
“සර් මම යහළුවෙලා ඉන්න ගැහැනු ළමයා නුවරඑළිය හෝටලයකදී මාත් එක්ක තරහ වෙලා සුවිසයිඩ් කරගත්තා. මම එයාගේ බොඩි එක අරගෙන තෙල්දෙණියට ආවා. තෙල්දෙණිය ඉස්පිරිතාලේ පාක් එකේ කාර් එක තියෙනවා.” යැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාල මහතාගේ ජංගම දුරකථනයට පසුගිය දාහත් වැනිදා දහවල් කාලයේ කතා කළ අයෙක් දැනුම් දුන්නේය.
“මම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. වැඩකරන්නේ කටුනායක.” යැයිද එම පුද්ගලයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමග පවසා සිටියේය.
“ඒ ගැහැනු ළමයා සිය දිවි නසා ගත්තා කියලා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසියට ඇවිත් කටඋත්තරයක් දෙන්න” පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස පෙනීසිටිමින් කතා කළ අයට පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නේ උපක්‍රමශීලීව ඔහු පොලිස් ස්ථානයට ගෙන්වා ගැනීමේ අරමුණිනි.
මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා එසේ පවසනවාත් සමඟම ඇමතුම ලබා දුන් නොහඳුනන පුද්ගලයා දුරකථන දුරකථනය විසන්ධි කළේය. ලැබුණු එම දුරකථන අංකයට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතුම් කිහිපයක් ලබා ගත්තත් ඒවන විටත් ඔහු දුරකථනය විසන්ධි කර තිබිණ.
මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වාකිෂ්ට සහ උපපොලිස් පරීක්ෂක මිලින්ද ඇතුළු පොලිස් කණ්ඩායමක් සමග තෙල්දෙණිය රෝහලට ඒ මොහොතේම ගොස් සැකකටයුතු කාර් රථය පරීක්ෂාවට ලක් කළේය.
කාර් රථයේ ඉදිරිපස අසුනේ කාන්තාවක් කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටින අයුරු පොලිස් කණ්ඩායමට දැකගැනීමට ලැබී ඇති අතර දොරවල් ලොක් කර තිබූ නිසා ඉදිරිපස දොර කඩා බලන විට ඇය මියගොස් සිටින බව පෙනිණ. මළ සිරුර පරීක්ෂාකර බැලීමේදී ඇයගේ ගෙළෙහි තැළීම් තුවාල කිහිපයක් තිබෙන ආකාරය පෙනී ගොස් තිබේ.
කාන්තාවගේ මළසිරුර ඉදිරිපස අසුනේ තබා එම අසුන මදක් පහත් කර සීට් බෙල්ට් එකද දමා තිබෙන අයුරු පරීක්ෂණ කටයුතු සඳහා ගිය පොලිස් කණ්ඩායමට දැකගත හැකි විය. කිසිවකුටත් සැක නොසිතන ආකාරයට උපක්‍රමශීලීව ඇයගේ සිරුර රැගෙන ඇවිත් තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී පෙනී ගියේය.ඇය කාගේ කවුරුන් දැයි යන්න හඳුනා ගැනීමට සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ භෞත චිකිත්සකවරිය ලෙස කටයුතු කළ රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට නුවරඑළිය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණ.මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවේ දර්ශනීගේ වැඩිමහල් සොහොයුරා විසිනි.
“නංගි මගේ ජංගම දුරකථනයට කතා කර කිව්වා අයියේ මම නුවරඑළියේ හෝටලයක ඉන්නේ මට සනීප නැහැ දරාගන්න අමාරු පීඩනයක ඉන්නේ මාව බලලා යන්න එන්න කියලා. ඒ ඇමතුම ලැබුණු සැණින් මම නංගි බලන්න යන්න සූදානම් වුණා. නුවරඑළිය එන අතරවාරයේ ඇමතුම් කිහිපයක් ලබා ගත්තත් ඇය එම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මම හෝටලයට ඇවිත් සොයා බැලුවත් නංගී හෝටලයේ හිටියේ නැහැ.මට නංගීගේ අතුරුදන් වීම ගැන සැකයක් තිබෙනවා” යැයි කියමින් දර්ශනීගේ ලොකු අයියා පොලිසියට පැමිණිලි කළේ ඉකුත් 17 වැනිදාය.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී (1) චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත නුවරඑළිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් ප්‍රමුඛ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් භෞතික චිකිත්සකවරිය නවාතැන් ගෙන සිටි හෝටලයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
පොලිස් කණ්ඩායම හෝටලයේ ඇති සී.සී.ටී.වී. කැමරා එකින් එක පරීක්ෂා කර බැලීමේදී දැකගැනීමට ලැබී ඇත්තේ දර්ශනී කිසිවකු විසින් කාමරයේ සිට බොහොම අමාරුවෙන් වත්තන් කරගෙන විදුලි සෝපානය ළඟට යන අයුරුත් පහත මාලයේ විදුලි සෝපානය ආසන්නයේ නතර කර තිබූ කාර් රථයේ ඉදිරිපස අසුනේ ඇය අසුන් ගන්වන ආකාරයත්ය.
භෞත චිකිත්සක නිලධාරිනිය මරණයේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රැසක් රවටලා...
එම පුද්ගලයා ඇය වත්කම් කරගෙන යන අවස්ථාවේ සිහිසුන්ව හෝ මියගොස් සිටින බවක් පොලිස් කණ්ඩායමට සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත. හෝටල් ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු ලබාගැනීමේදී ඔවුන් හෙළිකර ඇත්තේ බිරිඳ හදිසියේ රෝගාතුර වීම නිසා කැඳවාගෙන යාමට පැමිණි බව එම පුද්ගලයා පැවසූ බවය.
භෞත චිකිත්සකවරිය සහ ඇයගේ පෙම්වතා බවට පැවසෙන තරුණයා පසුගිය දෙවැනිදා දහවල් දෙවැනි වතාවට නුවරඑළිය හෝටලයට පැමිණි අවස්ථාවේ ලක්ෂ එකහමාරක මුදලක් ගෙවා එහි කාමරයක් මාසයක කාලයක් සඳහා වෙන්කරවා ගෙන ඇත. පසුගිය දෙවැනිදා හෝටලයට පැමිණ ඇති මෙම දෙදෙනා දහවැනිදා දක්වා එහි රැඳී සිට පසුව පිටත්ව ගොස් තරුණිය පමණක් එම හෝටලයේ ඇය වෙන්කරවාගෙන සිටි කාමරයට යළි පැමිණ තිබේ.
![]() |
ඔවුන් හෝටලයේ කාමරයක් වෙන්කරවා ගෙන ඇත්තේ අඹු සැමියන් ලෙස පෙනී සිටිමිනි. දහසය වැනිදා රාත්‍රී 10.45 ට පමණ බිරිඳ අසනීප වූවා යැයි කියමින් මෙම පුද්ගලයා එම තරුණිය වත්තන් කරගෙන හෝටලයෙන් පිටත්ව ගොස් තිබෙන බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර හෙළිකර ගෙන තිබිණ.
ඇය රෝගාතුරව සිටියා නම් නුවරඑළිය රෝහලට රැගෙන නොගියේ මන්දැයි යන්න ගැන විමර්ශන කණ්ඩායම්වල අවධානයට යොමු විය. තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ රථ ගාලේ ගාල්කර තිබුණු කාර් රථයේ තිබී සොයා ගෙන ඇත්තේ අතුරුදන්ව සිටි දර්ශනීගේ මළ සිරුර බව පොලිසිය විසින් තහවුරු කර ගනු ලැබීය.
දර්ශනී, වැලිගම කුරුඳුකොරටුව පළල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඝාතනයට ලක්වන විට ඇය තිස්තුන් වැනි වියේ පසු වූවාය. කැනඩා සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඇය මුදල් පොලියට ලබාගෙන තිබූ අතර නියමිත වේලාවට පොලී මුදල් ලබා නොදීම නිසා පොලීකරුවන්ද ඇය සොයා පැමිණීම ඇයට මහත් හිසරදයක් ව තිබූ බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
දර්ශනීගේ මළ සිරුර සොයාගත් කාර් රථයේ හිමිකාරිත්වය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එහි හිමිකාරිනිය අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණියක බවය.
“මම දුවට කාර් එකක් අරන් දුන්නා.දුව ඔය කියන කොල්ලා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාලයේ දුව ඒ කොල්ලට කාර් එක දුන්නා. ඒ සම්බන්ධතාව පසුව කැඩුණා. ඊට පස්සේ දුව ඒ කොල්ලට නිතර කතා කරමින් කාර් එක ඉල්ලා සිටියත් දුන්නේ නැහැ. කාර් එක නොදී මගහැර සිටියා.” යැයි එම කාර් රථයේ හිමිකාරිනිය වන තරුණියගේ පියා පොලීසියට තොරතුරු හෙළිකරමින් පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන ඩී. එම්. එස්. දිනෙත් දිසානායක නමැත්තා දර්ශනී සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇතැයි කියන්නේ මීට මාස අටකට පමණ ඉහතදීය. ඒ ප්‍රේම සම්බන්ධතාව ඇති වූයේ කෙසේ දැයි යන්න ගැන දන්නේ ඒ දෙදෙනාය.දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වී ළඟදීම කැනඩාවේ රැකියාවක් සඳහා පිටත්ව යාමට සූදානම්ව සිටියහ.
දර්ශනී කෝටි එකහමාරක මුදලක් වරින් වර තම පෙම්වතාට ලබා දී තිබුණේ කැනඩා සිහිනය සැබෑ කර ගැනීමටය. බැංකුවලින් ලබාගත් ණය මුදල් මෙන්ම වැඩි පොලියට ලබාගත් මුදල් වරින් වර සිය පෙම්වතාට ලබා දී ඇතැයි කියන්නේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙනය.
අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ භෞතික චිකිත්සකවරියක ලෙස කළ රැකියාවෙන්ද ඉල්ලා අස්වීමේ ලිපිය එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයාට භාර දී ඇත්තේ සිය ඉංජිනේරු පෙම්වතා සමග විවාහ වී කැනඩා සිහිනය සැබෑ කර ගැනීම සඳහාය.

ඇය රැකියාවෙන්ද ඉල්ලා අස්වී ඇතැයි කියන්නේ පෙම්වතා කළ ඉල්ලීමටය. කැනඩා ගමන එන්න එන්නම ප්‍රමාද වීම නිසා ඇය සිටියේ දැඩි කනස්සල්ලෙනි.ළඟදීම කැනඩාවට යාමට අවස්ථාව උදාවෙන බව පෙම්වතා කිව්වත් එය දිනෙන් දිනම කල් යෑම නිසා ඇය මේ ගැන ප්‍රශ්න කිරීම පෙම්වතාට මහත් හිසරදයක් වී ඇතැයි කියති.
කැනඩා යාම ප්‍රමාද වීම ගැන ප්‍රශ්න කරන සෑම අවස්ථාවකම දෙදෙනා අතර ආරවුල් රණ්ඩු සරුවල් ඇතිවී ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගත්තේය. නුවරඑළිය හෝටලයේ නවාතැන් ගෙන සිටියදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු ඇය හෝටල් කාමරය තුළදී ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන අැගේ පෙම්වතා විවාහකයෙකු බවත් මෙම සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රුසක් මේ වන විට නුවරඑළිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇත.
මීට මාස 8 කට පමණ ඉහතදී මෙම සැකකාර පුද්ගලයා භෞත චිකිත්සකවරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තිබුණේ තමා පරිගණක මෘදුකාංග ඉංජිනේරැවරයකු බව පවසා වුවත් ඔහු එවැන්නකු නොවන බවට පොලිසිය විසින් තහවුරැ කරගෙන ඇත.
වයස 38 හැවිරිදි මෙම සැකකාර පුද්ගලයා මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ඇයට පවසා තිබුණත් මොහු කුලියාපිටිය පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මේ වන විට එම නිවස ද වසා දමා තිබෙන අතර මොහුගේ සැබෑ නම චම්පික ශ්‍රියාන් ජයසුන්දර ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.
මෙම සැකකාර පුද්ගලයා භෞත චිකිත්සකවරිය වන දර්ශනී සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණේ දිනෙත් දිසානායක යන ව්‍යාජ නමකින් බවත් අතර මොහු තවත් ව්‍යාජ නම් දෙකකින් පෙනී සිටින තැනැත්තකු බවත් පොලිසිය විසින් තොරතුරු තහවුරැ කරගෙන තිබේ.
පරිගණකාංග මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ව්‍යාජ නම් තුනකින් පෙනී සිටිමින් මොහු ගම්පහ, මාතලේ, මහනුවර සහ හෝමාගම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන ඉහළ පැලැන්තියේ පවුල්වල අයගේ දියණියන් තිස් දෙනෙක් සමඟ පමණ පසුගිය කාලයේ වරින් වර ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන එම තරුණියන් රවටා ඔවුන් සතු කෝටි ගණන් වටිනා දේපොළ වංචාවෙන් ලබා ගත් අයෙකු බවටද තොරතුරැ අනාවරණය වී ඇත. ප්‍රේම සම්බන්ධතා පවත්වමින් තරුණියන්ගේ මුදල් වංචා සිදු කර බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතින බව තොරතුරු හෙළි වී ඇත.
එමෙන්ම කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගෙන ඔවුන්ට දරුවන් සිටින බවටද තොරතුරු පොලිසියට ලැබෙමින් පවතී.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම හොර ඉංජිනේරුවරයා විවාහයෙන් පසු තරුණියන් යුරෝපීය රටවලට කැඳවාගෙන යන බවට බොරැ පොරොන්දු දී ඇතැයි පොලිසියට ලැබී ඇති තොරතුරුවලින් හෙළි වී තිබේ.මොහුගේ කඩවසම් බවට ද බොහෝ තරුණියන් රැවටී ඇතැයි කියති. තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවත් අනවරණය වී ඇත.
මෙම තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව ඇත.
මෙසේ තරුණියන් රවටා ඔවුන් සතු කෝටි ගණන් දේපළ වංචා කිරීමේ නඩු ගණනාවක් මොහුට එරෙහිව අධිකරණවල විභාග වීමෙන් පවතින බවටත් එම නඩුවලට පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින අයෙක් බව පොලිසිය පෙන්වා දෙයි.
මොහු සම්බන්ධව කිසියම් තොරතුරක් දන්නා අය සිටින්නේ නම් නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී 0718591096 යන දුරකථන අංකයට හෝ නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති 0718591097 අංකවලට දැනුම් දෙන ලෙස නුවරඑළිය මූලස්ථාන පොලිසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබ ඇත්තේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක විසිනි. තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ පසුගිය 18 වැනිදාය. දර්ශනීගේ සිරැරේ කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට ලබාගත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා එම වාර්තාව ලැබීමෙන් පසු මරණයට හේතු ප්‍රකාශ කරන බව දැනුම් දුන්නේ යැයි පොලිසිය කියයි.
භූමදානය කිරීමේ කොන්දේසිය මත දර්ශනීගේ සිරුර එදිනම ඇයගේ පවුලේ අයට භාර දී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නුවරඑළිය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රසිරි පූර්ණ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩාගේ සහ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී (1) චන්දන බස්නායකගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සංජීව සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


