
කිඹුලා පහරදුන් අඟුල
“අපේ අඟුලට පේන දුරින් කිඹුලා පේන්නෙ හිටියා. මම ඌ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කර ඉන්නවත් එක්කම ඌ ඊයක වේගයෙන් අපේ අඟුල ළඟට ඇවිල්ලා අඟුලට පහර දෙන්නෙ පටන් ගත්තා.ඒ එක්කම අඟුල දිය යටට යන්න ගත්තා.එවිට සුපුන් කීවා බාප්පේ අපි ගඟට පැනලා පීනමු කියලා. අපි දෙන්නා ගඟේ පිහිනමින් ඉන්න විට සුපුන් මට පිහිනන්න අමාරුයි කියලා දිය යටටම ගියා.මම ඔහු ඇදගෙන පිහිනාගෙන ගොඩට ගියා.”
අඟුලෙන් ධීවර කටයුතුවලට ගොස් මේ ත්‍රාසජනක සිද්ධියට මුහුණ දුන් එම්.එච්. සම්පත් එසේ කීවේය. මාදු ගඟේ ධීවර රැකියාවට ගොස් අඟුලකට කිඹුලකු පහරදීමෙන් ධීවරයකු මිය ගිය පළමු අවස්ථාව මෙයයි. අනතුරින් මිය ගියේ බලපිටිය හීනටිය පදිංචි සුපුන් රජිත කුමාර නමැති තිස් දෙහැවිරිදි අවිවාහක ධීවරයෙකි.
සුපුන්ලා සම්පත්ලා මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගියේ අද ඊයෙක නම් නොවේ. කාලයක් තිස්සේ මාදු ගඟට ධීවර රුකියාව සඳහා ඔවුන් ගියේ ඔරු කඳන් දෙකක් ඈඳා සැකසූ අඟුලකිනි.එමෙන්ම මාදු ගඟේ වෙසෙන කිඹුල්ලුද ඔවුනට අමුත්තන් වූයේ නැත. ඒ ඕනෑතරම් කිඹුල්ලු ඔවුන් මාදු ගඟේ දැක තිබූ හෙයිනි. ඒ එදාය. එදා මාදු ගඟේ සිටි කිඹුලන් ඔරුවක් අඟුලක් දුටු විට ගඟ තුළ සැඟවෙනුයේ පරිසරයේ යම් වෙනසක් දුටුවිට ගොලුබෙල්ලන් කටුව තුළ සැඟවෙන්නාක් මෙනි.
දැන් දැන් මාදු ගඟේ කිඹුලන් ගඟේ යන ඔරු, අඟුල්වලට පහරදීමට පටන්ගෙන ඇත. මේ කිඹුල් පහරදීමෙන් මාදු ගඟේ ධීවරයන් රැසක් මේ වනවිට මාරාන්තික තුවාල පමණක් ලබා ජීවිත බේරාගෙන සිටිති. කිඹුල් ප්‍රහාරවලන් ඔත්පළවූ අය ද මේ අතර වෙති. එහෙත් කිඹුලකු අඟුලකට පහරදී ධීවරයකු මිය ගියේ පළමු වරටය.
මේ ඛේදවාචකයෙන් මාදු ගඟේ ධීවරයන් පමණක් නොව මුළු බලපිටියම පාහේ තැති ගෙන ඇත. ඒ අය පමණක් නොව එය අසන දකින අයද මේ කතාන්දරයෙන් බොහෝ කැළඹීමට පත්වී ඇත්තාහ. සුපුන්ට කිඹුල් ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවීමේ ඛේදවාචකය ඇසින් දුටු එකම සාක්ෂිය වන ඔහු සමග එදා ධීවර රැකියාවට එකම අඟුලෙන් ගිය එම්.එච්. සම්පත් මහතා වැඩිදුරටත් කතා කරමින් කී කතාව මෙසේය.
“සුපුන් මගෙ ඥාති පුතෙක්. අපිට මාදු ගඟ ගෙදර වගේ හුරුපුරුදුයි. ගඟට ගිහින් මාළු අස්වැන්න නෙළන්න ගත්තේ දැනට කාලයක ඉඳලා.ගඟේ ඉන්න කිඹුල්ලුත් ඕනෑතරම් දැකලා තියෙනවා. කිඹුල්ලුන්ට බය වෙලා නම් මේ රස්සාව කරන්න බැහැ. එදා ගඟේ හිටිය කිඹුල්ලු ඔරුවකට අඟුලකට පහර දුන්නේ නැහැ.
එදා උදේ අපි කරන්දෙණිය මුත්තෙට්ටුව කියන ගම ආසන්නයේ ගඟේ තමයි රස්සාව කරමින් සිටියේ.එහේම ඉන්න කොට අපේ අඟුලට මීටර් කිහිපයක් දුරින් ලොකු කිඹුලෙක් ඉන්නවා දැක්කා. මම ඌව මගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කරයි සිටියේ.

සුපුන් රජිත කුමාර, එම්.එච්. සම්පත්, වැල්ලගේ ජගත්
එක පාරටම මේ කිඹුලා ඊයක වේගයෙන් පිහිනාගෙන අපේ අඟුල ළඟටම ආවා.එසේ පැමිණි ඌ අපේ අඟුලට ඔලුවෙන් වලිගයෙන් පහර පිට පහර එල්ල කළා. උගේ පහරවලින් අපේ අඟුලේ ෆයිබර් ඔරු කඳන් දෙක පැලී අඟුල් කඳවතුරෙන් පිරෙන්න පටන් ගත්තා. ඒ එක්කම අඟුල දිය යට යන්න පටන් ගත්තා. ඒත් කිඹුලගේ ප්‍රහාරය නතරවුණේ නැහැ. මේ අතරේදී සුපුන් කීවා බාප්පේ ගඟේ පිහිනලා ගොඩට යමු කියලා. ඒ එක්කම කතා කරගත් පරිදි අපි දෙන්නා ගඟට පැනලා ගොඩබිමට පිහිනන්න පටන් ගත්තා.ටික දුරක් යනකොට සුපුන් කීවා බාප්පේ මට පිහිනන්න අමාරුයි කියලා.එසේ කියනවාත් සමග සුපුන් ගඟේ ගිලෙන්න පටන් ගත්තා.
එවිට මම සුපුන් මගේ ළඟට ඇදලා අරගෙන එයත් අල්ලගෙන මීටර් අටසියයක් දුර පිහිනාගෙන ගොඩට ආවා.මට හිතෙන්නේ ඔරුවට පහර දුන්නු කිඹුලාගේ දත් ඔරුවේ හිරවෙන්න ඇති කියලා. ඌ උගේ දත් ඔරු කඳෙන් බේරා ගන්න මහන්සි වෙන්න ඇති. නැත්නම් කිඹුලා දිය යටින් ඇවිල්ලා අපි දෙන්නාම ඇදගෙන යනවා. ඌට එහෙම කරන්න ඕන තරම් වෙලාව තිබුණා. කිඹුලාගේ දත් ඔරුවේ නොපැටළුණා නම් මමත් අද ජීවතුන් අතර නැහැ. එහෙනම් සුපුන්ට සහ මට වෙච්ච් දේ හොයා ගන්නත් බැහැ.”
මේ කතාවේ ඉතිරි කොටස ඇසිය යුත්තේ සම්පත් බේරා ගත් වැල්ලගේ ජගත්ගෙඤුනුයි. මේ ඒ කතාව ඔහු කී අයුරුය.
“අපිත් එක්ක ගඟේ ගිය සම්පත්ලාගේ අඟුල විතරක් ගඟේ පාවෙමින් තිබුණා.ගඟේ හැම තැනම ඔවුන් සෙව්වත් හම්බවුණේ නැහැ. පස්සේ අපි අඟුල අරගෙන ගං ඉවුරට ආසන්නයෙන් ගමන් ගත්තා. එතකොටම සම්පත් අපිට කෑගහලා කිව්වා ඒ අය බේරා ගන්න කියලා. අපි සම්පත් ළඟට යනවිටත් සුපුන් මිය ගිහින් තිබුණා. පස්සේ අපි මිය ගිය සුපුන්ගේ දේහයයි සම්පත්වයි බෝට්ටුවලින් ගොඩට ගෙනාවා.
ඔය කිඹුලා මීට දින කිහිපයකට උඩදී තුන් වැනි වරටත් මම ගිය ඔරුවට පහර දුන්නා. ඒ අවස්ථා තුනේදීම මම ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්. මට වගේම ඔය කිඹුලා තවත් ධීවරයන්ගේ ඔරුවලට පහර දුන්නා. මේ හේතුව නිසාම දැන් බොහෝ ධීවරයන් මාදු ගඟේ රැකියාව සඳහා යන්නේ නැහැ. මෙහෙම ගියොත් ධීවර කර්මාන්තය මාදු ගඟෙන් සමු ගන්න දිනය වැඩි ඈතක නම් නොවේ.”
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

