
ලෝකයේ තාක්ෂණය කොතෙක් දියුණු වී තිබුණත්, තවමත් රුධිර අවශ්‍යතාවට රුධිරය නිෂ්පාදනය කරන්නේ නැත. යමෙකුට රුධිරය අවශ්‍ය නම්, ඔහුට රුධිරය ලබාදිය හැක්කේ, රුධිරය පරිත්‍යාග කරන්නෙකුගෙන්ම පමණි. මේ නිසා රුධිර පරිත්‍යාගය අන් සියලු පරිත්‍යාගයන්ට වඩා වෙනස් එකකි.
එලෙස වෙනස්ම පරිත්‍යාග අප ලංකාවේ කොතෙකුත් දැක ඇත. එහෙත් ශ්‍රී ලාංකිකයෙකු විදේශගතව හිඳිමින් වසර තිහක් එක දිගට මාස තුනකට වරක් රුධිරය පරිත්‍යාග කර, පරිත්‍යාග කිරීම් සීයක් සම්පූර්ණ කිරීම පදනම් කරගෙන, එරටදී පිදෙන “100 ටැග්” එක ලබා ගැනීමට සමත්ව ඇත. ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බොන් පදිංචි අනුර සුබසිංහය.
යමෙකුට යමක් පරිත්‍යාගය කළ යුත්තේ, යමක් බලාපොරොත්තුවෙන් නොවේ. එවැනි පරිත්‍යාග කිරීම් අතර ශ්‍රමය, ධනය මෙන්ම ශාරීරික කොටස් ද වේ.
ශාරීරික කොටස් පරිත්‍යාග කිරීම්වලදී මියගිය අයගේ ශාරීරික කොටස් හෝ ජීවත්ව සිටියදී වකුගඩු යනාදිය පරිත්‍යාග කරන අතර බොහෝ විට එම පරිත්‍යාගය එක අයෙකුට පමණක් හිමි වේ. එක් රුධිර පරිත්‍යාගයක් පුද්ගලයන් තිදෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රයෝජනවත් වේ. එක් රුධිර පරිත්‍යාගයකින් තිදෙනෙකුගේ ජීවිත රැකගත හැකි වන බව නොසිතා බොහෝ දෙනකුගේ රුධිර අවශ්‍යතාව පිළිබඳ සිතමින් 100 වතාවක් රුධිරය පරිත්‍යාග කළ ඔහු මීට පෙර රුධිර පට්ටිකා එක් වතාවකුත්, ශ්‍රී ලංකාවේදී රුධිරය නව වතාවකුත් පරිත්‍යාග කර තිබේ.
සම්පූර්ණ රුධිර පරිත්‍යාගයක් පුද්ගලයන් තුන් දෙනෙකු සඳහා යොදාගන්නා අතර, කෙනෙක් ජීවිත කාලයෙහිදී 100 වතාවක් සම්පූර්ණ රුධිර පරිත්‍යාගය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නම්, පුද්ගලයන් 300 කගේ ජීවිතය රැකගැනීමට උදව් කළා හා සමානය.
මේ නිසා අනුර සුබසිංහ පරිත්‍යාග කළ රුධිරය තුන්සීයකටත් වැඩි රෝගීන්ගේ ජීවිත රැකගැනීමට ප්‍රයෝජනයට ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ තවත් සුවිශේෂ කාරණාවක් වන්නේ, සෑම රුධිරය පරිත්‍යාග කරන්නෙකු සඳහාම අදාළ රුධිර කොටස් ප්‍රයෝජනයට ගත් දිනය සහ රෝහල පිළිබඳව පණිවිඩයක් පරිත්‍යාගශීලියාට පෙරළා ලබාදීමය. එය පරිත්‍යාග කරන්නන්ට පෙලඹවීමක් ඇති කිරීමට හේතු වී ඇති බව අනුර සුබසිංහ මහතාගේ අදහස වේ.
අනුර සුබසිංහ 1995 වසරේදී ලංකාව අතහැර ගියේ පාදයක ඇති ආබාධයකට ප්‍රතිකාර ගැනීම වෙනුවෙනි. එතැන් පටන් එරට පදිංචි ඔහු පරාර්ථකාමී චරිතයක් බවට පත් කරන්නට පාදක වූ සිය දෙමව්පියන්ටත්, සමාජයටත්, ශ්‍රී ලංකාවටත් කෘතඥතාව පළකිරීමක් ලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් උදව් උපකාර කරන්නට පෙලඹී තිබේ.
ගම රට අතහැර යන දුවා දරුවන් මහ ගෙදර අඩුපාඩුවකදී අහක නොබලන්නා සේ ලංකාව හැර වෙනත් රටවල පදිංචියට යන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ලංකාවේ උන්නතිය වෙනුවෙන් යම් යම් යහපත් දේ කරන්නට උත්සාහ දරන ආකාරයටම සුබසිංහ ද මහඟු සේවයක් කරමින් සිටී.
ඒ පිළිබඳව ඔහු මෙසේ පැවසීය.
“ලෝකයේ දියුණු රටක සිට අපේ රට දෙස බලද්දි අපේ රටේ බොහොමයක් දේ පෙනෙන්න ගන්නවා.
මම ඔස්ට්‍රේලියාවේ ඉන්න ගමන් මට හැකි ආකාරයට මගේ රටේ මිනිසුන්ට විවිධ ආකාරයෙන් ගොඩනැගෙන්නට සහයෝගය ලබාදෙන්නේ මගේ යුතුකමක් ලෙසයි.
දිස්ත්‍රික්ක ගණනාවක (කුරුණෑගල, පුත්තලම, මාතලේ අනුරාධපුර, නුවරඑළිය, පොළොන්නරුව, මඩකලපුව, කොළඹ, මුලතිව්, ගම්පහ) ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් 5000කට පමණ පාසල් පොත් සහ පෞද්ගලික පරිහරණය කරන උපකරණ ලබාදෙමින්, දීර්ඝකාලීන වැඩසටහනක් අපි කරගෙන යනවා. උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ සහන සලසා දෙනවා.
විවිධ විහාරස්ථානවල පාසල්වල සංවර්ධන කටයුතු කරමින්, පුස්තකාල සඳහා උදව් උපකාර කරමින්, මැදිහත්වීම් කරනවා. පහුගිය කාලේ මම වැඩිපුරම ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවන විශේෂාංග ලිපි කියවලා, ලංකාදීප කාර්යාලයට කතා කරලා, ඒ ලිපි ලියන මාධ්‍යවේදීන්ගේ දුරකථන අංක අරගෙන ඒ ඒ අයට උදව් උපකාර කරන්න කටයුතු කරල තියෙනවා. අපි වගේ පරිත්‍යාගශීලීන්ට පරිත්‍යාග කරන්න මාධ්‍යයෙන් විවිධ සමාජ ගැටලු හෙළි කිරීම වැදගත් කාරණාවක්. ඒ නිසාම ගොඩක් දේ මම පරිත්‍යාග කරන්න පෙලඹවීම් ඇති වෙලා තියෙනවා”
ඒ ඔහුගේ අදහස ය. පරිත්‍යාග කිරීම්වල දී ශාරීරික කොටස් පරිත්‍යාග කිරීම හිතුමතේ කළ නොහැකි දෙයකි. ඒ සඳහා ශාරීරික පරීක්ෂණයකට භාජනය විය යුතුය. රුධිර පීඩනය, ශරීර උෂ්ණත්වය හෘද ස්පන්දන වේගය මෙන්ම හිමොග්ලොබින් මට්ටම පරීක්ෂා කිරීම ලෝක සම්මතයට අනුව ලංකාවේත් ඔස්ට්‍රේලියාවෙත් සිදුකරනු ලබයි.

ඒ අනුව නීරෝගිමත් පුරුෂයෙකුට අවස්ථා ගණනාවක් රුධිරය පරිත්‍යාග කළ හැකි නමුත්, කාන්තාවකට එසේ කිරීමේ හැකියාවක් නැති බව ජාතික රුධිර මධ්‍යස්ථානයේ නිර්දේශයයි. ඊට හේතුව, මාසික ඔසප් දිනවලදී, ගැබිනි සමයෙහි දී, දරුවෙකුට කිරි දෙන මවක් ලෙස ගෙවන වසර හතරක, පහක කාලයකදී කාන්තාවකට රුධිරය පරිත්‍යාග කිරීමට අවස්ථාවක් නැත. එහෙත් ලැබෙන සීමාසහිත වූ පුංචි කාලයේදී ද රුධිරය පරිත්‍යාග කරන කාන්තාවෝ කොතෙකුත් සිටිති.
ජාතික රුධිර මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට 2024 වසරේදී ලංකාවේ වැඩිම රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයා සම්පූර්ණ රුධිර අවස්ථා 55 ක් ලබා දී ඇති අතර, රුධිර පට්ටිකා අවස්ථා 276 කදී ලබා දෙමින් අවස්ථා 331ක දී රුධිරය පරිත්‍යාග කර ඇති බවට වාර්තා කර තිබේ. උපුල් ගමගේ නමැති ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයා බව සඳහන් වෙයි.
එහෙත් මේ දෙකෙහි වෙනසක් ඇත. රුධිර පට්ටිකා සති දෙකෙන් දෙකට පරිත්‍යාග කළ හැකි නමුත්, සම්පූර්ණ රුධිරය පරිත්‍යාග කළ හැක්කේ මාස තුනකට හෝ හතරකට වතාවක් පමණි. එවැනි අවස්ථා නොකඩවාම වසර තිහක් පුරා ලබාගනිමින් සම්පූර්ණ රුධිර පරිත්‍යාග කළ අවස්ථා 100 ක් සම්පූර්ණ කළ අනුර සුබසිංහ කියා සිටියේ, තම කකුලෙහි යම් ආබාධයක් තිබුණත්, 59 වන වියෙහි පසුවන තමා ඉතාමත් නීරෝගීව සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි. ආත්ම තෘප්තිය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන්නට ආරම්භ කළ තමාට ශක්තියක් වූයේ ඔස්ට්‍රේලියාවේ හෙදියක ලෙස රාජකාරි කරන තම ආදරණීය බිරිඳ වූ භාෂිනි සුබසිංහ සහ දෙමව්පියන් බව ඔහු කියයි.
ඔහු අවසාන වශයෙන් කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ රුධිරය පරිත්‍යාග කිරීමට කාඩ්පතක් නොමැති නමුත්, අදාළ දත්ත ඩිජිටල් අවකාශයෙහි සටහන් ව ඇති බැවින්, සුදුසු වේලාවන්හිදී සුදුසු පරිදි ඔහුට ඒ ඇගයීම ලැබුණු බවයි. රුධිරය පරිත්‍යාග කිරීමෙහි අගය පිළිබඳ සලකා ලංකාවේ ද රුධිරය පරිත්‍යාග කරන්නන්ගේ දත්ත සටහන් කරන්නේ නම්, රුධිරය ලබන්නාටත්, පරිත්‍යාග කරන්නාටත් ඉතා වැදගත් බව ඔහුගේ අදහස ය.
චාන්දනී දිසානායක

