රට මුදුනට ගම ගෙන ගිය ගලමුදුන ඉස්කෝලෙ අපූරු ප්‍රින්සිපල්


 
‘‘මම විටින්  විට අවස්ථා ගණනාවක් මහනුවර ඇවිල්ල තියෙනව. මම මිහින්තලේ ඉස්කෝලෙ උගන්නන කාලෙත් දවසක් මහනුවර ආව. මහනුවර ඇවිල්ල දළදා මාලිගාවට ගිහිල්ල  දළදා වහන්සෙත් වැඳ පුදා ගත්ත. ඒ වෙලාවෙ මට හිතුණ මහනුවර පැත්තෙ ඉස්කෝලෙක උගන්නන්ට තියෙනව නම් කොච්චර වාසනාවක් ද කියල. මම මහනුවර අධ්‍යාපන කාර්යාලයෙන් ඉල්ලීමක් කළා මට මහනුවර පළාතේ ඉස්කෝලෙකට ස්ථාන මාරුවක් ලබා දෙන්ට කියල. 
 
මහනුවර අධ්‍යාපන කාර්යාලයෙන්  ගලමුඳුන කියන ගමේ තියෙන ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයට මට ස්ථාන මාරුවක් ලබා දුන්න.  ඒ ඉස්කෝලෙ හොයාගෙන මහනුවර ඉඳල හුන්නස්ගිරිය හරහා මහියංගණය ප්‍රධාන පාරෙන් හසලකට ගිහිල්ල හසලකින් දුංගොල්ල කියන ගමට ගියා. දුංගොල්ලට ගිහිල්ල මිනිසුන්ගෙන් ඇහැව්ව ගලමුඳුනට යන්නේ කොහොම ද කියලා. ඒ අය කිව්ව එතැන ඉඳල කන්ද උඩට තියෙන අඩි පාරෙන් ගිහිල්ල ගලමුඳුන ඉස්කෝලෙට යන්ට පුළුවන් කියල. දුංගොල්ලේ ඉඳල ගලමුඳුනට කිලෝමීටර් 6ක විතර දුරක් තියෙනව කියලත් කිව්ව. ඉතින් මම අඩි පාර දිගේ කන්ද උඩට නඟින්ට පටන් ගත්ත. පාරේ තැන් තැන්වල අලින්ගෙ වසුරු තිබුණ. පාරේ අලි ඉදියි කියල හිතුණම හිතට ලොකු බයක් දැනුණ. මගේ ගෙදර ඉන්න අය ඉබේම මගේ සිහියට ආව. පැය හයක විතර කාලයක් ගෙවල ගලමුඳුන ඉස්කෝලෙට යන්ට පුළුවන් වුණා. ඉස්කෝලෙට යනකොට ගමන් මහන්සිය හින්ද මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. වෙහෙස මහන්සිය හින්දත් ගුරුවරුන්ට එන්ට අමාරු ඉස්කෝලයක් මට හම්බ වෙලා  තිබුණ හින්දත් මගේ ඇස්වලින් ඉබේම කඳුළු කැට කඩාගෙන වැටුණ. මම හිතුවෙ නෑ මහනුවර දිස්ත්‍රික්කයෙ මෙහෙම ගමක් තියෙනව කියල.”‍
 
වසරක කාලයක් බොහෝ දුක් විඳිමින් විශාල කැපකිරීම් රැසක් කරමින් තමා ඉගැන්වීම් කටයුතු කරන විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විෂයන් නවයම උගන්වා සිසු සිසුවියන් විභාගයෙන් සමත් කරවූ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මිනිපේ අධ්‍යාපන කොට්ඨාසයේ ගලමුඳුන කනිෂ්ඨ විද්‍යාලයේ සේවයේ නියුතු ජනක ධනුද්ධර ගුරු මහතා එසේ පැවසුවේ අතීත සිදුවීමක් සිහි පත් කරමිනි.
 
 
ගලමුඳුන විද්‍යාලය
 
”‍මිහින්තලේ මහකනදරාව යාය එකේ වම් ඉවුර මගේ උපන් ගම. මහකනදරාව පාසලෙත්, මිහින්තලාව මහා විද්‍යාලයෙත්, අනුරාධපුර නිවන්තක මහා විද්‍යාලයෙත් මම පාසල් අධ්‍යාපනය ලැබුව. උසස් පෙළ විභාගය සමත් වීමෙන් පස්සෙ රජරට විශ්වවිද්‍යාලයට මම තේරුණා. රජරට විශ්වවිද්‍යාලයෙදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආර්ථික විද්‍යාව විශේෂ උපාධියක් ලබා ගත්ත. ඊට පස්සෙ ඉංග්‍රීසි ඩිප්ලෝමාවකුත් කර ගත්ත.”‍
 
ජනක ධනුද්ධර ගුරු මහතා අධ්‍යාපනය ලැබූ ආකාරය පිළිබඳ තොරතුරු එළිකළේ එලෙසින්ය. ඉමහත් දුක් කම්කටොලු රැසකට මුහුණ දෙමින් අධ්‍යාපනය ලැබූ බවද හෙතෙම පැවසීය.
 
“2013 ජූනි 12 වෙනිදා මිහින්තලේ ජාතික පාසලට මට ගුරු පත් වීමක් ලැබුණ. ඒ ඉස්කෝලෙ උසස් පෙළ පන්තිවල සිසු සිසුවියන්ට ආර්ථික විද්‍යාවත් ඉංග්‍රීසි භාෂාවත් ඉගැන්නුවා. 11 ශ්‍රේණියෙ පන්තිවල ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගණිතය, සිංහල, ඉංග්‍රීසි විෂයන් ඉගැන්නුව. විෂයයන් කිහිපයක් ඉගැන්වීමට අවස්ථාවක් ලැබුණ හින්ද ඒ විෂයන්වල විෂය කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්නට මට හැකි වුණා. එයින් මගේ අනාගත ගුරු ජීවිතයට හොඳ පන්නරයක් ලැබුණ. 2019 සැප්තැම්බර් 9 වෙනිදයි මට ගලමුඳුන විද්‍යාලයෙ වැඩ භාර ගන්ට සිද්ධ වුණේ. ගලමුඳුන ඉස්කෝලෙ ළමයින්ට ඉංග්‍රීසි, විද්‍යාව, සිංහල , ගණිතය වැනි විෂයයන් උගන්වන්ට මට අවස්ථාව ලැබුණ.”‍
 
විද්‍යාලයෙ තිබෙන කුඩා කාමරයක් ඔහුගෙ නවාතැන්පොළ විය. නගරයේ සිට පාසලට එන විට ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය දේවල් රැගෙන ඒම සිරිත විය. ඉවුම් පිහුම් කටයුතු  කරගත්තේ තනිවමය. සූර්ය ශක්තියෙන් විදුලි බලය ලැබී තිබිණ. ඉවුම් පිහුම් කටයුතු කර ගැනීමට අවශ්‍ය දර පාසල අසල කැලෑවෙන් සොයාගැනීමට හැකි විය.
 
ධනුද්ධර ගුරුතුමා
 
“මගේ ගෙදර තියෙන්නෙ මිහින්තලේ. මම සිකුරාදා ගලමුදුනෙන් පිටත්වෙලා පා ගමනින් කිලෝමීටර් 6ක් මඟ ගෙවලා අඩි පාරෙන් දුංගොල්ලට එනව. මගේ මෝටර් සයිකලය මම දුංගොල්ලේ ගෙදරක තියල තියෙන්නෙ. දුංගොල්ලේ ඉඳල කිලෝමීටර් 170ක විතර දුර ගෙවාගෙන මිහින්තලේට යනව. සඳුද ආපහු මිහින්තලේ ඉඳල දුංගොල්ලට ඇවිල්ල දුංගොල්ලේ ඉඳල ගලමුඳුනට පයින් යනව. සමහර දවස්වලට පාරෙ අලි ඉන්නව. පාරෙන් අලි ඉවත් වෙන තුරු ගස්වලට මුවාවෙලා ඉන්ට ඕනැ. එවැනි අවස්ථාවල හිතට ලොකු බයක් දැනෙනව. එක අවස්ථාවක අලියෙක් මූණටම මුණගැහුණ. පාරෙ පල්ලෙහාට ආපහු දිව්ව. ඒ වෙලාවෙ මම ඇදගෙන වැටුණ. කකුල තුවාල වුණා. මාස ගාණක් කකුලට බෙහෙත් බඳින්ට සිද්ධ වුණා. වල් අලි හින්ද මේ පාරේ ගමන භයානකයි. ඒත් ඉතිං මේ පාරෙ යන්ටම වෙනවා. මේ පාරෙ යන අයට දෙයියන්ගෙ පිහිට හැර වෙන පිහිටක් නම් නෑ.”‍
 
2024 පෙබරවාරි මාසය වන විට ගලමුඳුන විද්‍යාලයෙ සිටිය විදුහල්පතිතුමා ස්ථාන මාරුවක් ලැබ වෙනත් පාසලකට ගියේය. විදුහල්පතිතුමා ස්ථාන මාරු ලැබ පාසලෙන් ගිය පසු ගලමුඳුන විද්‍යාලයේ විදුහල්පති ධුරය හිමි වූයේ ධනුද්ධර ගුරුතුමාටය. ඒ වන විට පාසලේ සිටි අනෙක් ගුරුවරු කිහිප දෙනාද ස්ථාන මාරු ලැබ වෙනත් පාසල්වලට ගියහ. පාසලේ ඉතිරි වූයේ ධනුද්ධර ගුරුතුමා පමණය. විදුහල්පති ධුරයේ කටයුතු කරන අතරේම 1 සිට 11 ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගැන්වීම් කටයුතු කරන්නටද සිදු විය. ඒ වන විට විශේෂ ගැටලුවක්ද මතු වී තිබිණ. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පස් දෙනෙක් පාසලේ සිටියහ. එම ළමුනට ඉගෙන ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය පමණය. ඔවුනට අමතර පන්තියකට යාමට කිසිදු අවස්ථාවක්ද නොවීය. එම ළමුන්ගේ අනාගතය අඳුරට යාමේ සේයා මතු වෙමින් පැවතිණ.
 
“මම හිතුවා මම මේ ළමයිට පිහිට වෙන්ට ඕනැ කියලා. මම ළමයිට කිව්ව කිසි දේකට බය වෙන්ට එපා, මම විෂයයන් 9යම උගන්වනවා කියලා. මම එහෙම කිව්වෙ විෂයයන් නවයක් එක වර ඉගැන්වීමේ භාරධූර වගකීම නොදැන නෙවෙයි. විදුහල්පති ධුරයේ කටයුතු කරමින්ද 1 සිට 10 දක්වා පන්තිවල ඉගැන්වීම් කටයුතු කරමින්ද ඉවුම් පිහුම් ඇතුළු පෞද්ගලික කටයුතු කරමින්ද 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයිගේ අනාගතය පැහැබර කිරීමේ වගකීමද මම භාර ගත්ත.
 
හැදින්වීමේ පුවරුව
 
11 ශ්‍රේණියේ ළමුනට සිංහල, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, චිත්‍ර, බුද්ධ ධර්මය යන විෂයයන් නවයම ඉගැන්වීමේ කටයුත්තට අතගැසීය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට හවස 4.30 තෙක් ඉගැන්විණ.  නැවත රාත්‍රි 7.00 සිට 11.30 වෙන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කෙරිණ. 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් ඇති සියලු පාඩම් නැවත කළේය.  ප්‍රශ්න පත්‍රවලට ළමුන්ට පිළිතුරු ලිවීමට සිදු විය. ළමුන් ලියන පිළිතුරු පත්‍ර සියල්ල ඒ ඒ දිනවලම බලා ළමුන්ගේ අඩුපාඩු සොයාගෙන එම අඩු පාඩු සියල්ල හදා දෙන්නටද සිදු විය. ඇතැම් විට ධනුද්ධර මහතාට නිසි වෙලාවට කෑම බීම ගැනීම් පවා අතපසු වෙන්නට විය. ඇතැම් අවස්ථාවලදී ළමුනට තේ පැන් සංග්‍රහයක් කිරීමටද සිදු විය. කිසිදාක ළමුන්ගෙන් හෝ ළමුන්ගේ මව්පියන්ගෙන් සතයක තරම් දෙයක්වත් නොගත්තේය.
 
”‍2024 පෙබරවාරි මාසය දක්වා ගලමුඳුන විද්‍යාලෙ සේවය කළ ගුරු මහත්ම මහත්මීන් මේ ළමයිට ඉතා හොඳින් අධ්‍යාපනය ලබා දී තියෙනවා. එය සත්‍යයක්. එසේම තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලයේ සංවිධානත්වයෙන් සතියක කාලයක් පුරා උඩදුම්බර දුෂ්කර පාසල්වල ළමුනට ඉගැන්වීමේ කටයුත්තක් කළා. ඒ වැඩ සටහනට ගලමුඳුනේ ළමයින්ටත් සහභාගි වෙන්ට අවස්ථාව ලැබුණ. ඒ  වැඩ සටහන නිසා ගලමුඳුනේ ළමයිට අනෙක් ළමුන් සමඟ එකට අදහස් හුවමාරු කරගන්ට අවස්ථාවක් උදා වුණා. මම කළේ වසරක කාලයක් තුළ 10, 11 ශ්‍රේණිවල විෂයයන් නවයේ පාඩම් සියල්ල ළමුනට ඉගැන්වීමයි. ඒ වගේම බියෙන් සැකෙන් තොරව ළමුන්ට විභාගයට ලිවීමට හැකි වාතාවරණයක් ගොඩනැගීමයි.”‍
 
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණේ 2025 මාර්තු මාසයේදීය. විභාගයට ගලමුඳුන විද්‍යාලයේ සිසු සිසුවියෝද පිළිතුරු ලියූහ. එම විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ පසුගිය සතියේ අගය. ගලමුදුන විද්‍යාලයේ නුවන් සම්පත් වික්‍රමසිංහ (සමත් 9 සම්මාන 7), ඉමේෂා දිල්රුක්ෂි කරුණාරත්න (සමත් 8 සම්මාන 4), දිල්ෂානි මදුෂානි මැණිකේ (සමත් 8 සම්මාන 3), මදුෂානි හර්ෂිකා ඉලන්ගසිංහ (සමත් 7 සම්මාන 6), තරිඳු පුෂ්පකුමාර සමත් 2 සම්මාන 1)
 
විෂයන් 9ක් සමත් වී සම්මාන 7ක් ලබාගත් නුවන් සම්පත් සිසුවා
 
”‍සිසු සිසුවියන් විභාගයෙන් සමත් වෙන බව මම දැනගෙන හිටිය. සිසු සිසුවියන් හතර දෙනෙකුට උසස් පෙළ වරම් හිමි වෙලා තියෙනව. එක සිසුවෙකුට ඌන සාමර්ථ තියෙන්නෙ. සිසු සිසුවියන් දෙදෙනෙක් ඉංග්‍රීසි විෂයත් සමත්. සිසු සිසුවියන් විභාගයෙන් සමත් වීම පිළිබඳව මම විශාල සතුටක් විඳිනවා. මේ ප්‍රතිඵලය හොඳටම ඇති. මෑතදී පාසලට අලු‍තෙන් ගුරුවරු දෙදෙනෙක් ලැබුණ. ඒ නිසා ඉදිරියේදී පාසලේ ඉන්න ළමයිට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට හැකියාව ලැබී තියෙනව. කැලේ පිපෙන මල් කැලේම පර වෙලා යන්ට ඉඩ දීමට පුළුවන් කමක් නෑ.”‍
 
ධනුද්ධර ගුරු මහතා එසේ පැවසුවේ දරුවන්ගේ අනාගතය ඉදිරියේදී ද ගොඩනැඟීමේ බලාපොරොත්තු පොදිබැඳගෙනය. ළමුනට නිසි අධ්‍යාපනයක් ලබා දීමෙන් ඔහු විඳින්නේ අසීමිත සතුටකි. අතිශය කටුක ජීවිතයක් ගතකරමින්  රටට සේවයක් කරන මෙවැනි ගුරුවරුන් සිටීම ජාතියේ වාසනාවකි.
 
විභාගයෙන් ඉහළම ප්‍රතිඵල අත්කරගෙන තිබෙන්නේ නුවන් සම්පත් වික්‍රමසිංහ සිසුවාය. එම සිසුවා පවසන්නේ මෙවන් දෙයකි.
 
”‍අපි ඉගෙන ගත්තෙ මේ ගමේ ඉස්කෝලෙන් විතරයි. අපේ ඇස් පෑදුවෙ පුංචි කාලෙ ඉඳල මේ දක්වා මේ ඉස්කෝලෙ උගන්නපු සර්ලයි මැඩම්ලයි. ඒ ඔක්කොම සර්ල මැඩම්ලට අපි සදා ණයගැතියි. 11 ශ්‍රේණියෙ ඉගෙන ගත්ත අවුරුද්ද පුරාම අපිට විෂයයන් නවයම කළේ ධනුද්ධර සර්. ධනුද්ධර සර් විෂයයන් නවයම ඉගැන්නුවේ නැත්නම් අපිට උසස් පෙළ වරම් හිමි වෙන්නෙ නෑ. ධනුද්ධර සර් අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ධනුද්ධර සර් අපිට කියලා තියෙන්නෙ නියම ආකාරයෙන් උත්සාහවන්තව උනන්දුවෙන් වැඩ කරල ජයග්‍රහණ හිමිකරගන්ට ඕනැම කෙනෙකුට පුළුවන් කියල.”‍
 
සිසුවෙකුගේ පියෙක් වන වයි. එම්.යූ.ජී. වික්‍රමසිංහ ගොවි මහතා (40): “අපේ ළමයි පාස් වෙච්ච එක ගැන අපිට තියෙන්නෙ ලොකු සතුටක්.  ඒත් අපිට ලොකු ගැටලු ගොඩක් තියෙනව. මේ ළමයි උසස් පෙළ පන්ති තියෙන ඉස්කෝලෙකට ඇතුළත් කරන්ට ඕනැ. ගලමුඳුනේ ඉඳල දුංගොල්ලට වාහන යන්ට පුළුවන් විදිහේ පාරක් නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙන්නෙ කොහෙ හරි ගෙවල්වල නතර කරලා ළමයිට උගන්වන්ටයි. හේන් වී ගොවිතැන් කරල එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න අපිට ගොඩක් සල්ලි නෑ. ත්‍රීවීල් එකක් යන්ට පුළුවන් විදිහට අපේ පාර හදල දුන්නොත් අපිට පුළුවන් ගෙදර ඉඳලම අපේ ළමයි උසස් පෙළ පන්ති තියෙන ඉස්කෝලෙකට කැටුව යන්ට. වාහන ගමන් කරන්ට පුළුවන් විදිහේ පාරක් නැති හින්දයි අපිට අසීමිත ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්ට සිද්ධ වෙලා තියෙන්නෙ.”‍
 
හුන්නස්ගිරියේ 
පාලිත මඩුගල්ලේ
 
ධනුද්ධර ගුරුතුමා දුෂ්කර මාර්ගයේ යමින්