය

විජේසිංහ නමැත්තා විසින් එල්ල කරන තර්ජන හමුවේ ගෙදරද ගිනි ගනිමින් පණ මෙන් ආදරය කරන තම වැඩිමහල් දියණියගේ චර්ම රෝගයට ප්‍රතිකාර කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වීම හමුවේ පියෙකු කොතරම් අසරණ විය හැකි ද?

තම දියණිය මුහුණ දී ඇති චර්ම රෝගය හේතුවෙන් ඇය පාසල් යාමට නොහැකි බව පවසමින් පියාට ඇවිටිලි කරන විට පියෙකුට ඇතිවන මානසිකත්වය කෙසේ විය හැකිද. එසේම එම මානසික පීඩනය හමුවේ ඇයද එක්තරා අවස්ථාවක සියදිවි නසාගැනීමට උත්සාහ කළ බව එම ලිපියේ සඳහන්ය.

මෙම ඛේදවාචකය පිළිබඳව චම්පික නිලන්ත කාලයක් තිස්සේ හඳුනන බව සඳහන් යෙහෙළියක විසින් අපූරු සටහනක් තබා තිබුණි. එයින් කියවී තිබුණේ යම් සිද්ධියක කටුක බව දන්නේ එයට මුහුණ දෙන පුද්ගලයා පමණි. එහි බියකරු බව දන්නේ ඔහුමයි. සැබෑ සිද්ධිය දකින්නේ ද ඔහුමය. එහි බරපතළකම දැනෙන්නේ ද සිද්ධියට මුහුණ දෙන ඔහුමය යනුවෙනි.

කෙසේ නමුත් මෙම ඛේදවාචකයට මුහුණ දුන් චම්පික නිලන්ත විසින් ලියන ලද අවසන් ලිපියේ මහනුවර කොට්ඨාසයේ ඉහළ පොලිස් නිලධාරියෙකු පිළිබඳව ද සඳහන්ව ඇත. මෙවැනි කරුණු කාරණාවල දී හැඟී යන්නේ තරු ඔටුනු පැලඳිවිට ඔවුන් වටා සමාජයේ විවිධ ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් එකතුවන බව ඉතිහාසය පුරා සිදුවූ සිදුවීම්වලින් බොහෝ විට දැක  තිබේ. 

එවැනි පුද්ගලයන් ඈත්කිරීම වෙනුවට ඔවුන් සමග එකතු වී කටයුතු කිරීම තුළින් ලැබෙන වාසි හමුවේ බොහෝ නිලධාරීහු අන්ධභාවයට පත්වේ. බොහෝ තරු ඔටුනුකාරයන්ට නිදාගන්නේ කා සමග ද යන්නත් නැගිටින විට ඇගේ සිටින සතුන් පිළිබඳවවත් ඔවුන්ට අවබෝධයක් නොලැබෙන්නේ ශරීරයට ලැබෙන සැප සම්පත් අතට ලැබෙන මිටමෙළවීම් සහ ප්‍රශස්ති ගායනා හමුවේය. එවැනි තරු ඔටුනුකාරයන් ඔවුන් කණාමැදිරියන් සේ විනාශයට ළඟාවීම ඛේදනීය වේ. 

ඇතැම් ඉහළ නිලධාරීහු විශ්‍රාම යාමට ළං වීමත් සමඟ ඔවුන් සිටි මුල් යුගයට නැවත තට්ටු කරමින් සමාජයේ ආශ්‍රය නොකළ යුතු පුද්ගලයන් ආශ්‍රය කරමින් ඉතාමත් වේගයෙන් බොහෝ දේ කරගැනීමට උත්සාහ කිරීම චම්පික නිලන්ත ලියූ ලිපියේ අරුතයි.

බොහෝ දෙනකු නොසිතන එක් දෙයක් ඇත. ඉසිඹු ගිය විට කුඩා හුණ්ඩුවක් බඳු වූ මෙම මහනුවර නගරයේම කරක් ගැසිය යුතු බව අමතක කිරීම කනගාටුවට කාරණාවකි. එහෙත් මෙම සිද්ධිය පිළිබඳව අප සමඟ සාකච්ඡා කළ බොහෝ ඉහළ නිලධාරීන් පවසා සිටියේ ඔවුන් ඉසිඹු ගිය විට තම දූ දරුවන් මුනුපුරන් සමග මේ නගරයේ සැරිසැරීමට තරම් වටපිටාවක් ඔවුන් විසින් සකසාගෙන ඇති බවයි.

 මෙම ව්‍යාපාරිකයා සහ ඉහළ පොලිස් නිලධාරියා පිළිබඳව කොළඹ පොලිස් මූලස්ථානයෙන් පැමිණි විශේෂ රහස් පොලිස්‌ කණ්ඩායමක් සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පත්කරන ලද තවත් පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කොට තිබේ.

සමාජ විශ්ලේෂක සහ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසා සිටියේ මියගොස් සිටින දේශපාලකයා දේශපාලන දිවියේදී  විවිධ අභියෝග, මඩ ප්‍රහාරවලට ලක් වෙමින් තෙම්පරාදු වූ පුද්ගලයකු විය හැකි බවයි. එහෙත් කුමන ආකාරයට තෙම්පරාදු වී සිටියද එදිනෙදා පැමිණෙන විවිධ ප්‍රශ්න ගැටලු‍ හමුවේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටිය ද එක්තරා අවස්ථාවක දැඩි මානසික අවපීඩනයක් පැමිණි විට කිසිවෙකුත් නොසිතන අවස්ථාවක දී මෙවැනි දේ වලට යොමු විය හැකි බවයි.

ව්‍යාපාරිකයාගෙන් පොලිසියෙන් සහ ඔහුගේ දරුවාගෙන් පැමිණෙන පීඩනය කොතරම් දරාගෙන සිටියත් එක් අවස්ථාවකදී එය පුපුරා යා හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි. ඔහුගේ අවසාන තීන්දුව ගෙන ඔහු පමණක් එම ගමන ගියහොත් ඔහුගේ භාර්යාවට දරුවන්ට බලපෑම් කරන පිරිස්වලින් තර්ජන එල්ල විය හැකි බවට ඔහු සිතීමෙන් ඔවුන්ද මෙලොවින් තුරන් කොට ඔහුගේ ගමන යාමට තීරණය කළා විය හැක. අධික ආදරය ස්නේහය හමුවේ එවැනි ද සිදුවිය හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කරනුයේ.

මෙරට අධ්‍යාපන ක්‍රමය විභාග පාස් කිරීමට දරුවන් පාඩමට යොමු කරනවා මිස ප්‍රශ්න නිරාකරණය, පෞරුෂත්වය ගොඩනැගීම වැනි ඉසව් ඔස්සේ අධ්‍යාපන ක්‍රමය හැඩ නොගැසීමද මෙවැනි ඛේදනීය සිදුවීම් වාර්තාවීමට මූලික වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. 

“ගණන් හැදීමේදී පැමිණෙන්නේ එක් උත්තරයක් වුවද ජීවිතයේ ප්‍රශ්නවලදී ඇත්තේ එක් උත්තරයක් නොවේ. ප්‍රශ්නවලට විවිධ ඉසව් ඔස්සේ උත්තර තිබේ.” වෛද්‍යවරයා අවසන් වශයෙන් අවධාරණය කළේය.

ෂේන් සෙනෙවිරත්න