තෙල් පිරිපහදුවට කොරෝනා ආ හැටි


 

කොළඹ ඇතුළු රටපුරා කොරෝනා රෝගීන්ගේ යම් අඩුවක් පසුගිය දිනවල දක්නට ලැබුණත් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග තවත් කොරෝනා පොකුරක භීතිය සමාජය තුළ ඇති විය.


කොරෝනා පළමු රැල්ලේදී යම්කිසි පාලනයකට යටත්ව තිබියදී මිනුවන්ගොඩ සහ පෑළියගොඩ පොකුරෙන් කොරෝනා රෝගීන් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යාම මීට හේතු වී ඇත.
කොරෝනා නව පොකුරක් ඇති කරමින් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ කොවීඩ් ආසාදිතයන් 474 දෙනකු ඉකුත් සති අන්තය වන විට වාර්තා වී තිබිණ.
පිරිපහදු සංකීර්ණ සේවකයන් 1700 දෙනෙකු පසුගිය දින කිහිපයේදී පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු විය.


සති කීපයක් තිස්සේ සිටම කිහිපදෙනකුට කොරෝනා වයිරසය වැළඳී තිබී ඇති අතර දිගින් දිගටම රෝගීන් වාර්තා වාර්තා වීම හේතුවෙන් මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය කාර්යාංශ සඳහන් කරයි.
කොරෝනා රෝගය පැතිර ඇති බවට වාර්තාවී තිබියදීත් සේවකයන් සේවයේ යෙදී ඇති බවට කරුණු අනාවරණ වන බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු සඳහන් කළේය.


ඉකුත් දහනව වැනි දින 1200 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර ඉන් සේවකයන් 182කට රෝගය වැළඳී තිබූ බවත් වාර්තා විය.


ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ 1200 දෙනෙකු පමණ ස්ථිර සේවයේත් 400 ක් පමණ තාවකාලික පදනම මතත් සේවය කරනු ලබයි. තාවකාලික පදනම මත සේවයට බඳවාගත් රෝගින්ගෙන් රෝගය ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


තෙල් පිරිපහදු සංකීර්ණ සේවකයන්ට කොවීඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන නිරෝධායනයට යොමු කළ බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම කොරෝනා වයිරසය ව්‍යාප්තියට හේතුවී ඇති බවයි.

 


“තෙල් පිරිපහදුවේ කටයුතු සඳහා 400ක් පමණ පිරිසක් පිටතින් බඳවා ගැනීමේදී ඔවුන් පී. සී. ආර් පරීක්ෂණ වලට ලක්කරලා දින 14ක් නිරෝධායනයට ලක් කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට උපදෙස් දීලා තිබෙනවා.


ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා නැහැ කියලා අනාවරණය වෙලා තියෙනවා. එය මෙම ව්‍යාප්තියට හේතුවී තිබෙනවා. මෙම සිදුවීම සියලුම රාජ්‍ය ආයතන ඇතුලු ආයතනවලට හොඳ උදාහරණයක් කියලා අපි දකිනවා” යැයි ද ඔහු පැවසීය.


වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් පිරිපහදු සංකීර්ණ කටයුතු ඉකුත් 15 වැනිදා සිට නතර කෙරිණ.
වසර තුනකට වරක් පමණ සිදුකරන සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ නඩත්තු කටයුතු මාර්තු මස අවසන් වෙනතෙක් සිදු කිරීමට නියමිතය.


කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු නොවූ සේවකයන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුණු බව තෙල් පිරිපහදු සංකීර්ණයේ ප්‍රකාශකයකු පැවසීය.


ඔවුන්ට නිවෙස් වෙත යාම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
තෙල් පිරිපහදුවේ කටයුතු ජෛව බුබුළකට යටත්ව ඉකුත් 22 සිට යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කළමනාකාරිත්වය ප්‍රකාශ කරනු ලැබීය.


මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 20 ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙ නිෂ්පාදනය කරනු ලබයි. ඉතිරි ඉන්ධන තොග පිරිපහදු ලෙස ආනයනය කරනු ලබයි.

 

 

නිමල කොඩිතුවක්කු