හිරු මුදුන් වී ඇත. මහ පොළොව සිපගත හැකි හැම තැනකම හිරු රශ්මිය පතිතව ඇත. විඩාබර පිරිස් වනාන්තරයේ කුඩා ගස් සෙවණ යට ගිමන් හරිති. සමහරු පොළොවට එළාගත් ඉටි රෙදි මත බිම වැතිර ගිමන් හරිති. කොල්ලො කුරුට්ටෝ ද, මහල්ලන් මෙන්ම මැදිවියේ පිරිස් ද ඒ අතර වෙති.
බාඟුරා පිටියේ හැම ගහක්, පඳුරක් යටම එවැනි කණ්ඩායම් ය. මැදිවියේ කාන්තාවෝ බිම වාඩිලා ගෙනම කුඩා මුට්ටියකට හාල් දමා සෝදති. තවකෙක් ලූනු කපයි. ඒ අතර ලී කැබැල්ලක ගසා ගත් තාවකාලික හිරමනයකින් පොල් ගෙඩියක් බිඳ, පොල් ගායි.
බාඟුරාවේ තැනින් තැන කෝටු කෑලි එකතු කර හදාගත් ළිප් සිය ගණනකි. ඒ ළිප් මත මොකක් හෝ මුට්ටියකි. වරින් වර හමා එන තද සුළඟින් ළිප් ආරක්ෂා කරන්නට ඒවා වටා වාඩිවී තම නඩේට දහවල් අහර පිසින තලතුනා කාන්තාවන් ය.
බාඟුරා ඇළ ගලා බසින්නේ මේ පිටිය අසලින්ය. බාඟුරා ඇළ කිඹුලන් ගේ රජ දහනකි. බාඟුරා ඇලේ ලී පාලමට පහළින් ඇළට බැස සිය ගණනක් දිය කෙළිති. වැඩිහිටියෝ මුට්ටියකින්, බාල්දියකින් හිසට වතුර වක්කර ගෙන නාද්දී ගැහැනු පිරිමි, ළමා ළපටි දියේ ගිලෙමින් දිය නාති. බාඟුරා ඇළේ පතුලේ එක්රැස්වූ මඩ නිසා වතුර අව පැහැගැන්වී තිබේ. එහෙත් තම මුතුන් මිත්තන් වසර දෙසීයකට අධික කාලයක් පාද යාත්‍රාවේ යද්දී දිය නෑ ආකාරයටම නවකයෝ ද දිය නාති.
උතුරු නැගෙනහිර දෙපළාතේ හින්දු ආගමික ජනතාව වාර්ෂිකව කතරගම බලා පා ගමනින් එද්දී කුමන ජාතික උද්‍යානයේ දී පළමු දවසේ දහවල ගත කරන්නේ එලෙසය. මේ පාගමන පොදුවේ හඳුන්වන්නේ “පාද යාත්‍රාව“ ලෙසය.
සැම වසරකම මේ පාදයාත්රාවෙන් තිස් දහස ඉක්ම වූ බැතිමතුන් පිරිසක් කතරගම පෙරහරට එති. පාද යාත්‍රාවේ ඉතිහාසය සහ පුරාවෘත්ත ගැන මීට පෙර අපි කතා කර ඇත්තෙමු. ලිපිය ලියන මම මේ ගියේ දොළොස්වන වතාවටය. මේ ගමනට මම මුලින්ම එක්වුණේ 2012දීය. 2020-2021 වර්ෂවල පාදයාත්‍රාවට අවසර නොලැබුණේ කෝවිඩ් වසංගතය නිසාය.
මස් මාංශවලින් වැළකී සති හෝ මාස කිහිපයක් පේවී හින්දුන් යන මේ ගමන අද ආගමික මුහුණු වරින් ටික ටික ඈත්වෙමින් පවතී. කුමන සහ යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක හා එක හරහා පයින් පැමිණීමේ ත්‍රාසය මුසු තාවකාලික වින්දනය පදනම් කර ගෙන පැමිණෙතැයි හැඟෙන තරුණ කණ්ඩායම් එන්න එන්නම වැඩිය.
මේ පාද යාත්‍රාවේ අතිශය දුෂ්කරම කොටස නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම ගමට කිලෝමීටර් 17ක් පහළින් හමුවන ඔකඳින් පටන් ගනී. කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් ගේට්ටුව ඇත්තේ ඔකඳ ය.
ළිංතුනේ මාදං ගසට පූජා තබමින්
කුමන ගේට්ටුව මේ පාගමන සඳහා විවෘත කරන දිනය එන තෙක් ඔකඳ මුරුගන් දේවාල භූමියේ දහස් ගණනක් වූ හින්දු බැතිමතුන් ගිමන් හරිති. මේ අවුරුද්දේ ගේට්ටුව විවෘත කළ මුල් දිනයේ කතරගම බලා එන අටියෙන් ඇතුළු වු පිරිස 10444ක් බව නැගෙනහිර පළාතේ සහකාර වනජීවී අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස අනාවරණය කළේය. ජුනි 30දා වනවිට එය තිස්තුන් දහස ඉක්ම වීය.
ඒ පිරිස අතර දමිළ හින්දූ ආගමික චාරිත්‍ර ගමනට යන අයට අමතරව ත්‍රාසජනක අත්දැකීම් සහ පරිසර වෙනස දැකගන්නට යන සිංහල සහ දමිළ තරුණ කණ්ඩායම් ද වූ බව පිවිසුම් ගේට්ටුවේ ඇතුළු වන පිරිස් ගණනය කරන යුද හමුදා සහ වනජීවී නිලධාරීන් කීවේය. මා ඇතුළු තිස් දෙ දෙනෙකු ගෙන් යුතු අපේ කණ්ඩායම පෙරවරු දහයට පමණ ඇතුළුවන විට පන්දහස් නව සියයකට වැඩි පිරිසක් ඇතුළුවී ඇති බවට අපව දැනුවත් කළේය. මේ පාද යාත්‍රාව හින්දු අගමිකයන් ගේ සාම්ප්‍රදායික ගමනකි. ඔවුන් කුමන සහ යාල කැලෑවේ ගමන් කරන කාලය තුළ අව් රශ්මිය තදින් දැනෙන දහවලේ සෙවණක සිට දිවා ආහාරය ආහාර සකසාගැනීම සම්ප්රදායයි.
ගෙවුණු දශකයකට වැඩි කාලය තුළ වසරින් වසරම මේ හින්දු ජාතිකයන් ගේ සාම්ප්‍රදායික ආගමික පා ගමනට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙන බව වැඩිහිටි දමිළ ජනතාව පෙන්වා දෙති.
යාපනයේ නාගදීපයේ නාගපූසානි අම්මාන් කෝවිලේ සිට ගමනාරම්භ කරන්නේ දුරින්ම එන හින්දු බැතිමතුන් පිරිසය. කුමන ගේට්ටු විවෘත කළේ ජූනි 20දාය. ඔවුන් ගමන් අරඹා තිබුණේ මැයි 01දා ය. ගේට්ටු විවෘත කරන තෙක් සතියකට වැඩි කාලයක් ඔවුහු ඔකඳ දේවාල බිමේ රැඳී සිටියහ.
මේ ගමනේ දී මහ කැලෑවේ හිතූ හිතූ තැන්වල රාත්‍රිය ගත නොකරන්නට හින්දු බැතිමතුන් වගබලා ගනිති. ඒ තම ගමන සතා සිවුපාවාට බාධාවක් නොවන්නට ය. කුමන ජාතික වනෝද්‍යානයේ ස්ථාන දෙකක පමණක් මේ බැතිමත්හු රාත්‍රිය ගත කිරීමට තෝරාගනිති. එක් ස්ථානයක් අප මුලින් කී බාඟුරාවයි. දෙවැනි ස්ථානය මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්තයි. මේ තැන්වල සමූහ වශයෙන් ඔවුන් රාත්‍රිය ගත කරන නිසා සතා සිවුපාවාගෙන් කරදරයක් නැත. සතා සිවුපාවාටත් වන්දනාකරුවන් ගෙන් කරදරයක් නැත. රාත්‍රියේ මදුරුවන්ගෙන් හෝහපුටුවන් ගෙන් ආරක්ෂා වන්නට වියළි අලි බෙටිවල දල්වා දුම්ගැස්සවීම වන්දනාකරුවන් ගේ සිරිතකි.
මඩකළපුව ඉරුතරායම්පුරම් සිට පැමිණි ඉරුදරන් අලගනාදන් (65) පැවසුවේ මෑතක සිට කැලෑව ඇතුළෙහි යුද හමුදාව ආරක්ෂාවට සිටින බවයි. එය එන්න එන්නම යුද හමුදාවේ වැඩිවීමක් පෙනෙන්නට ඇති බව ඔහු කනස්සල්ලෙන් පැවසුවේය.
“මේක අපේ ආගමික චාරිත්‍රයක්. අපි බොහොම පරිස්සමින් අපේ වැඩිහිටියන් ගේ උපදෙස් අනුව ගිය ගමනක්. අපිට පහසුකම් දෙන්න කියලා දැන් හමුදාවේ මහත්තුරු විශාල පිරිසක් තැනින් තැන යොදවලා. එහෙම උවමනාවක් හින්දු අපිට නෑ. අපි සතා සිවුපා ගෙනුත් ආරක්ෂා වෙලා, කැලෑවත් ආරක්ෂා කරගෙන ගියා. ඒනිසා මේ නවීකරණයන් අපිට අවශ්‍ය නෑ.” ඔහු පැවසුවේය.
අපේ කණ්ඩායම
බාඟුරාව පසුකර යන විට හමුවන ඉටිකළ හෝ යා කළ කලපුවේවත්, කුමන විල්ලුව ආසන්නයේ ඇති පිටිවලවත් සාම්ප්‍රදායික වන්දනාකරුවෝ රාත්‍රිය ගත කරන්නට තෝරා නොගනිති. ඔවුන් පවසන්නේ ඒවා වන සතුන්ගේ රාත්‍රී හැසිරීම්වලට තැබිය යුතු නිසා එසේ නොනවතින බවයි.
වන සතුන් ආහාර සහ වතුර සොයා විල්ලු සහ පිටිවලට එන්න පටන් ගන්නා විට පාදයාත්‍රා වන්දනාකරුවෝ ආරක්ෂිත තැන්වල රැය පහන් කිරීමට නැවතී අවසන්ය. නමුත් ත්‍රාසජනක අත්දැකීම් ලැබීමේ පරමාර්ථයෙන් මේ ගමනට එක් වෙන තරුණ පිරිස් අඳුරු වැටෙද්දීත් පාගමනින් ගමන් කිරීමට පුරුදුව සිටීම වසරින් වසර ඉහළ යන බවක් පෙනේ. එය අතිශයින් අනාරක්ෂිතය.
කුඩා කැබිලිත්ත දේවාල භුමියත් වන්දනාකරුවන් රාත්‍රිය ගත කරන තවත් එක් ස්ථානයකි. වසර කිහිපයක සිට එතැන යුද හමුදා මුර කපොල්ලකි. තාවකාලික කඳවුරකි. එතනින් ඉදිරියට කිලෝමීටර් පහක් පමණ ගියවිට ඇදකුඹුක හමුවෙයි. මෙවර ඇදකුඹුකේ තාවකාලික නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කර ඇත. කුමන විවෘත වූ පළමු දිනයේ කුඩා කැබිලිත්තේ තුන් දහසකට වැඩි වන්දනාකරුවෝ රාත්‍රී ලැඟුම් ගත්හ. එහෙත් එදින මැදියම් රැයේ ඩිෆෙන්ඩර් ජීප්, බෙලරෝ ජීප් පෙරහරක් එහා මෙහා ගියේ වන්දනාකරුවන් පමණක් නොව වන සතුන්ටත් පීඩා ගෙන දෙමිනි. මේවායේ ආවේ ගියේ කවුරුන්දැයි නොදනී. එක් බෙලරෝ ජීප් රථයක් ඇදකුඹුකේ නාවික හමුදා කඳවුරේ සිට රාත්‍රී දෙකට පමණ කුඩා කැබිලිත්ත දෙසට එද්දී නින්දේ සිටි බැතිමතුන් දහසකට වැඩි පිරිසකගේ නින්ද කැඩීය.
වතුර වැඩි කාලෙට කුඹුක්කන් ඔයෙන් එගොඩ වන්නට නාවික හමුදාවේ සහාය වන්දනාකරුවන්ට වැදගත්ය. නමුත් ඒ පහසුකම් දෙන මුවාවෙන් අනවශ්‍ය මැදිහත්වීම් වන්දනාකරුවන්ට මෙන්ම වනසතුන්ට ද බාධාවකි.
වර්තමානයේ දන්සල් මුවාවෙන් වනාන්තරයට ඇතුළුවන විවිධ කණ්ඩායම් නිසා වනසතුන්ට, පරිසරයට සහ වන්දනාකරුවන්ට සිදුවන්නේ බරපතළ හානියකි. ට්රැක්ටර්වලින් දිවා කාලයේ වනාන්තරයේ ඇති නිහඬතාව බිඳිමින් එහා මෙහා යමින් කරන හානිය දෙන දන්සලට වඩා අතිශයින් හානිකරය. ගිය වසරට වඩා මේ වසරේ ඒ තත්ත්වයන් බරපතළ බව සියැසින් දිටිමි. යාල කලාප අංක දෙකේ මෙවැනි දන්සල් ගෙන දෙන්නේ බරපතළ හානියකි.
ළිං තුන හෙවත් නාවඩි නැවතුමට යන කළපුව හරහා මෙවර මීටර් 250ක් පමණ කළපුවේ බැස යාමට සිදුවිය. නොඑසේ නම් විශාල වටයකින් එහි යායුතු විය. ඒ නිසා හැමෝම තෝරා ගත්තේ කලපුවෙන් ඉන වටක් කර වටක් බැස යන්නටය. ළිං තුනේ ඖෂධීය තේ පැන් දන්සලක් 2014 සිට ක්‍රියාත්මකය. ඒ මස්කෙළියේ ඉඩම්හිමි වැවිලිකරුවෙකු වන බාලේන්ද්රම් විසින් කරගෙන එන්නකි. ඊටම යාබදව නැගෙනහිර පළාත් සෞඛ්‍යසේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලගයියා ලතාහරන් විසින් පවත්වා ගෙන යන සෞඛ්‍ය සායනයකි. ඊට ආසන්නයේ නැගෙනහිර පළාතේ දානපතිනීන් ගේ අනුග්‍රහයෙන් පවත්වන බත් දන්සලකි. මුල් දිනයේ දෙතුන් දාහකට අහාර පිළිගැනිණි. ළිං තුන ආසන්නයේ යුද හමුදා අනුඛණ්ඩයක් අනුගත කර ඇත. නාවික හමුදාවෙන් වතුර පිරිසිදු කරන තාවකාලික පිරිපහදු යන්ත්‍රයක් සවිකර ඇත. එතැන ජංගම දුරකතන ආරෝපණය කරගැනීමට ද පහසුකම් සලසා ඇත.
දිවා ආහාරය පිළියෙල කරමින්
අවුරුදු හැත්තෑ අටක් වයසැති මුලතිව් වට්ටපලායි සිට පැමිණි මුරුගයියා අලගේෂන් පැවසුවේ දැන් ළිං තුන නවතින ස්ථානයේ විශාල ප්‍රදේශයක් එළි පෙහෙළි වී ඇති බවයි. දොළොස් වසරක අත්දැකීම් ඇති මම ද එය අනුමත කරමි.
“මෙහෙම තව අවුරුදු පහක් ගියොත් ළිං තුන පිට්ටනියක් වෙයි. මේ ආසන්නයේ අවුරුදු හැත්තෑවක් පැරණි මාදං ගහක් තියනවා. ඒකට අපි කියන්නේ මා දං දේවාලය කියලා. එතනට යන්න දන්නේ කාලයක් තිස්සේ යන එන අය විතරයි. එතන බහිරව දෙවියන් ඉන්න බවයි හින්දූන් ගේ විශ්වාසය. ලුණු නැතිව සැකසූ ගංජා රොටී ඇතුළු පූජාවන් මෙතනට කරනවා. ඉස්සර මෙතැන හොයා ගෙන එන්න අමාරුයි, ඒ තරමට කැලෑව. මේ අවුරුද්ද වනවිට එතන කැලෑව ගොඩාක් අඩුයි. ගිය අවුරුද්දේ මෙතන කොන්ක්‍රීට් ඉදිකිරීමක් කරලා තිබුණා. මේ සැරේ ඒක කඩාදාල තිබුණා. සත්තු වෙන්න ඇති. එහෙම වෙනම කොන්ක්‍රීට් ඉදිකිරීම් ඕනැ නෑ.” අලගේෂන් කීවේය.
ඔහු යුද සමයේ ද පාගමනින් පැමිණි බව කීවේය.
“ඒ කාලේ මේ පහසුකම් මොනවත් නෑ. අනවශ්‍ය අය ආවේ නෑ. කතරගම බලා යන සාම්ප්‍රදායික වන්දනාකරුවන් විතරයි ආවේ. ඒ හින්දා අපිට කරදරයක් තිබුණේ නෑ. දැන්නම් මේ වන්දනා චාරිත්‍රයත් ඉවරයි වගේ පේන්නේ.”
මේ ගමනේ දී මහ වනාන්තරේ තැනින් තැන ජලටැංකි තබා ඒවාට ට්‍රැක්ටර් බව්සර්වලින් ජලය ගෙනවිත් පුවරයි. ඒ නිසා වන්දනාකරුවන්ට තමන්ට සෑහෙන ප්‍රමාණයට වතුර ගෙන යායුතු නැත. සාම්ප්‍රදායික වන්දනාකරුවන් පවසන්නේ මේ ගමන තුළින් හින්දුන් අතර ඉගැන්වූ ජීවිත කළමනාකරණ පාඩම දැන් ඉගැන්විය නොහැකි බවයි. ඉදිරි අවුරුදුවල පහසුකම් වැඩි වුණොත් අනවශ්‍ය මිනිසුන්ගෙන් කුමන සහ යාල වනෝද්‍යාන පිරී යනු ඇතැයි ද වයෝවෘද්ධ වන්දනාකරුවෝ පවසති. කටුපිළ ආරේ අදින් වසර දහයක පමණ කාලයක සිට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මූලිකත්වයෙන් පරිසරයට හානියක් නොවන්නට බත් දන්සලක් පවත්වති.
අවුරුදු විස්ස, තිහ, හතළිහ තිස්සේ පැමිණි සාම්ප්‍රදායික හින්දු බැතිමතුන් පවසන්නේ පාද යාත්‍රාවේ බැතිමතුන්ට පහසුකම් සලසන මුවාවෙන් අනවශ්‍ය පුද්ගලයින් යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ වර්තමානයේ සැරිසරන බවයි.
“පහුගිය කාලේ ඇමැතිවරු වාහන පිරවරා ගෙන ආවා. හමුදා ප්‍රධානීනුත් එහෙමයි. ඒ අයගේ වාහන යන්න පුලුවන් විදියට කැලෑවෙන් පාරවල් ඩෝසර කරලා පළල් කරලා. සමහර තැන්වල අඩි සීයට පළල පාරවල් හැදිලා. කැලේ තියන වීර, පලු, දං, කරඹ වගේ පලතුරු ගස් වැල් සිය ගාණනක් ඒ ඩෝසර්වලට අහුවෙලා වැනසිලා. වන සතුන්ගේ බඩගිනි නිවන මේ ස්වභාවික සම්පත් පාද යාත්‍රාවේ එන බැතිමතුන්ගේ නාමයෙන් වනසනවාට අපි විරුද්ධයි.”
පාදයාත්රාවේ යමින්
වැඩිහිටි වන්දනාකරුවෝ එක හඬින් කියා සිටිති.
ඔකඳට ඇතුළුවීමට පෙරත්, කටගමුවෙන් එළියට පැමිණි පසු කතරගම දක්වා යන ගමනෙ දිත් ඕනෑම පහසුකමක් දුන්නාට වරදක් නැති බවයි පාදයාත්රාවේ සැබෑ බැතිමතුන්ගේ හඬ වී ඇත්තේ. පහසුකම් දෙන මුවාවෙන් අනවශ්‍ය පුද්ගලයන් වනාන්තරයට ඇතුළු වී උවමනා නැති ආකාරයට හැසිරීම් ගැන වන්දනාකරුවෝ මැසිවිලි නඟති. වන්දනාවට ගැරහුම් දෙන ආකාරයට එක්වෙන සිංහල සහ දමිළ තරුණ පරපුර ගැන ඇත්තේ ද කලකිරිමකි.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් වන ලලිත් ගමගේ, රෝෂන් ද සිල්වා, ඇතුළු අපේ කණ්ඩායමට ද මේ වෙනස ඉතා පැහැදිලිව අවබෝධ විය.
අජිත්ලාල් ශාන්තඋදය
දළදා මාළිගාවේ දන්සල
යාලකැලේ ඩෝසර් කර ඇති අයුරු