
- අවදානම් සහිත කඳු මුඳුන්වල සිට පහළට අඩි 250ක් වනය සඳහා වෙන් කිරීම වැදගත්
- අඩි පන්දහසේ සීමාව ප්‍රායෝගික නෑ
‘දිට්වා’ කුණාටුව සමඟ ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ නායයෑම් හා ගංවතුර සමඟ, යළිත් මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් එය කළමනාකරණය කර ගත හැකි ආකාරය පිළිබඳ බොහෝ පාර්ශ්වයන්හි අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ සමග ඉරිදා ලංකාදීපය සිදු කළ සාකච්ඡාව ඇසුරින් මේ ලිපිය සැකසිණි.
කොළඹ - නුවර මාර්ගය
ජීවිත හයක් අහිමි වූ කඩුගන්නාව නාය යෑමේ සිද්ධිය ඇති වූ ස්ථානයේ සිට ඉහළ බෑවුම් ප්‍රදේශය වෙත අවධානය යොමු කිරීමේදී කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වැදගත් ය. එහිදී එම සමස්ත මාර්ගයේ ම බෑවුම් සමතුලිතතාව අඩු වී මුළුමනින් ම නායයෑමේ අනතුරකට ලක්විය හැකි බව ප්‍රකාශ කිරීම නුසුදුසුය. නමුත් එම මාර්ගයේ හඳුනාගෙන ඇති ස්ථාන කීපයක් නාය යෑමට ඉතා ආසන්නයේ පවතින බව පෙනීයයි. එම තත්ත්වය භූ ඉංජිනේරු විද්‍යාවේ හඳුන්වන්නේ සීමාකාරී සමතුලිතතාව යනුවෙනි. ඉතා සුළු වර්ෂාපතනයක දී පවා අවදානම්සහගත ස්ථාන නායයෑම්වලට ලක්විය හැකි ය.
මෙම මාර්ගයට ඉහළින් ඇති බෑවුමේ සිට දුම්රිය මාර්ගය අතර කලාපය පිළිබඳ අවධානය යොමු කළ හොත් එහි ඉහළ ප්‍රදේශයේ ශාක වැවී පැවතියද එම ශාකවලට පහළින් ඇත්තේ විශාල පස් තට්ටුවකි. එම පස් තට්ටුවට පහළින් පවතින්නේ පාෂාණ තට්ටුවකි. කොළඹ නුවර මාර්ගයේ ඇතැම් ප්‍රදේශවල පස් කොටස සම්පූර්ණයෙන් ඉවත් වී පාෂාණ ස්තරය මුළුමනින්ම පිටතට පෙනෙන්නට ඇති අයුරු දැක ගත හැකි ය.
විද්‍යාත්මක ව පස සකස් වන්නේ පහළ පවතින පාෂාණය ජීර්ණය වීමෙනි. වැසි ජලයේ පවතින නයිට්‍රික්, සල්ෆියුරික් වැනි අම්ල, පාෂාණවල ඇති මූලද්‍රව්‍ය හා සංයෝග සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් පාෂාණ ජීර්ණය වේ. ජීර්ණය වූ පසු බොරළු, වැලි, රොන්මඩ හා මැටි අංශු ලෙස පොළොව මතුපිට තැන්පත් වී ඒවා ගසාගෙන ගොස් ගංගා, මුහුදු ආදියේ පතුල්වල ද තැන්පත් වේ. පෘථිවි ගෝලයේ ඇතුළතින් ම පවතින ස්තරය වන පෘථිවි කබොල සෑදී ඇත්තේ විවිධ පාෂාණ එකතුවෙනි. ඒවා ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ හා විපරිත පාෂාණ ලෙස හඳුන්වා දිය හැකි ය. ආග්නේය පාෂාණ යනු ගිනිකඳු පිපිරීමෙන් ඇතිවන මැග්මා සිසිල් වීමෙන් සෑදෙන පාෂාණ ය. අවසාදිත පාෂාණ යනු පස්, වැලි, මැටි හෝ රසායනික තැන්පතු එකතු වී සැකසී ඇති පාෂාණ වේ. විපරිත පාෂාණ යනු ආග්නේය හෝ අවසාදිත පාෂාණ අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ වෙනස් වී ඇති පාෂාණයි.
ආතති පැළුම්
ශ්‍රී ලංකාවේ පොළොවෙන් සියයට අනූවක්ම පවතින්නේ විපරිත පාෂාණ ය. ඒවා ඉතා ශක්තිමත් ය. තිරුවානා, නයිස්, ග්‍රැනයිට්, මැග්මටයිට් ආදි පාෂාණවලින් මෙරට පාෂාණ ස්ථරය සකස් වී ඇත. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතිනුයේ කළු සුදු පාෂාණ ස්ථරයකි. කඩුගන්නාව වැනි බෑවුම් සහිත ස්ථානවල පස ගැඹුරට වර්ධනය නොවේ. ඒවා නිරන්තරයෙන් ඛාදනය වී කඳු දිගේ පහළට ඇදී යයි. විශේෂයෙන් අංශක 50, 60 ආදි කෝණවල පවතින බෑවුම් නාය යෑම අවදානම ඉතා වැඩි ය. කඩුගන්නාව පිළිබඳ සැලකූ විට එම බෑවුම පවතින්නේ පොළොවට අංශක හැත්තෑවක් ආනතව ය.
ඒ අනුව වර්ෂා කාලයේ දී කඳු බෑවුම දිගේ පහළට වැසි ජලය ගලාගෙන යන අතර එම වර්ෂාවෙන් සීයට10- 30ක් අතර ප්‍රමාණයක් පොළොවට උරා ගනී. නායයාම් සිද්ධියකදී සිදුවන්නේ පොළොවට උරා ගෙන ඊට යටින් ඇති පාෂාණය මත පවතින ජලය ඉහළට පැමිණීමයි. එම ජලය සම්පූර්ණයෙන්ම මතුපිටට පැමිණෙන විට උල්පත් මතුවේ. එවිට එම ජලය හා පස් පහළ ප්‍රදේශවලට ලිස්සා යයි. එනම් නාය යයි. නාය යෑමට පෙර මෙම ප්‍රදේශ ආශ්‍රිතව පැළුම් හා ඉරිතැළීම් ඇති වේ. මෙය පූර්ව අනතුරු ඇඟවීමකි. මේවා හඳුන්වන්නේ ආතති පැළුම් යනුවෙනි. මේ අනුව පෙනීයන්නේ මෙසේ පූර්ව අනතුරු ඇඟවීම් සහිත ස්ථාන නාය යෑමේ අවදානමක් ඇති බවයි.
කෙසේ වෙතත් නාය යන්නේ සමස්ත ගමක් හෝ මාර්ගයක් නොව එහි ඇතැම් ස්ථාන පමණි. නිදසුන් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ මීපිටිය එසේ ම ගලගෙදර ආදී ප්‍රදේශවලට නාය යෑමේ අවදානම දැඩිව පවතී. නමුත් එයින් අදහස් වන්නේ සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කය ම නාය යන බව නොවේ. එසේ පැවසීම විද්‍යාත්මක අසත්‍යයකි.
විශේෂයෙන් අංශක 50, 60 ආදි කෝණවල පවතින බෑවුම් නාය යෑම අවදානම ඉතා වැඩි ය. කඩුගන්නාව පිළිබඳ සැලකූ විට එම බෑවුම පවතින්නේ පොළොවට අංශක හැත්තෑවක් ආනතව ය.
මෙහිදී නාය යෑමේ අවදානම සහිත ස්ථාන පිළිබඳ සාකච්ඡා කරන විට ප්‍රථමයෙන් නුවර-කොළඹ මාර්ගය සලකා බැලිය හැකිය. එම මාර්ගයේ කඳු සහිත ස්ථාන ආරම්භ වන්නේ වරකාපොළ ප්‍රදේශයේ සිට ය. ඉන් පසුව හමුවන්නේ ගල්ගමුව, කෑගල්ල, මවනැල්ල, කඩුගන්නාව ප්‍රදේශයි. ඉහළට පැමිණීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම මාර්ගය දෙපස පැති බැමිවලට යම් යම් වෙනස්කම් සිදු කර ඇති ආකාරය දැකගත හැකිය. ඇතැම් බෑවුම් අංශක අනූවක් පමණ සිරස් අතට කපා ඇත. ඇතැම් ස්ථාන මඳ බෑවුම් සහිත හෝ සමතලා ආකාරයට සකස් කර ඇති ආකාරයද පෙනී යයි. ඒ අනුව යළිත් ප්‍රකාශ කළ හැක්කේ මෙම ප්‍රදේශයෙහි නායයෑමේ අවදානමක් පවතින්නේ බෑවුම් සමතුලිතතාව අඩු ඇතැම් ස්ථානවල පමණක් බවයි. එසේම පාෂාණ වර්ගය, පස්වල සංයුතිය අනුව මෙන්ම භූගත ජල මට්ටමෙන් අනුවද නායයෑම් අවදානම් තත්ත්වයන් වෙනස් වේ.
බෑවුම් කෝණ කැපීම
සිදු කරන ලද පර්‌යේෂණවලින් පෙනී යන්නේ කඳුකරයේ ඇතැම් ස්ථානවල මාර්ගය දෙසට අංශක 70 පමණ වන තෙක් ආනත ව පිහිටා ඇති අවදානම්සහගත බෑවුම්කෝණ පවතින බවයි. මේවායේ අවදානම් තත්ත්වය අඩු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ද කිහිපයක් පවතී. මාර්ග සංවර්ධන අධිකාරියට එම බෑවුම් කෝණ කපා වෙනස් කිරීම සිදුකළ හැකිය. එය රෝඩ් කටින් ලෙස හඳුන්වයි. එය සිදුකළ යුත්තේ අදාළ ස්ථානයේ පාෂාණ ස්තරය හා පසේ සංයුතිය පිළිබඳ සැලකිල්ලට ගනිමිනි. එසේම එම කපන ලද බෑවුම් කෝණවලට පතුල් ආධාරක බැමි බැඳීම වැදගත්ය. එම ආධාරක බඳින ආකාරය වන්නේ ඉංග්‍රීසි T අක්ෂරය උඩු යටිකුරු කළ හැඩයටයි. පොළොව තුළට අගලක් කපා කම්බි කොන්ක්‍රීට් ආදිය යොදා මෙම ආධාරක සකස් කරයි. එසේ නිසි ප්‍රමිතියට සකස් නොකළ හොත් එම ආධාරක බැමි පවා තල්ලු වී නායයාම් සිදුවිය හැකිය. මෙවර නායම්වලදී එවැනි බොහෝ අවස්ථා දැක ගත හැකි විය. එසේම ඉහළ ප්‍රදේශයේ සිට වර්ෂා කාලවලදී වැටෙන ජලය මාර්ගය වෙතට නොයන ලෙස මාර්ගය දෙපසින්ම කොන්ක්‍රීට් කානු පද්ධති සකස් කළ යුතු ය. එසේ ම කන්දේ ඉහළ ප්‍රදේශ තුළත් පහළ දිශාවට සකස් කරන කානුවල රේඛාවට ලම්භක දිසාවට කොන්ක්‍රීට් කානු සකස් කළ යුතුය. එය සකස් කළ යුත්තේ ඉංග්‍රීසි U අකුරක හැඩයෙනි. එවිට එම කානුවලට ජලය පිරෙන අතර කඳුවල උල්පත් පීඩනය අඩු වී නායයෑමේ අවදානම බොහෝ දුරට අඩු කරගත හැකි ය. තව ද ආතති පැළුම් සහිත හා ළිංවල ජල මට්ටම් ආදිය සැලකිල්ලට ගෙන ගම්මාන මට්ටමෙන් වෙන ම සිතියම් සකස් කොට, නායයෑමට ආසන්න අවස්ථාවල දී අදාළ නිවෙස් සඳහා කෙටි පණිවිඩ යැවීමේ ක්‍රමවේදයක් සකස් කර තිබීම අතිශය වැදගත් ය.

මාර්ග සංවර්ධන අධිකාරියට මෙහිදී විශාල වගකීමක් පවතී. විශේෂයෙන් කඳුකර මාර්ගයන්හි ඉහළ ප්‍රදේශවල ජල කළමනාකරණය පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්ය. නිදසුනක් ලෙස ගම්පොළ සිට නුවරඑළිය දක්වා මාර්ගයේ පුස්සල්ලාව ප්‍රදේශය පෙරදී ගිලා බසින ප්‍රදේශයක් ලෙස පැවතියද පසුකාලීනව එම ප්‍රදේශවල ආධාරක බැමි ඉදිකොට එම ගිලා බැසීම් වළක්වා ඇත. මෙම සමස්ත සිද්ධිය පිළිබඳ කෙටියෙන් පැවසුව හොත් නායයෑම් පාලනය කිරීම යනු කඳුකරයේ ජල පීඩනය පාලනය කිරීමයි. මෙරට ඉංග්‍රීසීන් පාලනය කරන සමයේ තේ වතු සකස් කිරීමේදී යොදා ගෙන ඇත්තේ මෙම ජල පාලන ක්‍රමයයි.
එසේම ඊසාන දිගට මහියංගණය මාර්ගය පිළිබඳ ව අවධානය යොමු කළ හොත් විශේෂයෙන් 18 වංගු ආශ්‍රිත ප්‍රදේශය වැදගත්ය. එහි ඇතැම් ස්ථානවලින් මාර්ගය පුළුල් කිරීමේදී ඇතිවූ සමතුලිත බවින් අඩු බෑවුම් දැක ගත හැකි ය. මිලිමීටර සියයට වැඩි වර්ෂාපතනයක් සහිත අවස්ථාවල මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන පහළට ලිස්සා වැටෙන අයුරු දැක ගත හැකිය. මෙම ප්‍රදේශවල ද නායයෑම් වැළැක්වීමට ඉහත කී ක්‍රියාමාර්ග ගත හැකි අතර එසේම බෑවුම් බංකුවක ආකාරයට ස්තරවලට කපා පිඩලි ගැසීම මඟින්ද නායයෑම් පාලනය කළ හැක.
මාර්ග සංවර්ධන අධිකාරියට භූ ඉංජිනේරු විද්‍යාඥයන් බඳවා ගැනීම ද සිදු කළ යුතුය. සුළි සුළං සහ වර්ෂාපතන ආදියේදී ඇතිවන නාය යෑම් වළක්වාගැනීම මේ ආකාරයෙන් විද්‍යාත්මකව සිදුකළ හැකිය. මේ සඳහා තවදුරටත් භූ ඉංජිනේරු විද්‍යාඥයන් නේවාසිකව නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ පරීක්ෂා කිරීම සඳහා යෙදවීම පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් ගලගෙදර, උඩපුස්සැල්ලාව, කඳපොළ, රාගල, වලපනේ ඇතුළු දැඩි අනතුරුදායක ප්‍රදේශ සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබීම අතිශය වැදගත් ය. එසේම දෙනියාය, පිටබැද්දර වැනි දකුණු පළාතේ ප්‍රදේශවලද ඇතැම් ස්ථාන නාය යෑමට හැකි තත්ත්වයක පවතී.
මාර්ග සංවර්ධන අධිකාරියට මෙහිදී විශාල වගකීමක් පවතී. විශේෂයෙන් කඳුකර මාර්ගයන්හි ඉහළ ප්‍රදේශවල ජල කළමනාකරණය පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්ය.
එසේම වර්තමානය වන විට ඉදිකිරීම් සඳහා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවද එම නීති පැමිණීමට පෙර සාදන ලද නිවාස බොහෝ ප්‍රමාණයක් මෙලෙස අවදානම් ස්ථානවල පවතී. එහිදී 2010න් පමණ පසු මෙම නීතිමය තත්ත්වයන් සකස් වීමත් සමඟ නායයාම් අනතුරු සිදු නොවන බවට ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ අධීක්ෂණය ලබාගත් සහතිකයක් ඉදිකිරීම් සඳහා පැවතිය යුතුය.
එහිදී නාය යෑමේ අවදානම මඳ වශයෙන් පවතින ප්‍රදේශවල ආරක්ෂිත උපායමාර්ග අනුගමනය කොට නිවාස සෑදීම සඳහා ඇතැම් අවස්ථාවලදී අවසර ලබා දෙන නමුත් ඒවා සකස් කිරීමේ දී රජය විසින් නිකුත් කරන ආරක්ෂිත නිර්දේශ අනුගමනය නොකර සාදන අවස්ථා ප්‍රායෝගික තලයේදී හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් නිවසක් සෑදීමට ගත වන කාලය ශ්‍රී ලංකාව වැනි රටක නිශ්චිත ව තක්සේරු කර කිව නොහැකි බැවින් පසුකාලීනව ඒවා ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ද අධීක්ෂණයට ලක් නොවීමෙන් අනතුරුදායක ඉදිකිරීම් එම නීතියක් පැමිණීමෙන් පසුව වුවද සිදුවන අවස්ථා දැකිය හැක. මෙවැනි අනතුරු වලින් බේරීම සඳහා අදාළ ආරක්ෂක නිර්ණායකවලට ගරු කරමින් ඉදිකිරීම් සිදුකිරීම ජනතාවගේද වගකීමකි. නීතිගරුකව ඉදිකිරීම් සිදුකරමින් නිලධාරීන් ලබාදෙන වාර්තා පිළිපැදීම මගින් මෙවැනි අනතුරු බොහෝවිට වළක්වා ගත හැකිය.
ජලාශ හිස්‍් කිරීම
එසේම දිට්වා කුණාටුව සමඟ පැමිණි ගංවතුර තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මධ්‍යම කඳුකරයේ සකස් කොට ඇති කෘත්‍රිම ජලාශ ගංවතුර සඳහා කෙසේ බලපෑවාද යන්න පිළිබඳ විවාදයක් පවතී. ඉහළ කොත්මලේ සිට රන්ටැඹේ දක්වා මෙම ප්‍රදේශයේ කෘත්‍රිම ජලාශ හයක් පවතියි. ඒවා සකස් වනුයේ 1970 දශකයෙන් පසුව ය. මේවා ඉදිකිරීමට පෙර 1940 දශකයේ අගභාගයේ පැමිණි ගංවතුරකින් මහනුවර ගැටඹේ බෝධිය වන තුරු ජලයෙන් යට වූ බව සඳහන්වේ.
නමුත් මෙවර එම ප්‍රමාණයටම ජල මට්ටම ඉහළ පැමිණියේ නැත. එසේම මෙවර වර්ෂාව පතනය වීමේදී කොත්මලේ, ඉහළ කොත්මලේ ආදී මෙම කෘත්‍රිම ජලාශ විසින් ජලය යම් ප්‍රමාණයකට රඳවා ගෙන සිටි ආකාරය දැකගත හැකි විය. සැබැවින්ම මෙම ජලාශ විදුලිබලය නිපදවීම සඳහා සකස් කරනු ලැබුවද එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ගංවතුර පාලනය වීමක් සිදුවන ආකාරය පෙනී යයි.
නමුත් මෙවර ගංවතුර අවස්ථාවේ මෙම ජලාශ කළමනාකරණය කළ ආකාරය පිළිබඳ යම් ගැටලුවක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සුළි සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකර එහි ප්‍රබලත්වය පිළිබඳ පූර්ව නිගමන සිදුකර ඇති විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා අදාළ වගකිවයුතු බලධාරීන් සිදු කළ යුත්තේ ඊට සති දෙකකට පමණ පෙර කාලයෙහි ජලාශ ක්‍රමයෙන් හිස් කිරීමයි. විදුලි උත්පාදනය සඳහා සීයට තිහක් පමණ ජලය රඳවාගෙන අනෙකුත් ජල කොටස ක්‍රමයෙන් මුහුදට යැවීමට යම් ක්‍රමවේදයක් අනුගමනය කළා නම් මෙම විනාශය තරමක් දුරට හෝ අඩුකර ගැනීමේ හැකියාව තිබුණි.
ඒ අනුව පෙනී යන්නේ විදුලි උත්පාදනය කිරීම සඳහා සකස් කරන ලද මෙම ජලාශ ගංවතුර පාලන ජලාශ ලෙස මෙම අවස්ථාවේ ක්‍රියාකර ඇති ආකාරයයි. එමෙන් ම ඒවා නිසි ලෙස කළමනාකරණය සඳහා අවධානය යොමු කළ යුතු බවයි. එසේම දකුණු පළාතේ ඇතිවිය හැකි ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර පාලනය සඳහා ද මෙවැනි ජලාශ ඉදිකිරීමට අවධානය යොමු කළ යුතුය.
එසේම යෝජනා වී ඇති මුහුදු මට්ටමෙන් අඩි පන්දහසකට ඉහළ ප්‍රදේශයේ වන වගාවක් ඇති කිරීම පිළිබඳ තීරණය එතරම්ම ප්‍රායෝගික නොවේ. එමඟින් ඊට පහළ ප්‍රදේශවල ඇතිවන නාය යම් වළක්වාගැනීම සඳහා ඇතිවන දායකත්වය අවමය. ඒ අනුව සිදු කළ යුත්තේ නායයාමේ අවදානම් සහිත කඳුවල මුඳුනේ සිට පහළට අඩි 250ක් පමණක් වන තෙක් වනය සඳහා වෙන් කිරීමයි. එම තීරණය වඩාත් ඵලදායි වන්නේ එලෙස සිදුකළහොත් ය.
ලවංගා මාධවී දෑරංගල

