හැදුණොත් බෙහෙත් නැති සූකර උණ පාලනය ගොවිපළ හිමියන් අතේ


2024 වසරේ සිට මෙරට ඌරු ගොවිපළවල් තුළ ව්‍යාප්ත වන්නට පටන්ගත් සූකර උණ වෛරසයේ බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැත. දිස්ත්‍රික්ක ගණනාවක පැතිර යමින් ගොවිපළ කර්මාන්තයට මෙන්ම නිෂ්පාදකයන්ගේ ආර්ථිකයට ද දැඩි තර්ජනයක් එල්ල කර ඇති මෙම මාරාන්තික වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා, සමස්ත ගොවිපළ හිමියන් දැඩි අවධානයකින් සහ වගකීමෙන් යුතුව තාක්ෂණික මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ කාලීන අවශ්‍යතාවක් මතුව තිබේ.

ලංකාවේ ඌරු ගොවිපළවල් තුළ තවමත් ව්‍යාප්ත වෙමින් පවතින සූකර උණ වෛරසය පාලනය කිරීම සඳහා ගොවිපළ හිමිකරුවන් නිසි පරිදි දැනුවත් වී වගකීමෙන් කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සඳහන් කරයි.

සූකර උණ යනු ඌරන්ට පමණක් වැලඳෙන, අතිශයින්ම මාරාන්තික වසංගත රෝගී තත්ත්වයකි. මෙරට තුළ ප්‍රථම වරට මෙම වෛරස් රෝගය වාර්තා වූයේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ප්‍රථමයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ආශ්‍රිතව වාර්තා වූ මෙම රෝගී තත්ත්වය, පසුව ගාල්ල, කළුතර, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ගණනාවක ඉතා වේගයෙන් පැතිරී ගියේ විශාල සතුන් ප්‍රමාණයක් මරණයට පත් කරමින් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙම වෛරසය ගෘහ ආශ්‍රිතව ඇති කරන ඌරන්ට මෙන්ම වනාන්තරවල වෙසෙන ඌරන්ට ද එක ලෙස වැලඳෙන බව වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පවසයි. රෝගය යම් ගොවිපළකට බෝ වූ පසු එහි වෙසෙන ඌරන්ගේ මරණ ප්‍රතිශතය 30% තරම් ඉහළ අගයක් දක්වා වැඩි විය හැක. කෙසේ වෙතත්, මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණ ලෙස ඔහු සඳහන් කරන්නේ මෙම රෝගය මිනිසුන්ට බෝ නොවන බවයි. සතුන් ගොවිපළවල් තුළදී විශාල වශයෙන් මියයාම නිසා මෙහි ප්‍රධානම හානිය වන්නේ ගොවිපළ හිමියන්ට මුහුණ දීමට සිදුවන බරපතළ ආර්ථික පාඩුව බවත් ඔහු අවධාරණය කරයි. රෝගය වැලදුණු සතුන් කෙටි කාලයක් ඇතුළත මිය යන අතර අධික උණ, ආහාර අරුචිය, දැඩි වෙහෙසකර බව, හුස්ම ගැනීමේ අපහසුතා, සම මත නිල් පැහැති ලප ඇතිවීම, වමනය සහ පාචනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැක.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ගොවිපළවල්වල ලබා දෙන ඉඳුල් ආහාර මඟිනි. ඊට අමතරව ආසාදිත සතුන් ප්‍රවාහනය කෙරෙන ලොරි රථ වැනි වාහන මඟින් එක් ගොවිපළකින් තවත් ගොවිපළකට වෛරසය ගෙන යා හැක. මියගිය සතුන් නිසි පරිදි බැහැර නොකොට පරිසරයට, වනාන්තරවලට හෝ ජල මූලාශ්‍රවලට මුදා හැරීම නිසා වෛරසය පරිසරයට නිදහස් වී රෝගය ඉතා ඉක්මනින් පැතිරෙයි. බොහෝ ගොවිපළවල ඉවතලන ද්‍රව්‍ය හා ඉඳුල් විෂබීජහරණය නොකර බැහැර කිරීම නිසා ආහාර සමඟින්ම වෛරසය සතුන්ගේ ශරීරගත වන අතර, කිනිතුල්ලන් වැනි සතුන් හරහා ද රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතියි. මෙරට තුළ ඌරු ගොවිපොළවල් 3500 ක් පමණ පවතින අතර ඒවායේ වෙසෙන සතුන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වෙයි. වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැති බැවින්, ඕනෑම රටකට මෙම රෝගය පැමිණි පසු එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අසීරු බවත්, ඒ නිසා ජෛව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම එකම විසඳුම බවත් ඔහු පෙන්වා දෙයි.

සූකර උණ යනු ඌරන්ට පමණක් වැලඳෙන, අතිශයින්ම මාරාන්තික වසංගත රෝගී තත්ත්වයකි. මෙරට තුළ ප්‍රථම වරට මෙම වෛරස් රෝගය වාර්තා වූයේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදීය.

ඒ සඳහා ගොවිපළවල් තුළ ස්ප්‍රේ යන්ත්‍ර සවි කිරීම, බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අවම කිරීම, ගොවිපළවල් සහ භාවිතා කරන ඇඳුම් පැලඳුම් නිසි පරිදි පිරිසිදු කිරීම මෙන්ම වාහන ඇතුළු වන විට විශේෂ ක්‍රියාපටිපාටියකට අනුව විෂබීජහරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම ආසාදිත සතුන් සිටි ගොවිපළකට නැවත සතුන් ගෙන ඒමේදී ඔවුන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභිජනන ගොවිපළවලින් පමණක් ලබාගෙන වෙනම තබා නිරෝධායනය කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි. රෝගය වැලඳුණු ගොවිපළක් අවම වශයෙන් මාස එකහමාරක්වත් වසා තබා, විෂබීජහරණය කර, පශු වෛද්‍ය උපදෙස් මත නැවත ආරම්භ කළ යුතුය. එසේ ආරම්භ කිරීමේදී මුලින්ම දැමිය යුත්තේ සමස්ත ධාරිතාවයෙන් 10% ක ප්‍රමාණයක් පමණි. සති හයක් යනතුරු එම සතුන් පරීක්ෂා කර ආසාදිත තත්ත්වයක් නැතිනම් පමණක් ක්‍රමයෙන් උපරිම ධාරිතාවට ළඟා විය යුතුය. නැතහොත් සිදුවන්නේ අලු‍තින් ගෙන එන සතුන් ද මියයාමයි.

පසුගිය කාලසීමාවේදී බොහෝ ගොවිපළවල් පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වී නොසිටීම සහ උපදෙස් නොපිළිපැදීම දැකගත හැකි වූ බවත්, නීති විරෝධී ලෙස සතුන් ප්‍රවාහනය කර තිබූ බවත් වැඩිදුරටත් සඳහන් කරයි. 1992 අංක 19 දරන පනතට අනුව සතුන් ප්‍රවාහනය කිරීමේදී අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාගෙන් ලබාගන්නා සෞඛ්‍ය සහතිකයක් තිබීම අනිවාර්ය වේ. ඉදිරියට එන උත්සව සමයත් සමඟ මස් සඳහා ඇති ඉල්ලු‍ම ඉහළ යන බැවින් කුඩා පරිමාණයෙන් සතුන් දෙදෙනා තුන්දෙනා ඇති කරන පිරිස් ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත නොකිරීම නිසා රෝගය මහා පරිමාණ ගොවිපළවලට ද පැතිර යාමේ විශාල අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා දැනට පනවා ඇති නීතිමය සීමා මායිම් දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් ඒ අනුව අවදානම් සහිත ඌරන්, එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය ආසාදිත ප්‍රදේශ තුළ හෝ පිටතට ප්‍රවාහනය කිරීම, ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමට ලක්වූ සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිතය, සජීවී සත්ත්ව වෙෙළඳපොළවල්, ප්‍රදර්ශන හා තරග පැවැත්වීම සපුරා තහනම් බව ඔහු පවසයි.

එමෙන්ම ඌරන් සහ ඌරු මස් නිෂ්පාදන විකිණීම, ගබඩා කිරීම, බෙදා හැරීම මෙන්ම රෝගයෙන් මියගිය හෝ ආසාදිත සතුන්ගේ මළකුණු සහ කොටස් ජල මූලාශ්‍රවලට දැමීම හෝ වෙනත් සතුන්ට රැගෙන යා හැකි පරිදි අවට පරිසරයට දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මෙරට තුළ සතුන්ගේ හිඟයක් ඇතිවීම වැළැක්වීම සහ රෝගය පාලනය කිරීම සඳහා පශු වෛද්‍යවරුන් ලබාදෙන තාක්ෂණික මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය උපදෙස් තදින්ම පිළිපදින ලෙස වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සියලු‍ම ගොවිපළ හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

සජිනි ගුරුගේ