
1993 දී අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා බවට පත්වෙන්නේ බ්‍රැඩ්මන් වීරකෝන්ය. බ්‍රැඩ්මන් ගැන ඒ අවස්ථාවේ ඉංග්‍රීසි පුවත්පතක ලිපියක් පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ නීල් ශ්‍රී විජේසිංහගේ ලිපියේ ශීර්ෂ පාඨය වූයේ ‘Devoted to Eight premiers’ යනුවෙනි.
1983 දී බ්‍රැඩ්මන් වීරකෝන්ගේ ජීවිත කතාව ඉරිදා ලංකාදීපයේ පළකරන ලදී. පාර්ලිමේන්තුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තකයෙකු වූ ගුණදාස ලියනගේ මෙම ලිපිපෙළ ලිව්වේය. මීට මග පාදා දුන්නේ පාර්ලිමේන්තුවේම කතා පරිවර්තක සුමනවීර රාජපක්‍ෂයි. ඔහු මේ ලිපිපෙළ හැඳින්වූයේ “අගමැතිවරු හත් දෙනෙකු සමග” යනුවෙනි.
1993 රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයාගේ ලේකම්වරයා ලෙස බ්‍රැඩ්මන් වීරකෝන් වැඩ බාරගත් බැවින් අද එම කෘතිය ‘අගමැතිවරුන් අට දෙනෙකු සමග’ නමින් සංශෝධනය කොට නව පරිච්ඡේදයක් එක්කළ යුතුයි” යනුවෙන් විජේසිංහයන් සටහනක් තබා ඇත.
එහෙත් අද කනගාටුවෙන් සඳහන් කළයුතුව ඇත්තේ, දශක නවයහමාරක නොහොත් වසර 95 ක් කීර්තිමත් ජීවිතයක් ගත කළ බ්‍රැඩ්මන් වීරකෝන් පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූ බවය. මෙහි ඇති සුවිශේෂත්වය නම්, බ්‍රැඩ්මන් වීරකෝන් නිදහස් ලංකාවේ අගමැතිවරුන් අට දෙනෙකුගේ ලේකම් හැටියට කටයුතු කර වාර්තා තැබූ පුද්ගලයෙකු වීමය. ඔහුගේ කතාව එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ දසක පහක දේශපාලන ඉතිහාසය හැටියට හඳුන්වා දීමටද හැකිය.
බ්‍රැඩ්මන් වීරකෝන්ගේ අභාවයත් සමග, ඔහු ගැන විවිධ පරස්පර විරෝධී පුවත් පළවෙන්නට විය. මීට වසර 40 කට පෙර 1985 දී බ්‍රැඩ්මන් වීරකෝන් විසින්ම ‘ලංකාදීපයට’ තම ජීවිතය ගැන සඳහන් කොට ඇත්තේ මෙසේය.

1930 අවුරුද්දේ මගේ පියා සේවය කළේ වරාය පොලිසියේ ය. ඒ අවුරුද්දේ ඔක්තෝබර් 20 වෙනිදා ඔහුට විශේෂ දිනයක් විය. මගේ මව තුන්වෙනි දරුවා හෙවත් මා ප්‍රසූත කිරීම පිණිස කොළඹ සාත්තු නිවාසයක නතර කර සිටියත් එදා කොළඹ වරායට අමුත්තෙකු සැපැත්වීමට නියමිතව සිටි නිසා පියා රාජකාරියට යාම අවශ්‍යයෙන්ම කළ යුතුව තිබුණි. ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් රැගත් නැව එදා කොළඹ වරායට ළඟා විය. මගේ පියා නැවට ගොස් බ්‍රැඩ්මන් මුණගැසී ඔහුට අතට අත දී සමරු පොතේ අත්සනද සටහන් කරවා ගත්තේය. මේ ඓතිහාසික හමුවීම ගැන උදම් වෙමින් පියා නැවෙන් ගොඩ ආ ගමන්ම කෙළින් ම ගියේ සාත්තු නිවාසයටය. ඒ වන විට අම්මා දරුවා ප්‍රසූත කර තිබුණි. ළමයාට ‘බ්‍රැඩ්මන්’ යන නම තැබිය යුතු බව පියා මවට කීය. ඒ අනුව මට තබන ලද සම්පූර්ණ නම වූයේ රොබින් බ්‍රැඩ්මන් වීරකෝන්ය.
මට අවුරුදු පහ පමණ වන විට පියා ඒ. ඇස්. පී. හෙවත් සහකාර පොලිස් අධිකාරි කෙනෙකුගේ තත්ත්වයට උසස් ව සිටියේය. ඒ වන විට ඔහු සේවය කළේ කළුතරය. ඒ නිසාම මා මුලින්ම ඉගෙනීමට ගියේ කළුතර හෝලි ෆැමිලි සහ හෝලි ක්‍රොස් යන ආයතනවලටය. වයස අටේ දී කළුතරින් ගල්කිස්සට යාමට මට සිදුවිය. හේතුව මා සාන්ත තෝමස් විදුහලට ඇතුළු කිරීමට පියා තීරණය කර තිබීමය.
1946 අවුරුද්දේ දී මම ඉතා ලෙහෙසියෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූයෙමි. 1949 අවුරුද්දේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරුණි. ප්‍රථම පරීක්ෂණයෙන් පසු මට ශිෂ්‍යත්වයක් ලැබුණි. ඒ අනුව ආර්ථික විද්‍යාවෙන් ගෞරව උපාධියක් ලබාගැනීමට මම තීරණය කර ගත්තෙමි.
1951 අවුරුද්දේ දී උපාධි පරීක්ෂණයට පෙනී සිටි මම විශ්වවිද්‍යාලයෙන් අස්වීමි. ඊළඟට තිබුණේ තාත්තාගේ බලාපොරොත්තුව පරිදි සිවිල් සේවා විභාගයට පෙනී සිටීමටය. එහෙත් පොඩි අඩුපාඩුවක් විය. සිවිල් සේවා විභාගයට පෙනී සිටීමට හැකි වූයේ වයස අවුරු දු 22ත් 24ත් අතර අයට පමණකි. ඒ වන විට මගේ වයස වූයේ අවුරු දු 21ක් පමණකි. ඒ නිසා තවත් අවුරුද්දක් බලා සිටීමට මට සිදුවිය.
ගුරුතලාවේ සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරු තනතුරක් මට පිරිනමන ලදී. ඇත්ත වශයෙන් ගුරුකමින් ලත් පළපුරුද්ද මගේ පසුකාලයේ ජීවිතයට මහත් සේ ප්‍රයෝජනවත් විය. මා සිවිල් සේවකයකු වූවාට පසු නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ වැනි අවස්ථාවල දී යම් යම් දේවල් පැහැදිලි කර විස්තර කර දුන් විට ඒ නිලධාරී බොහෝ දෙනෙකු මට කීවේ “සර් අපට කරුණු විස්තර කරලා දුන්නේ හරියට ගුරුවරයෙක් පන්තියට උගන්වන්න වගෙයි” කියාය.
මේ අතර ඇමෙරිකාවේ ස්මිත් මන්ඩිට් ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කළෙමි. මේ සඳහා ලංකාවෙන් තෝරා ගනු ලැබූ හතර දෙනා අතරට මාද ඇතුළත් වීමි. 1952-53 කාලය තුළ මිචිගන් විශ්වවිද්‍යාලයේ ගත කළ මට ඇම් . ඒ. උපාධිය ලබාගැනීමට හැකි විය. මගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ ආචාර්ය උපාධියක් ලබාගැනීමය.
එහෙත් මේ කාලය තුළ පියාගෙන් ලැබුණු හැම ලියුමකම සඳහන් වූයේ ‘සිවිල් සේවා විභාගය අමතක කරන්න එපා’ යන අවවාදයයි. “ විභාග ගාස්තු හැටියට රු. 250 ක් බැඳලයි තියෙන්නේ, ඉක්මන් කරල ආපසු ලංකාවටයි” පියාගේ එක් ලියුමක සඳහන් විය. ඒ නිසාම 1953 අග භාගයේ මම ආපසු ලංකාවට පැමිණියෙමි. 1953 සැප්තැම්බර් මාසයේ සිවිල් සේවා විභාගයට පෙනී සිටි පිරිසෙන් මා සමත් වූයේ මුළු ලංකාවෙන්ම දෙවෙනියා හැටියටය.
මාගේ මුල්ම පත්වීම ලැබුණේ අනුරාධපුරේ කච්චේරියටය. ඒ 1953 මාර්තු 15 වෙනිදය. මගේ පියා වෙස්ලි විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ එකට ඉගෙනගත් ගුණසේකර නම් මිත්‍ර ශිෂ්‍යයෙක් විය. ඔවුන් දෙදෙනා පොලිසියට බැඳුණොත් එකටය. ගුණසේකර මහතාට දමයන්ති නමින් දියණියක් සිටියාය. මගේ ලොකු අයියාගේ මනාලිය වූයේ දමයන්තිත් සමග විශාඛා විද්‍යාලයේ එකට ඉගෙනගත් තරුණියකි. මට දමයන්ති ගුණසේකර නමැති තරුණිය සමග කිට්ටුවෙන් කතා බහ කිරීමට අවස්ථාව සැලසුණේ මේ මඟුල් ගෙදරදීය. මේ කටයුත්ත ගැන දෙපැත්තේ දෙමව්පියන් අතර කලින් කතා බහ කෙරී තිබෙන්නට ඇත. කෙසේ වෙතත් මඟුල් ගෙදර ආශ්‍රයෙන් පසු මඟුල ඉක්මන් වෙන ලකුණු පහළවෙන්නට විය.
1954 ඔක්තෝබර් මාසයේ මට අනුරාධපුරයෙන් මාරුවක් ලැබුණි. එහෙත් එය කොළඹට නොව තවත් ඈතටය. යාපනයේ උපදිසාපති හැටියට මට යන්නට සිදුවිය. එවකට යාපනය දිසාපති ධුරය දැරූ ශ්‍රීකාන්ත මහතා යටතේ සේවය කරමින් අලුත් අත්දැකීම් රාශියක් ලබාගත් මට දෙමළ බස ලියන්නට කියන්නට මාස ගණනකින් ඉගෙන ගැනීමෙන් තවත් අලුත් සුදුසු කමක් ද එකතු කර ගැනීමට හැකි විය.”
සර් ජෝන් සමග
මේ බ්‍රැඩ්මන් වීරකෝන් තමාගේ ජීවිත තොරතුරු පවසා ඇති අන්දමයි. දමයන්තිත් සමග ‘කටයුත්ත ඉක්මන් කළ යුතු’ බවට පියා ඇවිටිලි කළ අතර 1955 දී බ්‍රැඩ්මන්ට මාරුවක් ලැබෙන්නේ එවක අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවලගේ සහකාර ලේකම් ලෙසය. මෙම තම පත් වීම ගැන බ්‍රැඩ්මන් සඳහන් කොට ඇත්තේ යාපනේ සිට තමන්ට අගමැතිවරයාගේ ලේකම්වරයෙකු වූ හැටි ගැනය.
“මේ තනතුර සඳහා මා තෝරා ගන්නා ලද්දේ මගේ පුද්ගලික ලිපි ගොනුවේ සටහන් වී තිබුණු සුදුසුකම් හා දක්ෂකම් සලකා බැලීමෙන් මිස වෙනත් කිසිදු බලපෑමක් නිසා නොවේ. ඇත්ත වශයෙන්, ඒ අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයට අවශ්‍යව තිබුණේ විශේෂයෙන්ම අගමැතිතුමාගේ කතා, ලිපි පණිවුඩ ආදිය පිළියෙල කිරීමට දක්ෂ තරුණ සිවිල් නිලධාරියෙකි.
රාජකාරි බාරගත් මුල් දිනයේ මා සර් ජෝන් ඉදිරියට ගියේ තරමක බයකින් මෙන්ම සැකයකින් ද යුතුවය. සැකයට හේතු වූයේ රෑ තිස්සේ අඩි ගසමින්, බාල් නටමින් සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන මේ මිනිසා සමග වැඩ කරන්නට හැකි වේ ද යන ප්‍රශ්නයයි.”
එහෙත් සර් ජෝන් කොතලාවල ගැන රටේ ප්‍රචාරය වී තිබුණු ආරංචිවලින් මවා පෙන්වන ලද පුද්ගලයාට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු හැඳිනගැනීමට බ්‍රැඩ්මන් අවස්ථාව ලැබුණි.
ටික දිනකින් බ්‍රැඩ්මන්ට තහවුරු වූයේ, සර් ජෝන් වෙලාවට වැඩ කිරීම ගැන නම් ගත් පුද්ගලයෙකු බවය. කඳවල වලව්වේ පැවති සාද නිතරම වාගේ පටන් ගත්තේ රාත්‍රී 7ටය. අවසන් වූයේ රාත්‍රී 8.30ටය. කොතරම් විනෝද වෙමින් සිටියත් රාත්‍රි අටහමාරට “හා පාටිය ඉවරයි. සේරටම යන්න පුළුවන්”යැයි අමුත්තන්ට කියා උඩුමහලට යාම ඔහුගේ සිරිත විය.
‘‘දුශ්ශීල මහනුන්ගේ සිවුරු ගලවා තාර ගාන’’ බවට සර් ජෝන් කිව් කතාව නිසා රටේ පැන නැගී ආ විරෝධය සර් ජෝන් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. ඒ වකවානුවේ එක් දිනක අරලියගහ මන්දිරයට ඇතුළු වීමට මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් උත්සාහ කරනු බ්‍රැඩ්මන්ට දැකගත
හැකි විය.
“මොකද බ්‍රැඩ්මන් හාමුදුරුවරු ඇවිත් ඉන්නේ” සර් ජෝන් ඇසීය.
“සර්ව හම්බ වෙලා කතා කරන්න”
“ඉතින් ගේට්ටුව වහගෙන හිටියට හරියන්නේ නැහැ. ගේට්ටුව ඇරලා පිටිපස්සේ පිට්ටනියේ පුටු තියලා හාමුදුරුවන්ට වාඩිවෙන්න සලස්සනවා. අරලියගහ මන්දිර භූමියට ඇතුළු වූ සිය ගණනක හාමුදුරුවරු නොසන්සුන් ලෙස අසුන්ගෙන සිටියදී සර් ජෝන් කොතලාවල එතැනට ආවේය. හාමුදුරුවරුන්ගේ ආසන ඉදිරිපිට තවත් විශේෂ පුටුවක් තබා තිබුණු බව සර් ජෝන් ඈත තියාම දුටුවේය. සර් ජෝන් ඒ පුටුව ළඟට ගියේ මද කිපුණු අලියෙකු මෙනි.
“කව්ද යකෝ මෙතන පුටුවක් තිබ්බේ. හාමුදුරුවරු ඉස්සරහපිට ගිහියෝ පුටුවල වාඩි වෙන්නේ නැති වග දන්නේ නැද්ද” යි හඬ නඟා කිව් සර් ජෝන් වේගයෙන් පුටුවට පයින් ගැසුවේය. පුටුව ටික දුරක් අහසින් ගොස් මල් පඳුරක් මතට පාත්විය.

1956 මහා මැතිවරණය එළඹෙන්නේ මේ අතරය. මැතිවරණ රාත්‍රියේ නිකුත් වෙන්නට පටන්ගත් ප්‍රතිඵල අසා සර් ජෝන් මවිතයට පත් විය. ජය පරාජය දෙකම සිනාමුසු මුහුණින් යුතුව පිළිගැනීමට තරම් ඔහු එඩිතර විය.
‘මොනවා කරන්න ද බ්‍රැඩ්මන්, මහජන මතය ඒක නම් අපි ඒකට හිස නමන්න ඕනෑ’යි සර් ජෝන් බ්‍රැඩ්මන්ට කීය.
මේ කලබල අස්සේ කොළඹ එක්තරා ව්‍යාපාරිකයෙකු පැමිණ සර් ජෝන් ජයග්‍රහණය කළ විට තමා පවත්වන්නට සූදානමින් සිටි පාටියක් ගැන කීප වතාවක්ම සර් ජෝන්ට මතක් කර සිටියේය. “මොන කෙහෙල්මල් පාටිද වික්ටෝරියා, තොගෙ පාටිය ගහගනින් පු...’ මහජන මතයට කන්දෙමින් සර් ජෝන් කොතලාවල අගමැති කමින් ඉල්ලා අස්විය.
රාජ්‍ය නායකයින්ට නොපෙනෙන බලවේග ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි. එහෙත් බ්‍රැඩ්මන් පවසා ඇත්තේ, සර් ජෝන් නොපෙනෙන බලවේග, නැකැත්, ගුරුහරුකම් ගැන විශ්වාසයක් තැබුවේ නැති බවය.
බණ්ඩාරනායක සමග
සර් ජෝන්ගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පරාජයට පත් කරමින් ඇස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ බලයට පත්වූ පසු මුලින්ම කළේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරය අහෝසිකර දැමීමය.
“ලේකම් තනතුරක් නෑ. ලේකමුත් නෑ” යි කොක් හඬලා සිනාසුණු බණ්ඩාරනායකයන් සමග බ්‍රැඩ්මන් ටික වේලාවක් කතා කළේය. බ්‍රැඩ්මන්ගේ හිසේ සිට දෙපතුල් දක්වා කීප වරක් බැලූ බණ්ඩාරනායක “දැන් ලේකම් කෙනෙක් නැති නිසා බ්‍රැඩ්මන් ඒ වැඩ ටික දිනකට කරගෙන යන්න” යි පැවසීය. ගෙදරට ලිපි ගොනු ගෙන්වාගෙන රාජකාරි කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයා බණ්ඩාරනායක මහතාය. ඒ වන විට 26 හැවිරිදි තරුණයෙකු වූ බ්‍රැඩ්මන්ට බණ්ඩාරනායක සැලකුවේ පොඩි ළමයෙකුට මෙනි.
ඒ කාලය වන විට සුනේත්‍රාගේ වයස අවුරු දු 14 ක් පමණ වූ අතර චන්ද්‍රිකාගේ වයස අවුරුදු 12 ක් පමණ වෙන්නට ඇත. අනුරගේ වයස අවුරුදු 7 - 8 තරම් විය. වරක් ඉතා වැදගත් රාජ්‍ය රහස් සහිත ලිපි ගොනුවක් නැති වී බ්‍රැඩ්මන් කලබල වී වටපිට සිට බලන විට දක්නට ලැබුණේ සුනේත්‍රා හෝ චන්ද්‍රිකා එය උස්සාගෙන ගොස් තිබුණු බවය. අනුර තවත් ලිපි ගොනුවක් හොරකම් කරගෙන ගොස් පැන්සලකින් ඉරි අඳින අවස්ථා එමට විය. ගෙදර වැඩකාරකමට සිටි ළමයෙකු අල්ලාගෙන රෝස්මිඩ් මිදුලේ ක්‍රිකට් ගැසීම අනුර නිතර නිතර කළ දෙයකි. බණ්ඩාරනායක මහතාත් සමග බ්‍රැඩ්මන් වැදගත් රාජ්‍ය පාලන කටයුතුවල නිරතව සිටි අතරතුර මිදුලෙන් එක දිගට ඇසුණේ අනුරගේ කෑගැසීමය.
“තාත්තේ මේ කොල්ල මාව අවුට් කරනවා” අනුර මිදුලේ සිට විලාප නඟයි. පයිප්පය කටින් විකාගෙන “ඒයි අවුට් කරන්න එපා” යි හඬ නඟා කියන බණ්ඩාරනායක මහතා, නැවතත් සුපුරුදු පරිදි බ්‍රැඩ්මන් සමග රාජකාරි කටයුතුවල යෙදෙයි.
මේ වකවානුවේ දේශපාලනය ගැන කිසිදු සම්බන්ධයක් නැතුව ගෙදර දොර වැඩ කටයුතු පමණක් බලා කියා ගනිමින් සිටි බණ්ඩාරනායක මැතිනිය, බ්‍රැඩ්මන්ට ඉතාමත් කාරුණිකව සැලකුවාය. තේ, අයිස්ක්‍රීම් වැනි දේ වලින් බ්‍රැඩ්මන්ට සංග්‍රහ කළ ඇය ගෙදර විශේෂ කෑමක් සෑදූ විට එයින් ද ටිකක් දීමට අමතක නොකළාය.
දමයන්තිත් - බ්‍රැඩ්මන් අතර විවාහය ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වෙන්නේ 1956 අගෝස්තු 10 වෙනිදාය. එහෙත් ඒ උත්සවයට බණ්ඩාරනායක මහතාට සහභාගි වීමට බැරිවිය. හේතුව ඒ වෙලාවට ඉතාමත් බරපතළ විවාදයක් පාර්ලිමේන්තුව තුළ කෙරෙමින් තිබීමය. හෝටලයට පැමිණි මැතිනිය උත්සවයේ වැඩ කටයුතු අවසන් වෙන තුරුම සිටියාය. අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක සහ සර් ජෝන් කොතලාවල සම්භාවනීය අමුත්තන් අතරින් කැපී පෙනුණි.
බණ්ඩාරනායක අගමැතිතුමා නිව්‌යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට යාමට නියමිතව තිබුණේ 1959 සැප්තැම්බර් මස අග සතියේ සෙනසුරාදය. ඊට කලින් රාජ්‍ය නායක වශයෙන් වැඩ බැලීමට කෙනෙකු පත් කළ යුතුව තිබුණි. වැඩ බැලීම සඳහා විජයානන්ද දහනායක පත් කිරීමට තීරණය කර තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ බැලීමේ පත්වීම ක්‍රියාත්මක විය යුතුව තිබුණේ රටින් පිට වීම හෝ අගමැතිකමේ වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් (incapacitate) ඇතිවුවහොත් පමණකි. බණ්ඩාරනායක ලියවිල්ලට අත්සන් කිරීමට කලින් කීප වරක්ම ‘ඉන්කැපැසිටේට්’ යන ඉංග්‍රීසි වචනයට උඩින් පැන දුවවමින් තනිවම කතා කළේය.
‘ඉන්කැපෑසිටේටඩ්’ ඉන්කැපෑසිටේටඩ් ආ බ්‍රැඩ්මන්, බණ්ඩාරනායක ‘ ‘ඉන්කැපෑසිටේටඩ්’? උපහාසාත්මක ලෙස හඬ නඟා සිනාසුණු බණ්ඩාරනායක දහනායකට වැඩ බැලීමට දීමේ ලියවිල්ලට අත්සන් කොට බ්‍රැඩ්මන් අත එය තැබීය.
පසුදින බ්‍රැඩ්මන්ට ආරංචි වූයේ අගමැති බණ්ඩාරනායකට වෙඩි තබා ඇති බවය. බ්‍රැඩ්මන් වහා රෝහල වෙත ගියේය. කහ රෙදි ඇඳගත් පුද්ගලයෙකු තමාට වෙඩි තැබූ බවත් වෛද්‍යවරුන්ගේ පිහිටෙන් සුවය ලැබීමට තමා උත්සාහ කරද්දී සන්සුන්ව සිටින ලෙසත් බණ්ඩාරනායක මැතිඳු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලද අතර තමාට වෙඩි තැබූ පුද්ගලයාට කරදර හිරිහැර නොකරන ලෙසද ඉල්ලා සිටින ලදී.
ඒ බරපතළ අවස්ථාවේ පවා බණ්ඩාරනායකයන් සිනාවක් උපහාසයත් අමතක කළේ නැත. දිව දික්කරන ලෙස අන්තෝනිස් දොස්තර මහතා කී විට ‘දේශපාලනඥයින් වන අපිට බොහොම හොඳ දිවක් තියෙනවා’ යි විහිළු කරමින් බණ්ඩාරනායක මහතා දිව දික් කොට ඇත.
බණ්ඩාරනායක අවමඟුලට ගිය බ්‍රැඩ්මන්ට මතකයට ආවේ බණ්ඩාරනායක මැතිනිය එතුමා වෙනුවෙන් නොපෙනෙන බලවේග ගැන පිහිට පැතූ අයුරුය.
“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් නොපෙනන බලවේග ගැන විශ්වාස කළා. බණ්ඩාරනායක මහතාගේ එවැනි ආරක්ෂාවන් සිදු කළේ. බණ්ඩාරනායක මැතිනියයි. සාමාන්‍ය කාන්තාවන් ඒ විශ්වාසය ගැන වැඩි විශ්වාසයක් තැබීම සිරිතක්. ඒ ලෙසම මැතිනියත් නැකැත් බැලීම් සහ ආගමික ආරක්ෂාවන් දැඩි ලෙස විශ්වාස කළා.” බණ්ඩාරනායක මැතිනිය ද පනස් හයේ ජයග්‍රහණය පතා කන්දේ විහාරයට පවා බාරහාර සඳහා ගිය බව බ්‍රැඩ්මන් සමග පැවසූ අයුරු බණ්ඩාරනායක දේහය අසල බ්‍රැඩ්මන් ස්මරණය කරන්නට විය.
දහනායක සමග
බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවයෙන් පසු විජයානන්ද දහනායක මහතා අගමැති ධුරයට පත් විය. දහනායක මහතා අරලියගහ මන්දිරයට එන විට ගෙන ආවේ එකම එක සූට්කේසයක් පමණි. ලොකු හම් පටියකින් බඳින ලද මෙම විශාල සූට්කේස් එක ඇතුළේ දහනායක මහතාගේ ඇඳුම් පමණක් නොව සෙරෙප්පු පවා තිබුණි.
අග්‍රාමාත්‍ය නිල කාමරය දැක දහනායක අන්දමන්ද විය.
“මොකක් කිව්ව? මේක නිදන කාමරයක්? නෑ මේක මහ හෝල් එකක්. මේකෙ නිදාගත්තොත් පාර සොයාගන්න බැරුව මාව අතරමං වෙයි.”
“එහෙම නොවෙයි බ්‍රැඩ්මන් මම කියන්නද වැඩක්, වඩුබාස් කෙනෙකුට එන්න කියලා තුන්පැත්තකට ස්ක්‍රීන් ගහල පොඩි කාමරයක් හදන්න කියන්න”
“එතකොට සර් කාමරේ ඇතුළේ කාමරයක් ද?”
“ඔව් පොඩි කාමරයක්”
දහනායක මහතා ඉල්ලූ පරිදිම බ්‍රැඩ්මන් කාමරය ඇතුළේ කාමරයක් හදන ලදී. ඔහු සූට්කේස් එකේ තිබුණු බඩු ටික පමණක් ඇතිව එහි පදිංචි විය.
තමා යටතේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් තමාට ද්‍රෝහි වෙන බව පෙණුනු විට දහනායක මහතා කළේ මහ රෑ දෙගොඩහරියේ බුරුතු පිටින් ඇමැතිවරුන් අස් කිරීමය. ඇමතිවරුන් අස්කිරීමේ ලියවිලි පිළියෙල කරන්නට වූයේ බ්‍රැඩ්මන්ටය. දහනායක විරෝධී බලවේගය උත්සන්න වන විට අරලිය ගහ මැදුරේ තාප්පයද උස් කරන ලදී. එයත් දහනායක විරෝධී ප්‍රචාරයක් බවට පත්කර ගැනීමට සතුරන් අමතක කළේ නැත. දහනායක පාර්ලිමේන්තුව විසුරුවන ලියකියවිලි සකස් කරන ලෙස බ්‍රැඩ්මන්ට දැන් වූ විට බ්‍රැඩ්මන් මවිතයට පත් විය.
මහ මැතිවරණය සඳහා දහනායක මහතා අලුත්ම පක්ෂයක් පිහිටුවා ගත්තේය. එහි නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. සමහරු ඔච්චමට ඊට ‘ලංකා පිස්තෝල පක්ෂය’ කියා නමක්ද පට බැන්දෝය. ඊට හේතු වූයේ, දහනායක මහතාගේ නව ඇමති මණ්ඩලයේ සැමට ආත්මාරක්ෂාව සඳහා පිස්තෝලය බැගින් ලබා දී තිබීමය. අගමැති බණ්ඩාරනායක මහතාට වෙඩිතබා ඝාතනය කිරීම, මෙම පිස්තෝල බෙදාදීමට නව අගමැති දහනායක බලපෑ ප්‍රධාන හේතුව බව නොරහසකි.
“බ්‍රැඩ්මන් මට බෑ මෙහෙම මේ කරච්චල් කාරයොත් එක්ක අගමැති කම් කරන්න. ඒ නිසා අලුත් පක්ෂයක් තුළින්ම බලය ලබාගැනීමට තීරණය කළා”යි දහනායක බ්‍රැඩ්මන්ට කීය.
අන්තිමේදී සිදු වූයේ ඔහු ඉදිරිපත් කළ අපේක්ෂකයන් අසූ අටකගේම ඇප රාජසන්තක වී දහනායක ද ගාලු අසුනෙන් පරාජයට පත් වීමය.
අගමැති දහනායකගේ පරාජයත් සමග බ්‍රැඩ්මන් අරලිය ගහ මන්දිරයට ආවේය. එම අවස්ථාව බ්‍රැඩ්මන් විස්තර කොට ඇත්තේ මෙසේය.
“මා අරලියගහ මන්දිරයට යන විට ඔහු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් මත දිග ඇදී සිටියේය. ඔහුගේ මුහුණේ පැවතියේ වචනයෙන් විස්තර කරලීමට බැරි තරම් වේදනාවකි, දුකකි. මා දුටු ගමන්ම දහනායක ඉතා සියුම් ස්වරයෙන් කතා කළේය.”
“බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න කාරෙකක් ඉල්ලා ගන්න පුළුවන්ද?”
“මොකද නැතුව සර්? සර්ට කාරෙකකින් යන්න සම්පූර්ණ අයිතිය තියෙනවා”
“නෑ. නෑ. බ්‍රැඩ්මන් මම දැන් අගමැති නොවෙයි. අඩු ගණනේ මන්ත්‍රී කෙනෙක්වත් නොවෙයි”
මම වහාම දහනායක මහතාට ගාල්ලට යාම පිණිස කාරෙකක් සූදානම් කළෙමි. ඔහු ගෙන ගියේ මුල් දවසේ ගෙන ආ සූට් කේස් එක පමණකි. වෙනසකට තිබුණේ දහනායක මහතා මාස කීපයකින් වයස්ගත වී සූට් කේසයද මාස කීපයකින් පරණ වී තිබීම පමණකි.
දහනායක මහතා පරාජයට පත්කළ 1960 මාර්තු මැතිවරණයෙන් එක පක්ෂයකට හෝ පැහැදිලි වැඩි ඡන්ද ගණනක් ලැබුණේ නැත. එහෙත් ආසන ගණන අනුව වැඩිපුර ආසන කීපයක් ලබාගෙන සිටි ඩඩ්ලි සේනානායකට ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාණ්ඩුකාරවරයා විසින් ආරාධනය කරන ලදී. රටේ මුළු මහත් ජනතාවගෙන් වැඩි කොටසක් ඡන්දය දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නිසා ඩඩ්ලි සේනානායකට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනය කිරීම ගැන එවකට සිටි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකට නොයෙක් අතින් දෝෂාරෝපණ ද එල්ල විය.
ඩඩ්ලි සමග
මහ මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක අරලියගහ මන්දිරයට ආ දවසේ බ්‍රැඩ්මන් සමග කතා කළ ආකාරයෙන් පැහැදිලි ලෙස පෙනී ගියේ වැඩි දවසක් ආණ්ඩුව ගෙන යාමට බැරි බව ඔහුට ද අවබෝධ වී තිබුණු බවය. ක්‍රිකට් භාෂාවෙන් කතා කරමින් සේනානායක මහතා බ්‍රැඩ්මන් කීවේය.
“බ්‍රැඩ්මන් වී හෑව් ටූ බෑට් ඔන් අ වෙරි ස්ටිකි විකට්”
“ඔව් සර් ඒකනම් ඇත්ත තමා. මේ වගේ වෙලාවට දක්ෂ ක්‍රීඩකයෙක් කරන්නේ දිගට හරහට ගහන්න නොගිහින් එන පන්දුවලට පිත්ත අල්ලන එක විතරයි.” කියා බ්‍රැඩ්මන් කී විට සේනානායක හයියෙන් සිනාසී බ්‍රැඩ්මන්ගේ මතය අනුමත කළේය.
ඩඩ්ලි කිසි දිනක නැකැත් බැලූ පුද්ගලයෙකු නොවීය. මේ බ්‍රැඩ්මන් ඒ ගැන තබා ඇති අපූරු සටහනකි.
“ඒ කාලේ හිටපු ජ්‍යෙතිශවේදියෙකු වූ බුලත්සිංහල මහතා වරක් ඩඩ්ල් සේනානායක මහතාට විදුලි පුවතක් එවා තිබුණා. මැතිවරණ ජයග්‍රහණය ගැන එහි සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයටයි, ඩඩ්ලි සේනානායක මහතාගේ නමටමයි එම විදුලි පුවත තිබුණේ. මා එය බලා ඉක්මනින් ගෙනගොස් ඩඩ්ලි සේනානායක මහතාට පෙන්වූවා. “මේ මොකක් ද?” කියලා එතුමා මගෙන් ඇසුවා. ජයග්‍රහණය ස්ථිර යැයි ජ්‍යොතිෂය අනුව කියන බැව් එහි සඳහන් කර ඇති බැව් මා කීවා. එක්වරම “විසි කරන්න” කියලා ඉවත බලාගෙනම කීවා. ඒ තමයි ඩඩ්ලි සේනානායක මහත්මයා තුළ තිබූ විශ්වාසය. ආණ්ඩුව පවත්වාගෙන යාමට නොපෙනෙන බලවේගවල සහාය ලබාගන්නට කිහිප දෙනෙකු යෝජනා කළත් ගුරුකම් විශ්වාස කළේ ඩඩ්ලි නොවේ.
...................10