වර්තමාන ලෝකයේ සෑම කාන්තාවකටම ජීවිතයේ යථාර්ථය අවබෝධයෙන් කියා දෙමින්, ආදරයට සහෝදර ප්‍රේමය දෙමව්පිය සෙනෙහස වටහා දෙන අපූරු කාන්තාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කාගම නැමති ගම්මානයෙන් අහම්බෙන් අපට හමු වූවාය.
ජාතක කතා පොතේ එන කතාවක් මෙන්ම වර්තමාන සමාජයට ඇයගෙන් ඉගෙනගැනීමට හැකි පාඩම් රැසකි. ජීවිතය ජය ගැනීම සඳහා කරන කැප කිරීමද ඉතාමත් අගය කළ යුතුව තිබේ.
මහා මෙරක් ලෙස උපන් සහෝදර ප්‍රේමය මහා මෙරක් මෙන්ම තුරුණු වියේ හැඟුණු ආදර අන්දරය පසුකාලීනව මවක වී බෙදා හරින දරු සෙනෙහසේ මෙන්ම උතුම් පින්කම් කරන, ජනතාව වෙනුවෙන් සා පිපාසාව නිවන ආහාර රස කරවන විරල ගැහැනියගේ කතාව අපට එතරම්ම සමාජීය වශයෙන් වැදගත්කමක් ඇතැයි සිතමු.
ඇය නමින් අයි.ඩී. නිල්මිණි ය. වයස අවුරුදු හතළිස් නවයකි. ඇය පදිංචිව සිටින්නේ අංක තුන ඇළ, කාගම යන ලිපිනයේය. නිල්මිණි දියණියන් දෙදෙනෙකුගේ මවකි. ඇයගේ ආදරණීය සැමියා විනූෂ විපුලසේන, ආබාධිතව රෝද පුටුවක දිවි ගෙවයි. ඇයගේ ජීවිතය වෙනස් කළ තම සහෝදරිය ලුෂානි දමයන්ති දැනට ආබාධිතව ඇඳක් මත ජීවිතය ගෙවමින් සිටින්නීය. සැමියාගේ සහ තම ආදරණීය නැඟණියගේ බර කරටගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාගම නමැති දුෂ්කරක බිමක සරුසාර ගම් මිරිස් වගාවක් ආරම්භ කොට එහි උපරිම පල නෙළා ගෙන ජීවිතය ගොඩනඟා ගන්නා ඇය, මේ වෙන විට ජලය පිරිපහදු කරමින් දේශයේ ජනතාව වකුගඩු මාරයාගෙන් බේරාගැනීමේ උදාර කටයුත්තද සිදු කරමින් සිටි.
මෙම දිරිය කත, කාන්තාවකට ඕනෑම දෙයක් කිරීමට හැකි බව මොනවට පැහැදිලි කරමින් පෙන්වා දීම විශේෂත්වයකි
නිල්මිණිගේ ආදරණීය සැමියා පාසල් වියේ දී දඟකාර හැඩකාර මෙන්ම අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් ඇතිව සිටි කොලු ගැටයෙකි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි ඔහු දිනක පාසල් යෑමට සූදානම් වෙද්දී ඔහුගේ පියාණන් හිස අතගාමින් මෙසේ පවසා තිබේ.
පුතා අද පරිස්සමෙන් ගෙවන්න ඕනෑ දවසක්. මම ඊයේ රාත්‍රියේ මහා නරක හීනයක් දැක්කා. සෙනසුරාදා උපකාරක පන්තිය නේද තියෙන්නෙ? අද නොගිහින් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා” ඊට පිළිතුරු දුන් විනූෂ “තාත්තේ අද සිංහල තමයි තියෙන්නෙ. තව ටික දවසයි විභාගයටත් තියෙන්නේ. මම පරිස්සමෙන් ඉන්නම්”
ඔහුගේ පිළිතුරට අවනතව පාසලේ උපකාරක පන්තියට ගිය විනුෂ පිළිබඳව නපුරු තොරතුරක් පියාට හවස් වෙනකොට කන වැටෙන්නට වූයේ, තවත් තරුණයන් පිරිසක් සමඟ පාසල් වත්ත ආසන්නයේ තවත් අයෙකුගේ වත්තකට ගොස් කොස් ගසකට නැග වැළගෙඩි කැඩීමට ගිය තම පුතා කොස් ගසෙන් ඇද වැටී රෝහල්ගත කොට ඇති පුවතය.
එදා සිට අද දක්වාම ඔහු සුසුම්නාවේ ආබාධයට ලක්ව රෝද පුටුවේ දිවි ගෙවයි.
රෝද පුටුවේ දිවිගෙවන ඔහුට ආදරය කරමින් විවාහ වෙන්නේ කෙසේදැයි ඕනෑම අයෙකුට ප්‍රශ්නයකි. මේ වන විට උසස් පෙළ විභාගය ලියා සිටින දියණියත් දහවැනි වසරේ ඉගෙන ගන්න දියණියත් ආබාධිත රෝද පුටුවේ සිටින විනුෂගේ ඇති තවත් සම්පතකි.
අනුරාධපුර රෝහලෙන් එදා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පුනරුත්ථාපන කටයුතු සඳහා රාගම පුනරුත්ථාපන රෝහලට මාරුකර යවා තිබිණි, එහි වසර කිහිපයක් ඔහුගේ මානසික මට්ටම සහ ශාරීරික අවශ්‍යතා සියල්ල පුනරුත්ථාපනය කිරීම සිදුකරන ස්ථානයකි, එහිදී නිල්මිණී නමැති ලස්සන රුවක් ඇති තරුණිය ඔහුට හමුවීම පිළිබඳව මෙසේ අප සමග පැවසීය.
“මම පුනරුත්ථාපන රෝහලේ ඉන්නකොට නිල්මිණිගේ නංගිත් එම රෝහලේම පුනරුත්ථාපනයට ගෙනල්ල තිබුණා. එයා තමයි නංගිගේ ඇප උපස්ථානවලට හිටියේ. එයා හරි ලස්සනයි. එයාගේ නංගි ලූෂනි දමයන්ති, උසස් පෙළ විභාගය ලියලා, තරුණියන් කණ්ඩායමක් එක්ක කජු පුහුලම් කඩන්න කජු ගහකට නැගිලා පෙරළිලා සුසුම්නාව බිඳිලා, එම රෝහලේ දී අපි කතාබහ කරමින් කාලයක් යාළුවො වගේ හිටියා.”
ඒ අතර තුර එයාගෙයි මගෙයි ආදර අන්දරය ආරම්භ වුණා. මේ බව අපි දෙමව්පියන් දැනුවත් කළා, පස්සේ නිල්මිණී මගෙන් මේ වගේ ඉල්ලීමක් කළා
“මම ඔයාවත් මගේ නංගිවත් ජීවිත කාලයම බලා ගන්නම්. ඒ නිසා කසාඳ බැඳලා යනකොට මගේ නංගි අපි දෙන්නා එක්ක ගෙදරට එක්ක යන්න අවසර දෙන්න”
ජලය අලවි කරන හැටි
“මම එක පයින් කැමති වුණා. මොකද ඒ නංගිත් එයාලගෙ අම්මා තාත්තා නැති දවසක් එනවා. මමත් අම්ම තාත්තා නැති දවසකට අනාථ වෙනවා. ඒ නිසා මගේ ආදරණීය පෙම්වතිය අපි දෙන්නව බලා ගනීවි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ අනුව කෑගල්ලේ උපත ලබපු ජීවත් වූ මගේ ආදරණීය බිරිඳ එයාගේ නංගිත් එක්කගෙන අනුරාධපුරේ කාගම අපේ ගෙදරට ආවා.”
ජීවත්වීමේ බරපතළ ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට එහි දී මතු වෙනු නිසැකය. ඔවුන් මහා පොහොසතුන් නොවේ. අපහසුතා මැද ජීවත්වෙන පවුල්වල අය. කුලී වැඩ ආදී සිදු කරමින් අලුත් ජීවිතයට හුරු වූ නිල්මිණි ජීවිතය ගැන සැලසුම් සකස් කරන්නට වූවාය, ජීවිතය කාල සටහන් බෙදන්නට වූවාය. සැමියාගේ වැඩටික සිදුකර නැඟණියගේ වැඩටික සිදුකර කුමන හෝ රැකියාවක් කරගෙන ආහාරපාන පිස අසනීප තත්වයේ සිටින සැමියාගේ පියාටද ඇප උපස්ථාන කිරීම ඇයගේ දින චර්යාව බවට පත් වූවාය.
නිල්මිණි සිදුකරන අපූරු ජීවිත කතාව ගම්මිරිස් ඇට කඩමින් ඇය අප සමග කියන්නට වූයේ, අප සමග ගෙවන කාලයද ඇයට විශාල පාඩුවක් වනු ඇති බව සිතාගෙනය.
“මම අනුරාධපුරයට ඇවිල්ලා කල්පනා කළා මේ අයව ජීවත් කරවන්නෙ කොහොමද කියලා. ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක උදව් උපකාර ලබාගෙන කොළඹ හත, සම්බෝධි විහාරයේ බෞද්ධයා නාළිකාවේ අනුග්‍රහය ඇතිව මම, වකුගඩු රෝගය පැතිර යන නිසා වතුර ෆිල්ටරයක් පෙරනයක් ඉල්ල ගත්තා. ඒකෙන් අද පිරිසුදු කළ වතුර ටිකක් අලෙවි කිරීම කරනවා, එයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා”
“පිරිපහදු කරලා ඉවත් කරන වතුර ටික ප්‍රයෝජනයට ගන්න මම කල්පනා කළා. අපි පදිංචියට ආපු ඉඩමේ ඉඩකඩක් තිබුණා. මම අපේ ගමට ගිහිල්ලා ගම්මිරිස් පැළ පහළොවක් විතර අරගෙන ඇවිල්ලා ගම්මිරිස් හිටව ගත්තා, පිරි පහදුවෙන් අයින් කරන වතුර ටික හෙමිහිට හෙමිහිට දැම්ම. ගෙදර අවට හැම තැනකම අපිට අවශ්‍ය එළවළු ටික වවා ගත්තා. වත්තේ පොල් ගස් ටිකකුත් හිටව ගත්තා. වසර ගණනාවක් තිස්සේ මේවා ලොකු වෙනකොට අස්වැන්න එනකොට ගම්මිරිස් වගාව තව ටිකක් මම වැඩි කරගත්තා. ඒවායේ අතුවලින්ම කපා අලුත් පැළ හදා ගත්තා. දැන් මගේ මුළු වත්තෙම අංගසම්පූර්ණ ගම්මිරිස් වත්තක්, අද මගෙ වත්ත ඇතුළට එනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්නවා කියලා හිතෙන්නෙම නෑ. ගම්මිරිස් වැල්වල කරල් පිරිල තියනවා. ඒ වගේම එළවළු ටිකත් මුළු වත්තෙම තියෙනවා.”
ගම්මිරිස් වියළන නිල්මිණි
“මට හරිම සතුටෙන් ජීවත් වෙන්න පරිසරය හැදුනත් මම ඉන්නේ දැන් බොහෝ දුකකින්. මොකද අස්වැන්න නෙළන්න පටන් ගත්ත ගම්මිරිස් වැල් දවසින් දවස හේ වෙලා යනවා. මිය යෑමේ අවදානමට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව එදා ඉඳලා මම අතින් වතුර ඇදලා දැම්මට දැන් ඵල දරන ගම් මිරිස් වැල් ඉතා විශාලයි. ඒවට අතින් වතුර ඇදලා දාලා බේරන්න අමාරුයි. ඒ නිසා මට නළ පද්ධතියක් ඔස්සේ වතුර ටික ගහගන්න තිබුණොත් කවදාවත් කිසිවෙකුගෙන් උදව් අවශ්‍ය නැති වෙයි ”
“ජීවත් වෙන්න කවුරු හරි මට උදව් කරනවා නම් මේ දේ විතරක් කරලා දෙන්න ඒ ජීවිතයේ හොඳටම ඇති”
“මගේ ලොකු දුව උසස් පෙළ විභාගය කරල ඉන්නේ. දෙවෙනි දුව තවමත් දහය වසරේ ඉගෙන ගන්නවා. එයාටත් හොඳට උගන්නන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. එයාටත් ඉගෙන ගන්න පුළුවන් දක්ෂයි.
”ඉතින් මම පාන්දර නැගිටලා ගෙදර වැඩ සියල්ල කරලා හැමදාම මේ ගම්මිරිස් වගාව එක්ක තමයි ජීවත් වෙන්නේ. මට ගස් නඟින්න පුළුවන්. පොල් කඩන්න පුළුවන්. ගස්වල අතු කපන්න මේ සියල්ලම කරන්නෙ මම. ඒ හයිය කොහොම ආවද කියලවත් මට තේරෙන්නෙ නෑ. නංගිව උස්සල පෙරළන එක, මහත්තයා උස්සලා පෙරළන්නත් ඕනෑ. හැබැයි ඒ ශක්තිය මට කොහොමද ලැබුණේ කියලා තාමත් දන්නේ නෑ. උත්සාහ කරනවානම් ගැහැනියෙක් ද පිරිමියෙක් ද කියලා නැහැ. ජීවිතය ජයගන්න පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.”
ඇයගේ මේ කතාවක් අපටද පුදුමය දනවන්නකි. කොහොම වුණත් ඇය වගා කරපු එළවළු වගා බිමේ එක මිරිස් ගහක් ඇයගේ ජීවිතය අපූරුව කියාපාන්නක් විය.
එනම් අඩි 06 කට ආසන්නව උස ගිය මිරිස් ගසක් ඇය සතුව ඇත. අහම්බෙන් හමුවූ මිරිස් පැළය ඇයගේ කුස්සිය පෝෂණය කරන බව ඇය සතුටින් ම පෙන්වා දුන්නාය
ඇයගේ ජීවිතය වෙනස් කළ ලුෂානි දමයන්ති, එක තැන ඇඳ උඩ වසර ගණනාවක් තිස්සේ ජීවත් වෙන නිල්මිනීගේ නැඟණියයි, ඇය අක්කා ගැන මෙසේ කීවාය.
යුවල ගම්මිරිස් වගාවේ දී
ඇත්තටම මගේ අක්කා නෙවෙයි මේ මගේ අම්මා. මට අම්මා තාත්තා දෙන්නම නැති වෙලා. මගේ අක්කා මාව එක්කං ඇවිල්ල එදා සිට අද දක්වාම සියලු ඇප උපස්ථාන කරනවා. අඩුම තරමේ වැසිකිළි කැසිකිළි යන්නවත් නැගිටින්න බැහැ. එක තැන ඇඳට වෙලා ඉන්නෙ. මට පොත්පත් ගෙනත් දෙනවා කියවන්න. මාව නාවලා හෝදලා පිරිසිදු කරනවා. අඩුම තරමේ මට අත් දෙකින් බත් කටක් කන්නවත් බැහැ, කවන්න ඕනෑ. ඒ සියල්ලම මගේ අක්කා තමයි කරන්නේ. මෙහෙම කැප කිරීමක් කරන, අඩුම තරමේ අම්මා කෙනෙක්වත් හොයාගන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ ”
“මට වගේම අයියටත් අක්කා කරන කැප කිරීම, ඒ වගේම දුවලා දෙන්නට, ඇත්තටම මට හිතාගන්න බෑ මේ අක්කා කෙනෙක් ද? අම්මා කෙනෙක්ද? නොපෙනී අපට පිහිටට ආපු දෙවියෙක් ද කියලා මම කල්පනා කරනවා.
‘‘ඇත්තටම මේ දෙවි කෙනෙක්, අක්කා ආයෙ කවදාවත් මේ ලෝකයේ ඉපදෙන්නේ නම් නෑ. එයා නිවන් දකින එක නම් මට විශ්වාසයි. මොකද ආබාධිතව ඉන්න අපට කේන්ති යනවා, මානසික වියවුලට ලක්වෙනවා. හැබැයි ඒ සියල්ලම ඉවසාගෙන, අඩුම තරමේ අපේ හිතක්වත් රිදවන්නෙ නැතුව අපිට ආදරය කරුණාව මෛත්‍රිය බෙදා දෙන එකම පුදුමයක්. මෙහෙම උණු වෙන හදවත් තියෙන මිනිස්සු ලෝකෙ ඉන්නවද කියලා පොතපත කියවන මට ඇඳ උඩ ඉඳලා තේරෙනවා. ”
“හැමදාම ගුවන් විදුලියට සවන් දෙනවා. විශේෂයෙන්ම විවිධ වැඩසටහන්වලට මම සම්බන්ධ වෙලා සිංදු කියනවා. පොතපත පරිශීලනය කරලා දැනුම ඒ අයට බෙදල දෙනවා. ඒ සඳහාත් මට උදව් කරනවා. ඒක තමයි මගේ මානසික සතුට. මම දන්නවා ආයේ කවදාවත් මට නැගිටල ඇවිදලා යන්න බෑ කියලා. මම දැන් මේකට හුරු වෙලා ඉන්නවා මැරෙන තුරුම.*
- දඹුල්ල
කාංචන කුමාර ආරියදාස