
කුරුස පල්ලියට ගොස් එහි පඬුරු දමා පැමිණි සියලු දෙනාම මුන්නේෂ්වරම් කෝවිල ද වැඳ පුදා ගත්තේ, සතිමැද ලැබී තිබුණු නිවාඩු දිනය නිකරුණේ වැය නොකරමිනි. ඉන්පසු සියලු දෙනාගේ ම කැමැත්තෙන් - දැදුරු ඔයේ ජල පහස විඳින්නට පැමිණියේ එහි සුන්දර දියරැළිවලින් තම වෙහෙස නිවාගැනීමේ අරමුණෙනි.
හාංකවිසියක් නොදත් හිරිමල් යොවුන් වියේ පසුවූ පුතුන් පස් දෙනෙකුගේ ජීවිත ඩැහැගෙන - විනෝද චාරිකාව කඳුළු චාරිකාවක් බවට පත් කරන්නට, දැදුරු ඔයේ සුඛනම්‍ය මනරම් ජල රළ මරුවාගේ රුදුරු වේශය ගෙන රඟා තිබුණේ තත්ත්පර කීපයක කාලයක් පමණි.
කිරිබත්ගොඩ හිතවතුන් සමග එම චාරිකාවට කොළඹ, ග්‍රෑන්ඩ්පාස් හා සපුගස්කන්ද ප්‍රදේශවල පිරිස් ද එක්ව තිබුණේ හිතවත්කම වැඩි කරමිනි. ගමනට එක්වූ පිරිස සමග ග්‍රෑන්ඩ්පාස්වල එකම පවුලේ 19 හැවිරිදි තරිඳු ලක්මාල් හා ඔහුගේ බාල සොහොයුරා වන 14 හැවිරිදි විරුන් ගිම්හාන ද එක්ව තිබුණි. සපුගස්කන්දේ 17 හැවිරිදි උදාර ඉන්ද්‍රජිත් එක්ව සිටියේ මිතුරු ඇරයුමක් අනුවය. මාකොළ දකුණ 27 හැවිරිදි සන්ජි සමග ඔහුගේ 17 හැවිරිදි සොයුරු පන්සිළු මල්ෂාන් එක්ව තිබුණේ ද එබඳුම වූ ඇරයුමකිනි.
“පුතා ගෙදරින් පිටවී යාමට පෙර මගේත් එයාගේ තාත්තාගේත් කකුල් දෙක අල්ලලා වැන්දා. තාත්තාගේ උරහිසට මං උසයි කියලා මං දැන් ලස්සන නේද කියලා ඇසුවා. එහෙම කියලා ගිය පුතා සවස 4.00ට පමණ අපි එන්නටයි සූදානම් වන්නේ කියලා කෝල් කරලා කීවා.
නම් කළ යථොක්ත පිරිස ඇතුලත් 50 ක පමණ කණ්ඩායමක් බස් රථයකින් කිරිබත්ගොඩ සිට පළමුව මාරවිල කුරුස පල්ලියට පැමිණ එම දේවස්ථානයට පඬුරු දමා පිටත්ව තිබුණේ හලාවතටය. ඒ මුන්නේෂ්වරම් කෝවිල වැඳපුදා ගැනීමටය. ඉන් පසු සියලු දෙනාම එක්වී දැදුරු ඔයට පැමිණ තිබුණේ සවස 4 ට පමණය.
මෙම කතාවේ අවාසනාවන්ත සිදුවීම් මාලාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. පැමිණි පිරිස එක්වී ආහාර ගෙන ජලයට බැස දිය නෑමට පටන්ගෙන තිබුණි. පෙර සඳහන් කළ දරුවන් පස්දෙනා සමග තවත් කීප දෙනෙකු එකම ස්ථානයේ දිය නාමින් සිට ඇති අතර, එහි දී මොවුන් සියලු දෙනා නොසිතු ලෙස තත්ත්පර කිහිපයක් ඇතුළත රළ පහරකට හසුවී ඇදී යන බව දැනී කෑ ගසා තිබේ.
දැදුරු ඔයේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ. තවත් තත්පර කීපයක් ගතවෙන විට ජලයේ බැස සිටි පිරිස නොපෙනී යන්නට විය.

එය දුටු මෙම චාරිකාවට එක්වූ පිරිස – දිය පහරට හසුව ගසාගෙන යන දරුවන් බේරාදෙන්නැයි ඉල්ලා විලාප තබන්නට වූ අතර, ඇතැම්හු ඔවුන් බේරාගැනීමට දියට පැන්නහ. දැදුරු ඔයේ රළ පහර නිමේෂයෙන් නිමේෂය වෙනස් වෙන බව නොදැන සිටි එම වැඩිහිටි පිරිස් ද රළපහරට හසුව ගසාගෙන යන තත්ත්වයකට මුහුණ පෑහ.
ඔවුන්ගේ වාසනාවට එම ස්ථානයෙන් මසුන් මැරීමට ගිය තෙප්පම් ධීවරයකු වැර යොදා වේගයෙන් තෙප්පම පදවාගෙන විත්, වැඩිහිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පිරිසකගේ දිවි ගලවා නොගන්නට ඔවුන්ට ද මරු හා එක්වීමට සිදුවිය හැකිව තිබුණි.
ජල රළ සමග ගසාගෙන ගිය දරුවන් බේරාගැනීම තරමක් ප්‍රමාද වී තිබිණ. එම දරුවන් පස්දෙනාගෙන් සිව් දෙනෙකු දියෙන් ගොඩට ගෙන තිබුණත්, ඒ වන විටත් සිව් දෙනෙකු දිවියෙන් සමුගෙන තිබුණි. පස්වැන්නා සොයාගැනීමට තෙප්පම්කරුවන්ට පැය තුනකට ආසන්න කාලයක් ගත විය.
මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී සිටි දරුවන් පස්දෙනා අතරින් තිදෙනෙක් පාසල් සිසුහු වෙති. අනෙක් දෙදෙනා රැකියාවල නිරත වන තරුණයෝය.
“තාත්තාගේ උරහිසට මං උසයි කියලා, මං දැන් ලස්සන නේද කියලා පුතා ගියේ”
- උදාර ගේ මව අනූෂා
සපුගස්කන්ද විද්‍යාලයේ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි උදාර ඉන්ද්‍රජිත් දැදුරු ඔයට බිලි වූ එක් පාසල් ශිෂ්‍යයෙකි. දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයකු ලෙස ප්‍රසිද්ධියක් ඇති ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ සැලසුම් බොහෝ තිබිණ.
ජල රළ සමග ගසාගෙන ගිය දරුවන් බේරාගැනීම තරමක් ප්‍රමාද වී තිබිණ. එම දරුවන් පස්දෙනාගෙන් සිව් දෙනෙකු දියෙන් ගොඩට ගෙන තිබුණත්, ඒ වන විටත් සිව් දෙනෙකු දිවියෙන් සමුගෙන තිබුණි. පස්වැන්නා සොයාගැනීමට තෙප්පම්කරුවන්ට
පැය තුනකට ආසන්න කාලයක් ගත විය.

මේ පුවත දැන ගැනීමෙන් පසුව අප උදාර ඉන්ද්‍රජිත් (17) සිසුවාගේ නිවෙසට ගියෙමු. උදාරගේ මව අනූෂා දමයන්ති සිය එකම පුතු සිහිපත් කෙළේ මෙසේය.
“පුතා ගෙදරින් පිටවී යාමට පෙර මගේත් එයාගේ තාත්තාගේත් කකුල් දෙක අල්ලලා වැන්දා. තාත්තාගේ උරහිසට මං උසයි කියලා මං දැන් ලස්සන නේද කියලා ඇසුවා. එහෙම කියලා ගිය පුතා සවස 4.00ට පමණ අපි එන්නටයි සූදානම් වන්නේ කියලා කෝල් කරලා කීවා. ෆොටෝ වගයක් ෆෝන් එකට එවලා තිබුණා. පුතාට මෙවන් විපතකට මුහුණ දෙන්නට සිදුවෙයි කියලා අපි කිසිම වෙලාවක සිතුවේ නැහැ.”
“එක් අයෙක් බේරාගන්න අයියා පැනලා, අයියා බේරගන්න අම්මා පැනලා, අම්මා බේරාගන්න මල්ලී පැනලා”
- මල්ෂාන් සහ දිල්ෂාන් ගේ සොහොයුරා හිරුෂාන්
මෙම ඉරණමින් එකට අවසන් ගමන් ගිය දෙ සොහොයුරන් වන්නේ මාකොළ 17 හැවිරිදි පසිදු මල්ෂාන් මධුවන්ත අබේසිරිවර්ධන සහ 27 හැවිරිදි දිලංක දිල්ශාන් මධුවන්ත අබේසිරිවර්ධන ය. මල්ලී - කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයේ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් සිටි අතර, අයියා - එළඹෙන මාසයේ ජපානයේ රැකියාවක් සඳහා යාමට සියලු කටයුතු නිම කොට සිටි තරුණයෙකි. පවුලේ පියා කරුණාදාස අබේසිරිවර්ධන ව්‍යාපාරිකයෙකු වන අතර, මව එච්. ඒ. රත්නසීලි ගෘහණියකි. දරුවන් තිදෙනාගෙන් ඔවුන්ට දැන් සිටින්නේ නතිෂ හිරුෂාන් මදුවන්ත අබේසිරිවර්ධන පමණකි.
මම මේ අල්ලපු වැටේ ඉන්නේ. හැබැයි කවදාවත් මම ඔය විදියට ඔයට බැහැලැ නැහැ. මොකද අවදානම ගැන අපි දන්න නිසා. මට මේ දේවල් දරාගන්න බැරි නිසා මම මේ පැත්තට එන්න කැමති නැහැ. මොකද කාගේ උනත් අහිංසක දරුවෝ පව්.
“මෙවන් විපත් දරුවන් සිටින අම්මලාට විඳින්නට සිදු නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ වගේ දේකට මුහුණ දුන් අයට තමා මේ දුක දැනෙන්නේ. අනේ මගේ රත්තරං පුතාලා දෙන්නා මම බලාගන ඉද්දිමයි දියේ ගිලුණේ. මගේ කුසෙන් වදලා අවුරුදු ගානක් කිරි පොවලා බලාගත්තා. අනේ දෙවියනේ මේ දුක කාට කියන්නද? මම දැන් ජීවත් වෙලා වැඩක් නෑ....අපිට හිටපු වස්තු දෙක නැතිව ගියා. අපි දෙන්නත් ඔයාලගේ ලෝකෙට එනවා....”

මේ දරුවන්ගේ මව වන රත්නසීලි පැවසුවාය.
මියගිය දෙදෙනාගේ පවුලේ සහෝදරයා වන නතිෂ හිරුෂාන් මදුවන්ත අබේසිරිවර්ධන සිය සහෝදරයන්ට අත් වූ ඉරණම ගැන මෙසේ කීය.
“අම්මා, අයියා හා මල්ලි සමග මේ චාරිකාවට සහභාගි වුණා. 40 ක් පමණ මේ චාරිකාවට එක්ව සිටියා. දැදුරුඔයේ පාලම අසල මේ කට්ටිය දිය නාමින් සිටිනවිට කට්ටියේ අයෙක් දියේ ගසා ගෙන යද්දි අයියා එයා බේරාගන්නට පැන්නලු. පසුව අයියා බේරාගන්නට අම්මා පැන්නාලු. අම්මා බේරාගන්නට මල්ලී පැන්නලු. නමුත් ඒ අවස්ථාවේ එතැනට ආ බෝට්ටුවක අම්මා එල්ලිලා දිවි බේරාගෙන තිබෙනවා. දිලංක අයියා ජපානයේ රැකියාවකට යාම සඳහා වීසා බලාපොරොත්තුවෙන් සිටියේ”
“මම ජීවත්වෙලා ඉද්දි කොහොමද මගේ දරුවෝ දෙන්නාගේ මිනී ගෙදර සාලයේ තියන්නේ”
- විරුන්ගේ සහ තරිඳුගේ පියා නලීන්
පාසල් සිසුවකු වන විරුන් ගිම්හාන කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, මෙම දරුවා කොළඹ රාජසිංහ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී. විරුන් සමග මෙම චාරිකාවට එක්වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන තරිඳු ලක්මාල් 19 හැවිරිදි තරුණයෙකි. ඔහු කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණි.
තම පුතුන් දෙදෙනාම දැදුරු ඔයට බිලිවීමේ වේදනාවෙන් පසුවෙන කොළඹ මැනිං මාර්කට් හි ව්‍යාපාරිකයකු වන සමන්ත නලීන් කුමාර පැවසූ දෑ හමුවේ අපි ද නිරුත්තර වීමු. දෑස්වලින් ගලා ආ කඳුළුවලින් තෙත් වූ දෙකොපුලෙන් යුතු මුවින් පිටවූ වචන අප මෙලෙස අකුරු කරන්නේ ද දැඩි කම්පනයකින් යුතුවය.

“මම කොච්චර බලාපොරොත්තුවකින් ද මේ දරුවෝ උස් මහත් කළේ. දෙන්නාගේම සිරුරු ගේ මැද සාලේ තියන් මම කොහොමද දෙයියනේ ඒ දිහා බලන් ඉන්නේ?”
මේ චාරිකාවට සහභාගි වූ මාකොළ - දකුණ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පදිංචි පුද්ගලික ආයතනයක රැකියාව කරන කවිෂ්ක ඩිල්ෂාන් අප සමග මෙසේ කීවේය.
“අපි මාරවිල කුරුස පල්ලියට ගිහින් පසුව හලාවත මුන්නේස්වරම් කෝවිලත් වැඳපුදාගෙන ගොඩක් සතුටින් උන්නේ. අපි කෑමට ආවේ දැදුරුඔයට. නාන්නත් ප්ලෑන් එකක් තිබුණා. කෑම වෙලාව පසුවෙලා උනත් කට්ටිය එකතුවෙලා නෑවා. හලාවත දැදුරුඔය පාලම අසලට පැමිණ දහවල් කෑම ගත්තා. එවිට වෙලාව සවස4.00ට පමණ ඇති. පසුව අපේ කට්ටිය දිය නාන්නට දැදුරුඔයට බැස්සා. දැදුරුඔයේ ගැඹුර තිබුණේ ඉනවටක් වගේ. ඉතින් හීනෙකින්වත් හිතුවේ නෑ වළවල්, රළ පාරවල් ඇති කියලා. අපි ටිකක් කතාවෙලා ගැඹුර මදි නිසා දියඹට ගියා. කට්ටියම එකටමයි උන්නේ. එකවර වළකට වැටිලා වතුරට ඇදිලා වගේ ගියා. අපි කාටවත් පීනුම් පුරුදු නෑ. මාව වතුරේ ගිලි ගිලී ඉද්දි උඩට එන්න උත්සාහ කළත් එන්න බැරි වුණා. කවුද අයියලා වගයක් ඇවිත් ගිලෙමින් හිටිය මාව ගොඩට ඇදලා ගත්තා. ඒ අයට පිං සිද්ධ වෙනවා. අනිත් අයවත් ගන්න ඒ අයත්, පොලිසියත් රාත්‍රී 7 විතර වෙනකන් ලොකු උත්සාහයක් ගත්තා.. ”
මේ අවුරුද්දට 230 ක් ජලයට බිලි
ගංගා ඇළ දොළවල දිය නෑමට ගොස් සිදුවන ජීවිත හානිවල සීග්‍ර වැඩිවීමක් මේ වෙන විට දැකගත හැකිය. මේ වසරේ මේ වනවිට 230 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. ඒ සමගම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් හා විවිධ පිරිස් එක්වී බේරාගත් පිරිස 195 දෙනෙකු බව පැවසෙයි. එසේම මෙලෙස බේරාගත් පිරිස අතර විදේශිකයන් 60 දෙනෙකු හා දේශීය පිරිස 135 දෙනෙකු ලෙස වාර්තා වෙයි.
දැදුරුඔය පිළිබඳව කිසිත් නොදත් විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් එහි ගැඹුරට ගමන් කිරීමත් සමග නොසිතු ලෙස දිය යටින් පැමිණෙන විදුලි දියවැල් නමින් හැඳින්වෙන දියරළට හසුවී ගසාගෙන ගොස් අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබුණ ද, එම තත්ත්වය නොතකමින් මෙලෙස ජීවිත අහිමි කර ගන්නේ දැනුවත් කර ඇති පුවරු පවා සැලකිල්ලට නොගෙන වීම කනගාටුවට කරුණකි.
ඇතැම් පිරිස් මෙම ස්ථානයට පැමිණ මත්පැන් පානය කරමින් ජලයේ බැස දිය නෑමට යාම ද තවත් කරුණකි. කෙසේ වෙතත් දැදුරු ඔයේ රුදුරු බව නොතකමින් ජලයට බැසීම පිළිබදව මින් පසුව හෝ එහි දිය නෑමට පැමිණෙන පිරිසේ අවධානයට යොමුවිය යුතුය.
“අවදානම ගැන කියපුහාම හුඟ දෙනෙකු එය තුට්ටුවකට ගණන් ගන්නේ නෑ ”

මෙම අවාසනාවන්ත සිදුවීම දුටු දැදුරුඔය අසල පදිංචිකරුවකු වන තරිඳු නදිශාන් පෙරේරා මෙලෙස පැවසීය.
“දැදුරු ඔයේ නාන්න එන පිරිසට අපි මේ අවදානම ගැන කියපුහාම හුඟ දෙනෙකු එය තුට්ටුවට ගණන් ගන්නේ නැහැ.
ගංගා ඇළ දොළ ආශ්‍රිත අනතුරුවල ශීඝ්‍ර වැඩිවීමක් වර්තමානයේ පවතී. මේ වසරේ මේ වනවිට 230 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. ඒ සමගම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් හා විවිධ පිරිස් එක්වී බේරාගත් පිරිස 195 දෙනෙකු බව පැවසෙයි.
සමහර අය අපි අවවාද කරපුහාම අපිත් එක්ක ගැටුම් ඇති කර ගන්නත් එනවා. මේ සිද්ධිය වුණ දා ඒ ගැන මම කියපුහාම එතන හිටපු ගැහැනු අය කියුවා අපි ගංගාවල බැහැලා ඕනා තරම් නාලා තියෙනවා, ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉන් පස්සේ මම මගේ පාඩුවේ හිටියා. ඒ කියලා විනාඩි කීපයක් ගියේ නැහැ, අර දරුවෝ ගිලුණා කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඕන්න ඕකයි තත්ත්වය”
“මෙතැන ඉස්සර මෙහෙම නෑ. දැන් හරි අවදානම්”

දැදුරුඔයේ ධීවරයෙකු වන එම්. ප්‍රියන්ත මෙලෙස පැවසීය.
“මම මේ අල්ලපු වැටේ ඉන්නේ. හැබැයි කවදාවත් මම ඔය විදියට ඔයට බැහැලැ නැහැ. මොකද අවදානම ගැන අපි දන්න නිසා. මට මේ දේවල් දරාගන්න බැරි නිසා මම මේ පැත්තට එන්න කැමති නැහැ. මොකද කාගේ උනත් අහිංසක දරුවෝ පව්. වැඩිහිටියන් මේ ගැන මෙයට වඩා හිතන්න ඕනා. මොකද ළමයි එක්ක නාන්න ඇවිත්, ඒ දරුවන් දැදුරු ඔයට බිලි දෙන්නේ නැතිව. අනික මේ තැන ඉස්සර තිබුණ විදිහට තිබුණේ නැහැ. වාරිමාර්ගයෙන් විශාල අගල් කපලා විකාරයක් කළා ඉවුරු බේරගන්න කියලා. දැන් ඒ නිසා හරි අවදානම්”
හලාවත මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ජී.එම්. ජවුෆර් සමග හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. සුබහිර් දැදුරු ඔයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූ ස්ථානය නිරික්ෂණය කළහ. ඔවුන් ගේ නිගමනය වී තිබුණේ මෙම මරණ නොසැලකිලිවත්කමින් වූ ඒවා බවයි.
මෙම සිද්ධියත් සමග දැදුරුඔය ගැන රට තුළ අලුත් කතාබහක් ඇතිවී තිබේ. මෙවැනි ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් නිරන්තරයෙන් යෙදවීමේ අවශ්‍යතාව මේ වන විට තදින් මතුව තිබේ.
ඒ නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමට වගබලා ගැනීම යුතුකමක් ලෙස සලකමිනි.
- පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
- ආරච්චිකට්ටුව ලලිත් නවරත්න
- මල්වාන ඩබ්. ඩී. එම්. විතානගේ
- කිරිබත්ගොඩ පද්මසිරි රණතුංග

