අලි මරණ සහ අලින් ගේ ප්‍රහාර නිසා සිදුවන මිනිස් මරණවල ක්‍රමික වැඩිවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. සිංහලයා හා අලියා අතර ඓතිහාසික සම්බන්ධය මිහිඳු මහ රහතන් වහන්සේගේ සැපත්වීම තෙක් විහිද යන්නකි.
සිරිලකට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් නරනාථයන් ප්‍රමුඛ රාජරාජ මහාමාත්‍යාදි සැදැහැවතුනට පළමු කොට දේශනා කර වදාළේ චූලහත්ථිපදෝපම හෙවත් සුළු ඇත් පද උවම් සූත්‍රයෙන්ම ඒ බව තහවුරු වේ. එම හස්තීන් පිළිබඳ කදිම විවරණ සහිත සූත්‍ර දේශනාවකි. පුරාණයේ සිටම අලි ඇතුන් පිළිබඳ සුවිශේෂ ජගත් කීර්තියක් දැරූ ශ්‍රී ලංකාවෙහි මහීපති රාවණයන්ට හස්තියා ද උපමා සහිත සූත්‍රයක් මගින් ධර්මාවබෝධයක් ලබාදීමට මහින්ද මහ රහතන් වහන්සේ හිතාමතාම තීරණය කළහ.
මේ අතර ශ්‍රී ලංකාවේ අලි ඇතුනගේ ඉතිහාස කතාව මෙන්ම ඔවුනගේ පරපුරේ අතීත කතාව ද කෞතුක රසයෙන් රස ගැන්වුණු චමත්කාරජනක විචිත්‍ර වෘත්තාන්තයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අලි පරපුරේ ආදිම මුත්තා මෝ එරිතේරියුම් පහළ මලිගෝසින අවදිය දක්වා ජීවත් විය. එමෙන්ම ඇත් පරපුරටම ආවේණික ලක්‍ෂණයෙන් යුක්ත වූ පියෝෂියා නම් සත්ත්ව සමූහයා ජීවත් වූයේ ද පශ්චාත් මලිගෝසීන අවධියේ බව ඉතිහාසයේ සඳහන්ය. මේ සත්ත්ව කොට්ඨාසය මෝරිතේරියුම්ට වඩා දෙගුණයක් තරම් විශාල ලෙස වැඩී සිටි බවට ලේඛනවල සඳහන්ය. මේ යුගයේම සමාන ලක්‍ෂණයෙන් යුක්ත පෙලියෝමැස්ඩන් නම් සිව්පාවා ද දක්නට ලැබී ඇත. එම සත්ත්වයාගේ උස සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ වූ බව මේ පිළිබඳ පර්‌යේෂණ පැවැත් වූ විද්‍යාඥයෝ දක්වති. විටෙක කුරු අලියෙකැයි කිව හැකි මේ සිව් පා සත්ත්වයාගේ පරපුර හා ජීවිතය පිළිබඳ තොරතුරු එතැන් සිට ලිඛිත ඉතිහාසය තුළ දක්නට ඇත්තේ අවම වශයෙනි.
- ලංකාවේ කුරු අලියා
එහෙත් ලොව පළමුවරට කුරු අලියෙකු පිළිබඳ තොරතුරු සොයා ගනු ලැබුවේ 1958 දී බව එදා පුවත්පත් වාර්තා කොට තිබුණේ සිසිලි දූපතේ දීය. සිසිලි දූපතේ නැගෙනහිර අලින් ගේ බවට අනුමාන කරන අස්ථි විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට විද්‍යාඥයන් මගින් හැකි විය. මෝල්ටා දුපත ආසන්නයෙන් ද සයිප්‍රසයෙන් ද මෙලෙස කුරු අලින් ගේ බවට සැක කෙරෙන අස්ථි විශාල ප්‍රමාණයක් සොයාගත් අතර, එම අස්ථින් යොදා ගෙන සත්ත්ව අනුරූ නිර්මාණය කරන ලදි.
1958 ලොව ප්‍රථම කුරු අලියා සොයාගෙන වසර 55 ක් ගත වූ තැන 2013 දී ලංකාවේ අලියෙකු ගැන අමුතු ප්‍රවෘත්තියක් පළ විය. මේ ප්‍රවෘත්තියෙන් කියැවුණේ 2013 ජුනි මස 13 වැනි දින උඩවලව ජාතික උද්‍යානයේ ගල් අමුණවේල්ල අසල දි දුටු දර්ශනයෙන් නිලධාරීන් මෙන්ම සංචාරකයන් තම දෑස් අදහාගත නොහැකිව බලා සිටි බවය. ඊට පෙර කොපමණ හස්තීන් දැක තිබුණත්, තම දෑස් ඉදිරියේ සිටිනා හස්තියාගේ සුවිශේෂතාවක් ඔවුන්ට නිරීක්ෂණය වූ අතර, ඒ අන් කවරකුත් නොව උඩවලවේ කුරු අලියා ගැන ප්‍රවෘත්තියයි.
මීට 12 වසරකට පෙර 2013 වර්ෂයේ දී උඩවලවෙන් හමු වූ කුරු අලියාගේ වයස ඒ වන විටත් අවුරුදු 34 ක් පමණ විය. දශක තුනකට ආසන්න කාලයක් කිසිදු මිනිසකුගේ ඇස නොගැටී වැඩුණු සත්ත්වයෙකු බවට පරිවර්තනය වීම තෙක් කුරු අලියා කෙබඳු ජීවන පසුබිමක ජීවත් වූයේ ද යන වග ගැන පර්‌යේෂකයන් විසින් ඉන්පසු තොරතුරු ගවේෂණය කරන ලදි. කුරු අලියා පිළිබඳව නිරීක්ෂණය සිදු කරනු ලැබූ වනජීවී නිලධාරීන් පැවසූ ආකාරයට - කුරු අලියාගේ නිජබිම උඩවලට ජාතික වනෝද්‍යානය නො වීය. ඊට පසු 2013 වර්ෂයේ සිට සෑම වර්ෂයකම අලින්ගේ මද වැගිරෙන සමය ආරම්භවීමත් සමග කුරු අලියා උඩවලවේ දී දැකගත හැකි විය. මාස කිහිපයක් උඩවලවේ ගත කරන අලියා මද වැගිරෙන සමය අවසානවීමත් සමගම උඩවලවෙන් නික්ම ගියේය.
ලෝකේ කුරු අලි සොයා ගෙන 55 වසරකට පසු ලංකාවේ සොයා ගත් කුරු අලියා
උඩවලවේ කුරු අලියාගේ දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ පිටුපස පාදයන්හි පවතින කුරු ස්වරූපයයි. ඉදිරිපස පාද දෙකට සාපේක්ෂව පිටුපස පාද බොහෝ කෙටිව පිහිටා තිබුණි. කුරු අලියාගේ හිස ද ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී ඇති අතර, පාදයන්හි කෙටිබව නිසා ශරීර බර දරාගැනීම යම් තරමක් දුරට අපහසුබව ගමන් රටාවෙන් පැහැදිලි විය. ශ්‍රී ලංකාව තුළ කුරු අලි ජීවත් වන බවට ජනප්‍රවාද කිහිපයක් පැවැති අතර, මේ අතරින් සමනොළ අඩවියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එසේ නමුත් සමනොළ අඩවියේ දී සිදු කළ නිරීක්ෂණයට අනුව, මෙතෙක් එම ප්‍රදේශයේ දී කිසිදු කුරු අලියෙකු වනජීවි නිලධාරීන් ගේ ඇස ගැටුණු බවක් වාර්තා වී නැත.
- මිනිසුන් කැලෑ වැදීම
මේ අතර බොහෝ දෙනා අලි-මිනිස් ගැටුම ලෙස විග්‍රහ කරන අර්බුදයේ දී සාමාන්‍ය විග්‍රහය හඳුන්වන්නේ ’‘අලි ගම් වැදීම’ ලෙසය. එහෙත් ඇත්තටම සිදු වී ඇති සත්‍යදේ ගැන වෛද්‍ය නන්දන අතපත්තු තමන් ලියන ලද ‘’මැකී යන අලිවැට ඔස්සේ’ කෘතිය එළිදැක්වීම පෙර අදහස දැක්වූයේ මෙසේය. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් අලි ගැන අත්දැකීම් ලබා ඇති වෛද්‍ය නන්දන අලි ඇතුන් ගැන අසාමාන්‍ය දැනුමක් ඇත්තෙකු ලෙස ද ප්‍රකටය.
“අලි-මිනිස් ගැටුම කියන මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ අලි ගම් වදින නිසා නොවෙයි. මිනිස්සු කැලෑ වදින නිසායි. මෙතන ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ අලි නොවෙයි, මිනිස්සුයි. අතීතයේ දී දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාම අලි පැතිරිලා සිටියා. මිනිස් ජනාවාසත් තිබුණා. එකිනෙකා කෙරෙහි ඇති කරගත් ගෞරව සම්ප්‍රයුක්ත බියකින් යුතුව මේ දෙපාර්ශ්වය ගැටුමකින් තොරව ජීවත් වුණා. ඒත් අද වෙලා තියෙන්නේ දේශපාලනඥයන් ගේ සහායෙන් නීතිය ඉක්මවා යමින් මිනිස්සු වනාන්තරය ආක්‍රමණය කිරීමයි. මේ වැඩවලින් වෙන්නේ වනාන්තරයේ ඒකාබද්ධතාව බිඳී යන එකයි. උදාහරණයක් විදියට සෙල්ලක්කාමය අභය භූමියෙන් අක්කර දහස් ගණනක් ගම්මුන් අතරේ බෙදාදීම නිසා ලාහුගල සිට ගල්ඔය දක්වා අලි ඇතුන් ඔබ මොබ ගිය අලිමංකඩ උන්ට නැති වුණා. නිල්ගල අලිමංකඩ වගේම ලාහුගලත් මාදුරු ඔයත් අතර වූ අලිමංකඩ වනසා දමා තිබෙනවා. මාදුරු ඔය සහ වස්ගමුව අතර වූ අලිමංකඩ මහවැලිය නිසා විනාශ වුණා. නියම සත්‍ය තත්ත්වය නම් මේ”
- පනාමුරේ ඇත් රාජා
වර්තමානයේ ඇති වී ඇති අලි-මිනිස් ගැටුම ගැන කියූ සැණින් අපේ මතකයට එන්නේ පනාමුරේ ඇත් රාජා ය. සුප්‍රකට පනාමුරේ ඇත්ගාල පවත්වාගෙන ගියේ හිටපු කථානායකවරයකු වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ ය. මහා කැලය දෙවනත් කරවමින් හීලෑ අලින් යොදවා වල් අලින් කොටු බිම්කඩකට ගාල් කිරීමෙන් අනතුරුව මිනිසුන් ග්‍රහණයට යටත් කරගැනීම ඇත්ගාල් පැවැත්වීමේ මූලිකම වූ සම්ප්‍රදාය විය. කොටු කර ගන්නා ලද වන අලින් ඇතින්නන් හා ඇත් පැටවුන් එකිනෙකා බැගින් හීලෑ අලින් දෙදෙනෙකු බැගින් දෙපසට යොදා විටෙක ඔවුන්ට එම අලින් ලවා පහර දෙමින් ද ඔවුන් ගේ ප්‍රචණ්ඩත්වය දුර්වල කරමින් කටයුතු කෙරෙන අතර, වල් අලින් ඇල්ලීමට පුරුදු මුස්ලිම් ජාතිකයින් එම කාර්යය කළේ තම දිවිය පවා පරදුවට තැබීමෙනි.
එසේ හීලෑ අලින් දෙදෙනෙකු දෙපැත්තෙන් යොදවා වල් අලියාට පහර දෙද්දී එම වල් අලීන් අල්ලන වැඩකාරයන් කරන්නේ පන්දම් ද පත්තු කරගෙන වල් අලියාගේ පිටුපස ගාත්වලට මන්ද හෙවත් හෙණ්ඩුව දැමීමය. ඊටපසු ඔවුන් කරන්නේ එම හෙණ්ඩුව ළඟම ඇති ගසක බැඳ දැමීමය. මෙසේ පනාමුරේ ඇත් ගාලට වල් අලින් විසිතුන් දෙනෙකු අල්ලාගෙන ගාල් කරන ලදි.
තම වර්ගයා කුරිරු ලෙස අල්ලා සිරකර ගැනීම කෙරෙහි බලවත් සේ කෝපයට පත් ප්‍රධාන වල් අලියා හෙවත් අලි ලීඩර් හස්ති රාජයා එදා කළේ දිවිය ද පරදුවට තබා තම රැහේ ඇතින්නන් රැක ගැනීමේ සටනකට පිවිසීමය. එකී පනාමුරේ ඇත් රාජයා ගේ නෑදෑ වග බේරාගැනීමේ සටනින් එතෙක් විජයග්‍රාහීව සිටි මිනිස් කුලයේ බලවත් ඇත්තන් අන්ත පරාජයට පත්කරන ලදි. මිනිස් සතා අවසානයේ කළා යැයි කියන්නේ බැරිම තැන කළුකුඩු බස්නේ හෙවත් තුවක්කු උණ්ඩයේ පිහිට පැතීමය. අන්තිමේ එල්ල කරන ලද වෙඩි පහරවල් කිහිපයකින් පසු පනාමුරේ ඇත් රජුගේ කුම්භස්තලය හරහා එල්ල කර තබන ලද වෙඩි ප්‍රහාරය නිසා අන්තිමේ දී පනාමුරේ ඇත් රජා මැරී වැටුණි. එදා පළවූ පුවත්පත්වල මේ අනුවේදනීය සිද්ධිය පිළිබඳව පළවෙද්දී ‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කළේ එම සිද්ධිය ‘%ඇත්ගාලේ දරුපෙම’ නමින් අනුවේදනීය කෙටි සරල ගීතාවලියකට කැටිකර නිර්මාණය කිරීමය. සුගතපාල මලලසේකර කළේ %පනාමුරේ ඇත් රාජා^ නමින් ගීතයක් ප්‍රබන්ධය කර තම හඬින්ම ගායනා කර ප්‍රචාරය කිරීමය.
පනාමුරේ ඇත් රාජා ගීතය අද ද රීමික්ස් කරමින් ගායනා කරනු අසන්නට ලැබේ. එහෙත් එය මානවසිංහයන්ගේ නිර්මාණයක් නොවීය. මානවසිංහයන් ගේ ඇත්ගාලේ දරු පෙම වෙතින් කියැවුණේ ඇත් පැටවකු වැලපෙන අන්දම ගැනය. එම නිර්මාණය එවන් මෑත යුගයේ එවන් සිද්ධියක් ගැන ලියැවුණු ඉතාම සංවේදි සාහිත්‍ය නිර්මාණයක් ලෙස ඉතිහාස ගත වී හමාරය.
එම නිර්මාණයේ මුල් කොටස් මෙසේය.
ඇත්ගාලේ දරු පෙම
මොකටද අම්මේ අම්මට ගැහුවේ
මාමලා දෙන්නෙක් වට කරලා
ඇඟපත තැළිලා රිදෙනවා ඇතිනේ
කොච්චර ගැහුවද බැඳ දමලා
දෙපා සතා ගේ ළඟ කාබී ගෙන
සිටියදි ගති ගුණ වෙනස් වෙලා
මාමලා ඔහොමයි උන්ගේ ගතිගුණ
හැරෙනවා නෑකම් අතහැරලා
අම්මලා කනකොට වතුර නාන කොට
තිප්පලේ නිදියන කොට වැටිලා
කැලේ මාමලා ඉඩ දි අයිනට
වෙලා ඉන්නවා නොවැ රැකලා
මිනිහයි කියනා දෙපා සතාගේ
ළඟින් ගියත් ඇති පොඩි පුතුනේ
ළෙහි පපුකම් නෑ හරි ගතිගුණ නෑ
ඒ බව කවුරුත් දන්නවනේ
මානවසිංහයන්ගේ නිර්මාණය දුටු එවක ලංකාදීපයේ ම ‘ගොළු හදවත’ නවකතාව ලියමින් සිටි කරුණාසේන ජයලත්ගේ සිත සසල විය. පරණ ටයිම්ස් බිල්ඩිමෙන් හොරණ - කොළඹ ගාමිණී කොම්පැණියේ බස් එකේ දෙන්නා ගමන් කළේ එකටය. මානවසිංහ බොරලැස්ගමුවෙන් බැසගත් අතර, ජයලත්ගේ නිවෙස පිහිටියේ පොකුණුවිට ය.
අලියා ඇතින්නට හොඳ සැමියෙක් නෙමෙයි
මිනිසා හැරුණු විට හොඳම සමලිංගිකයා අලියා
ජයලත් පැමිණි බස් රථයේ සිට මානවසිංහ ගේ ’‘ඇත්ගාලේ දරු පෙම’ විචාරය එම බස් රථයේම මීමන තෙක් ගමන් ගන්නා ලේක් හවුසියේ සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක කිහිපවරක් කියවා ඇස් උඩට ගෙන විශිෂ්ට නිර්මාණයක් බව ජයලත්ට කිව්වේ හිස සලමිනි. විචාරයේ දී ජයලත් මෙසේ කියයි.
“මුලින්ම නෙත්වල කඳුළු පිස දමමි. මීළඟට සිත නොසන්සුන් වූයේ ඇත් ගාලේ දරු පෙම ලියූ කලාකරුවා සොයාගෙන යාමට ය. හිසකේ අවුල් වූව ද කිසි බර ගතියක් නොපෙනෙන සැහැල්ලු මුහුණින් යුත් ඒ කලාකරුවා හමු වී කතාබහ කළෙමි. ඇත් ගාලේ දරු පෙම ගී පෙළ කියවා ගෙන යද්දී මගේ මව විසින් මා සිප වැලඳ ගනු ලැබූ ළපටි කාලය අවසන් වූ බවත් කිසිසේත්ම මට නොදැනුනැයි කියමි. ඒ ඇත්තය.
මව් සෙනෙහස, දරු පෙම, කරුණාව, දයාව, නිදහස් සුවයේ රසය නොමේරු බොළඳ සිත්වලට මෙතරම් අගේට හුරු පුරුදු වන කවි පෙළක් මින් පෙර මම නුදුටිමි. මෙය ලියූ කලාකරුවා හමුවීමට මගේ සිත නොසන්සුන් වූයේ ඒ නිසාය.”
එහෙත් පසුකාලීනව පනාමුරේ ඇත් රාජාට වෙඩි තැබීමට අණදුන් ඇත්ගාලේ හිමි කරු වූ කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ තම පුටුවේම හෘදයාබාධයකින් වැටී මියගොස් සිටියේ පනාමුරේ ඇත්රාජා මැරී වැටී සිටි අන්දමින් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත් ඇතැම් ලේඛනවල ඇත්තේ මොලමුරේ මියගියේ රෝහල් ගත කොට දින 2 කට පසු බවය.
- සමරිසි අලි
පසුගියදා සමලිංගික විවාහ ගැන අගරදගුරු තුමා විසින් තම විරෝධය සෘජුවම ගෙන හැර පාන ලදි. එමෙන්ම අනෙකුත් ආගමික නායකයෝ ද තම විරෝධය පළ කළහ. එහෙත් මිනිසා ගෙන් පසු හොඳම සමලිංගිකයා වන්නේ අලියා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු නියතය.
වෛද්‍ය නන්දන අතපත්තු අලියාගේ ලිංගික හැසිරීම හා සම ලිංගිකත්වය විග්‍රහ කොට ඇත. ඊටත් වඩා තහවුරු වී ඇත්තේ අලියා ප්‍රේමයෙන් උමතුවන පෙම්වතකු බවය.
අලි රංචුවක් සමන්විත වෙන්නේ ගැහැනු සතුන්ගෙන් ය කියා බොහෝ අය දන්නේ නැත. මේ ගැහැනු කණ්ඩායම් අතරේ පිරිමින්ට ඉන්න පුළුවන් පැටවා කාලයේ දී පමණකි. පිරිමි පැටවා ලිංගික වශයෙන් ද්විතීයික ලිංගික ලක්‍ෂණ පහළ කරන විට මව විසින්ම ඌව රංචුවෙන් නෙරපා හරිනු ලබයි. කිසිම සමාවක් නැතිව පිටමං කෙරෙන මේ පිරිමි සතා වනයේ තනිවීම සිදුවේ. තනි අලියා ලෙස ගම්මුන් හඳුන්වන්නේ මේ තනි අලියාව ය. තනි අලියා හුදකලා දිවියක් ගෙවයි. එමෙන්ම මිනිසා හැරුණු කළ ලිංගික සේවනයට අලියා තරම් යොමු වුණු තවත් සතෙක් නැත. වනයේ තනි වූ තනි අලියා තවත් එවැනිම තනි වුණු පිරිමි සතෙකු හමු වූ විට බොහෝ අවස්ථාවල මේ සමලිංගික සම්බන්ධතාව ගොඩනැගීම සිදුවේ.
වනයේ සැරිසරන අය මේ අලි සම්බන්ධතා ඕනෑ තරම් ඡායාරූපවලට ග්‍රහණය කරගෙන ඇත. ඒ අතරින් විශේෂයෙන් විනෝදකාමී විදේශිකයන් මේ දර්ශන අන්තර්ජාලයට එක් කොට ඇත.
කලින් කී පරිදිම තහවුරු වී ඇත්තේ අලියා හොඳ පෙම්වතෙක් හෙවත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකු බවය. අලියා තමන්ගේ සහකාරියක සමග දීර්ඝ මධු සමයක් ගත කරන බව සත්ත්වවේදීන් ගේ මතයයි. හැම ආකාරයකින්ම ඒ පෙම් සුව විඳීම අවසන් වන්නේ ලිංගිකව එක් වීමෙන් පසුවය. එම කටයුත්තෙන් පසු අලියා සිය සහකාරිය ළඟ තවදුරටත් රැඳෙන්නේ නැති බැවින්, අලියා හොඳ ස්වාමි පුරුෂයෙකු නොවන බවට අතීතයේ සිටම මතයක් මුල් බැස ගෙන හමාරය.
- අලි බැලීම සහ අලි කෙඳි
කුඩා දරුවන් බලාගැනීමත් අලි බලා ගැනීමත් අතර ඔය කියන තරම් වෙනසක් නැත. මොනවා කිව්වත් මේ දෙවර්ගයම ‘’බබුන්’ වීම විශේෂත්වයකි.
අපට බොහෝ විට ඇසෙන්නේ පෙරහැර බලන්නට පැමිණි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බවය. එහෙත් පෙරහරේ ගමන් ගන්නා බීමත් අලින් අත් අඩංගුවට ගත් බවක් නම් අසන්නට නැත.
මෙය අනන්තව වන සිදුවීමක් ය. ඇත්ගොව්වාට අරක්කු බෝතලයක්, කසිප්පු බෝතලයක් ලැබුණ විට කාලක් ඇත් ගොව්වා බීමෙන් පසු ඉතුරු තුන්කාල අලියට පෙවීම සිරිතය. රා මුට්ටි ගණන්, කසිප්පු බෝතල් ගණන් අලින්ට පොවන ඇත් ගොව්වෝ ද සිටිති. අලින්ට වෙරි මතය දරාගන්න පුළුවන් පුදුමාකාර ලෙසය. මත් වූ විට අලි දඟලති, නටති. මිනිස්සු බිව්වා මෙන්ම එහි ඇති වෙනසක් නැත.
අලියාගේ බඩ යටින් යාම බොහෝ අපල දුරුකිරීමට හේතු වන බවට මතයක් ඇත. එහෙත් අපලවලින් දුරුවීම අවශ්‍ය නම් යා යුත්තේ වල් අලියකුගේ බඩ යටිනි. මීට හේතුව හීලෑ අලින්ගේ පිට පාගා පිටේ මිනිසුන් ගමන් කොට තිබීමය. එහෙව් අලින්ගේ බඩ යටින් ගියාට අත්වන ප්‍රතිඵලයක් නැති බව ගුරුකම් දන්නා අයගේ මතයයි.
ඊටත් වඩා අලින්ගේ නැට්ටේ කෙඳිවලට ඇත්තේ දැඩි ඉල්ලුමකි. එහෙත් ගුරුකම්වලට ගන්නේ වල් අලින් පිටගාන වල්ගේ ගාවන තැන් වල කෙඳිය. හාස්කම් ඇත්තේ ඒවායේ ය. කොළඹ පෙරහරට එන අලින්ගේ ඇත්ගොව්වන්ට ගතමන්ට් එකක් දී ‘නියපොතු කපන නේල් කටර්’ එකෙන් කපා ගන්නා අලි කෙඳිවල ඇති ගුප්ත බලයක් නැත. මෙම අලි කෙඳි ඇතැම් විට එකක් රුපියල් 5000ට පමණ අලෙවි වේ. වල් අලින් වනයේ මියගිය විට නැට්ට කපන ජාවාරම්කරුවෝ කෙන්දක් රු. 3000 සිට 5000 දක්වා අලෙවිය ද සිදු කරති.
වනයේ වල් අලින්ගේ වලිගයේ ඇති කෙන්දක් පැලඳීමෙන් විශාල ශක්තියක් ඇති බවට ප්‍රකට මතයකි. පිට පාගපු නැති අලියකුගේ කෙන්දක්වීම අනිවාර්ය කරුණකි. පළමුව අලියකුගේ පිටට නගින එක කරන්නේ සුවිශාල වාරිත්‍ර විධි ගණනාවක් සිද්ධ කිරීමෙන් පසුවය. ඊට හේතුව දෙවියන් වඩින වාහනය ලෙස හස්තියා සලකන නිසාය. අලියාගේ බඩ යටින් රිංගීමත් වල් අලියකුගේ කෙන්දක් පැලඳීමත් කියන කාරණා දෙකම සමහර අය විශ්වාස කරනු ලබයි. විශේෂයෙන්ම අලියගේ කුස යටින් යාම කළ හැකි වේලාවල් තිබෙන අතර - අලියා කන වේලාවක, නාන වේලාවක බඩ යටින් යාමට ගියොත් අලි ප්‍රහාරයකට ලක් විය හැකිය. පසුගිය වසරේ ද අලින් ගේ බඩ යටින් යන්න ගිය පුද්ගලයන් මරණයට පත් වූ අවස්ථා වාර්තා විය. පොත පතේ සඳහන් වන්නේ අලියාට දේව බැල්මක් ඇති බවය.
අලියාගේ පාද සතරෙහි භාරව යමි, යමඋති, පසරි, මනාරි යනුවෙන් අදෘශ්‍යමාන බලවේග සතරක් පවතින බවට පිළිගැනීමක් ඇත. ඒ පිළිගැනීමෙන් ඇස් වාහනය පිටේ වාඩිවෙන තැන වෙනම දේවතාවන් සිටී. මද කිපුණු අලියා සහ මද කිපෙන කිට්ටු අලින්ගේ කුම්හස්තලයේ ලක්‍ෂ්මි සිටින බවත් තව විශ්වාසයකි. තෙමුණු අලියෙක් මාස ගාණක් ගස් බැඳ තැබීම සිරිතය. එවිට වාහනේ නීලගිරි දේවතාවෙකු ඒ මාස ගාන පුරාම රැඳී සිටින බව විශ්වාසයයි. සමහර අලි තෙමුණ පසු ඇත්ගොව්වා පෙන්නන්නන් බැරිය. එවිට අලියා වශී කර ගන්න හකුරු හෝ උක්ගස් වලට මතුරා කන්න දීම සිදු කරයි. ඉන්පසු එක පාරටම හස්තියෙක් පිටට නගින්නෙත් නැත්තේ පිටේ නීලගිරි දේවතාවා සිටිනවා කියන හැඟීම තිබෙන නිසාමය.
- අලි ජාවාරම්
මෙරට අලි ජාවාරම්වලට විනිසුරුවරුන් ගේ නම් පවා ගෑවී ඇත. 2014 දි මේ ගැන පාර්ලිමේන්තුවේ හඬ නැඟුණ බව හැන්සාඩ් වාර්තාවල සඳහන් විය.
එවක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් 2014 මැයි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව නීතියට පටහැණිව ලබාගත් අලි පැටියකු සිටින බවය. මෙම ප්‍රකාශයට පසුව වහාම කථානායකවරයා අමතා ලියුමක් යැවූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කියා සිටියේ තමා ළඟ සිටින්නේ නීත්‍යනුකූල අලි පැටියෙකු බවය. තමා එම අලි පැටියා මිලදී ගත්තේ මීගොඩ, ඕවිටිගම, 409 යන ලිපිනයේ දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවරගෙන් බවත්, ඔහුගේ අංක 334 හා 2012.03.37 දරන බලපත්‍රය හා ලේඛන වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂා කර සත්‍ය බවට සනාථ කර ගෙන මිලදී ගැනීම කළ බවත් එහි සඳහන් විය.
ඒත් එකල විගණකාධිපති දෙපාර්තමේන්තුව පළ කළ විගණන විමර්ශනයක් පදනම් කරගෙන පළ වූ ප්‍රවෘත්තියක් නිසා මහේස්ත්‍රාත් වරයාගේ පටිරෝල් විය. මෙම විමර්ශන වාර්තාව 2014 ජූලි 22 වැනි දින නිකුත් කර තිබූ අතර, එහි දක්වා තිබුණ පරිදි අදාළ විමර්ශනය තුළ නියැඳියක් ලෙස ලිපිගොනු සතරක් විමර්ශනයට ලක්කර ඇත. ඒ අංක 331, 334, 358, 359 ලෙසය. නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටින අලි පැටවුන් බොහෝ ප්‍රමාණයක් අතරින් නියැඳියක් වන මෙම නියැඳිය තුළ ලිපිගොනු අංක 334 ලෙස සඳහන් වන්නේ විනිසුරු තිළිණ ගමගේ සතුව පැවති අලි පැටවාය. අදාළ විගණන විමර්ශනය අලි පැටවා ගේ ලියාපදිංචිය සම්බන්ධයෙන් කරුණු බොහෝ ප්‍රමාණයක් ගවේෂණය කොට සකස් කර තිබූ අතර, ඊට සම්බන්ධ බොහෝ රාජ්‍ය නිලධාරීන් ගේ ද ප්‍රකාශ ද එයට ඇතුළත් විය.
ඒත් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ අලි පැටවාව වනජීවියට අනාරාධිතව භාරදෙන ලදී. විල්ගමුව ප්‍රදේශයේ නිවසක් ප්‍රදානය කිරීමේ උත්සවයක දී විනිසුරුවරයා සහ අලි රොෂාන් යන අයගේ එකට සිටින ඡායාරූපයක් එකල ජනප්‍රිය විය.
මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ හොර අලියෙකුට බලපත්‍රයක් ඉල්ලීමක් ද එකල වාර්තා විය. ගෝඨාභය රාජපක්ෂට මෙම අලි පැටවා හිමි වී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සන්නසකට අනුවය. එම සන්නසට අනුව දෙනියාය කල්දිලිපාන රණසිංහාරාමයේ භාරකරු වන එන්.ජී. රාජපක්ෂ යන අයට ‘සංස්කෘතික කටයුතු සඳහා යොදවා ගැනීම සඳහා’ යැයි කියමින් මෙම අලි පැටවා පිරිනමා තිබුණි. සන්නසේ සඳහන් දිනය 2014.01.10 වන අතර, ලංකාවේ කිසිදු බෞද්ධ විහාරයකට ගිහි භාරකරුවකු නොමැති බව බෞද්ධ හිමිවරුන් සනාථ කරන තත්ත්වය තුළ ඉහත සන්නසෙන් කර තිබෙන ප්‍රදානය සැක සහිත බවට රාවයක් එකල පැතිර ගියේ මේ අතර ය.
එවක වනජිවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායකගෙන් එකල කරුණු විමසීමේ දී නුගේගොඩ, මිරිහාන, පැඟිරිවත්ත මාවත, 26 ඒ යන ලිපිනයේ පදිංචි එන්.ජී. රාජපක්ෂ යන අය විසින් ගෝඨාභය රාජපක්ෂ යන අත්සනින් අලි පැටවකු ලියාපදිංචිය සඳහා අයැදුමක් යොමුකර ඇති බව සනාථ කරන ලදි. ඒත් ගෝඨාභය ජනපතිකම අතහැර රටින් පලායද්දී අලි පැටවා අරන් ගියේ නැත.
- අලින්ට නම් තබන සජිත්
වර්තමානයේ අලි-මිනිස් ගැටුමට සෘජුවම විසඳුම් කියන පුද්ගලයෙකු නම් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ය. යාල වන්තරයේ සද්දන්තයන්ට ගැමුණු, තිලක්, කණ්ඩුල, නාලක, පැරකුම් කියන නම් තබන ලද්දේ සජිත් ය. වරක් සජිත් කතරගම වනයක දී ඇතෙක් දැක ඇත. ඉතා තේජාන්විතව සිටි ඒ ඇතා දෙස බල බලා සිටිත්දි සජිත්ට පණිවුඩයක් ලැබී ඇත්තේ ජනරාල් කොබ්බෑකඩුව කොටි බෝම්බයකට අසුවී මියගොස් ඇති බවය. කොබ්බෑකඩුව ගේ අභාවය දැනගත් සැණින් තමන් ඉදිරියේ සිටින දැවැන්තයාට සජිත් ‘%කොබ්බෑකඩුව’ යන නම තැබුවේය.
දියවඩන නිලමේ පවසන්නේ පෙරහැර කරන්නට අලින් නැති බවය. තවත් විටෙක කියවෙන්නේ ඇත් අතුරු සෙවණක පුනරුත්ථාපනය වූ අලින්, ඇතුන් වනයට මුදාහළ බවය. අතොරක් නැතිව ඇසෙන්නේ අලි මරණ හා මිනිස් මරණ ය. දැන් අපට සිදු වී ඇත්තේ ‘මේ අලි ප්‍රශ්නය’ ගැන මීට වඩා ප්‍රායෝගිකව සිතා ගත යුතු පියවර ගැන ප්‍රායෝගික විසඳුමකට ඒමට ය.
මහින්ද රණවීර