
“අනේ මගේ අහිංසක කෙලි පැටික්කි මුන් මරා ගත්තා.අපි කොච්චර කිව්වද ඔය මිනිහා දාලා ගෙදර වරෙන්. අපිට උඹව බරක් නැහැ කියලා. ඒක ඇහුවනං මෙහෙම විපතක් වෙන්නෙ නැහැ . මිනිහා කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්.මගේ දුවට නිතරම ගහනවා.කරදර ඉවසාගන්න බැරිව දුව ගෙදර නිතරම ආවා. එයා සැමියාගෙන් දික්කසාද වෙන්නත් සූදානම් වෙලා හිටියේ.”
හංසිකා සමන්මලීගේ මරණය ගැන කන වැකුණු මොහොතේ ඇයගේ මව හඬා වැලපුණේ එසේ කියමිනි. කුණ්ඩසාලේ, වරාපිටිය උපන් සමන්මලී මිය යන විට විසිහතර හැවිරිදි වියේ පසුවූවාය. යුග දිවියට එළඹ ගතව තිබුණේ වසර දෙකක වැනි කෙටි කාලයකි.
පසුගිය විසි විසිවැනිදා අලුයම 3.30.පමණ පල්ලේකැලේ පොලිසියේ දුරකථනය නාද වෙන්නට විය. රාත්‍රී රාජකාරි භාරව සිටි පොලිස් නිලධාරියා දුරකථන ඇමතුම ලබා ගත්තේය.දුරකතන ඇමතුම ලබා දී තිබුණේ 119 හදිසි ඇමතුම් අංශයෙනි.
“කුණ්ඩසාලේ වරාපිටිය ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙළවැල දමාගෙන ඉන්නවා.”
යැයි එම දුරකථන පණිවිඩයෙන් කියවිණ.දුරකථන ඇමතුම ලබා ගත් පොලිස් නිලධාරියා මේ බව රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු එම පොලිස් කණ්ඩායම වහා එම නිවස සොයා ගියේය. පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපති නවරත්න තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද එහි පිටත් කර හැරියේ මේ සම්බන්ධයෙන් පුළුල් සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටය.
සමන්මලීගේ විවාහක තරුණ සැමියාගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.
“සර් මම කලින් දවසේ රෑ කුණ්ඩසාලේ තිබුණු සංගීත සංදර්ශනය බලන්න ගියා. සමන්මලීටත් මම කතා කළා යමු කියලා. එයා ලෑස්ති වෙලත් පස්සේ එන්න බැහැයි කිව්වා. ඊට පස්සේ මම තනියම ගියා. පහුවදා එළිවෙන ජාමයේ ගෙදර ආවා. එතකොට සමන්මලීගේ සිරුර කාමරයේ කඹයක එල්ලෙමින් තිබෙනවා දැක්කා. ඊට පස්සේ මම කඹය කපා සිරුර ඔසවාගෙන ඇවිත් ඇඳ උඩින් තිබ්බා. මම මේ කියන්නේ ඇත්තමයි මම එයාව මැරුවේ නැහැ.”
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සමන්මලීගේ සැමියා පවසා ඇතැයි කියන්නේ එවැනි කතාවකි.
මෙසේ පැවසූ සමන්මලීගේ සැමියා ඇය ගෙළවැල දමාගැනීමට කලින් ලියන ලදැයි කියමින් ලියුමක්ද පොලිස් නිලධාරීන් අතට පත් කළේය. මෙම ලියුමේ ඇති අත්අකුරු තම දියණියගේ නොවන බවට ඇයගේ මවුපියන් සහ සමීපතම ඥාතීහු පොලිසිය හමුවේ එකහෙළාම කියා සිටියහ.
සමන්මලී සේවය කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ බොජුන් හලක ය.පසු කලෙක ඒ රැකියාවෙන් ඇය ඉවත් වූවාය.සමන්මලී ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගෙන ඇතැයි කියන්නේ පෞද්ගලික පන්තියකට යන එන අතරවාරයේය.ඇය බොජුන් හලක සේවයේ සඳහා ගියේ අධ්‍යාපන කටයුතුවලින් පසුවය.
සමන්මලීගේ පවුලේ අය මේ ප්‍රේම සම්බන්ධතාවට තරයේම විරුද්ධ වූයේ ඔහු මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අයකු බව කියමිනි. ගෙදරින් කොච්චර එපා කිව්වත් ඇය ප්‍රේම සම්බන්ධය නැවැත්තුවේ නැත. තම පෙම්වතා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අයකු බව ඇය පිළිගත්තේ නැත.
ගෙදරින් නිරන්තරයෙන් මේ සම්බන්ධය නතර කර දමන ලෙසට එල්ල වන දැඩි බලපෑම් හමුවේ ඇය හිතුවක්කාරී තීරණයක් ගත්තාය.
භද්‍ර යොවුන් වියේ පසු වූ සමන්මලී ගත් ඒ හිතුවක්කාරී තීරණය වසර දෙකකට පසු කෙළවර වූයේ ජීවිතයෙන් වන්දි ගෙවමිනි.
එක් රාත්‍රියක ඇය සිය පෙම්වතා සමග මවුපියන්ගේ කැදැල්ලෙන් හොර රහසේ පිය මැන්නේ ඔවුන්ට වෙන් වූ ලොවක් සොයාගෙනය.
සමන්මලීගේ මාමණ්ඩිය රැකියාව වශයෙන් කරන්නේ ලී බඩු තනා ඒවා සාප්පුවලට විකිණීමය.
“දුව ඒ කොල්ලා එක්ක පැනලා ගියත් පසුව අපි දෙගොල්ලම එකතුවෙලා හොඳ මගුලක් ගත්තා. ටික කාලයක් යනකොට දෙන්නා අතර නිතර රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. බෑනා මත්කුඩු ගහන්න පුරුදු වෙලා හිටියා. දුව බෑනා හදාගන්න ගොඩක් උත්සාහ කර තිබෙනවා. නමුත් වැඩක් උනේ නැහැ.
දුවට නිතරම ගහනවා. ගුටි කාගෙන ඉන්න බැරි නිසා දුව පහුගිය කාලය පුරා වරින් වර ඇඳුම් බෑගයක් උස්සා ගෙන අපේ ගෙදර ආවා. ටික දවසක් ඉඳලා ආපහු යනවා. ගුටි කාපුවාම ආපහු ගෙදර එනවා.
මා එක්ක එච්චර විස්තර කියන්නේ නැහැ. අම්මා එක්ක තමයි සේරම කියන්නේ. පහුගිය 15 වෙනිදා සැමියා හොඳ හැටි පහර දුන්නා යැයි කියාගෙන ගෙදර ආවා. මේ බව දැනගත්තම මම දුවට කිව්වා ඔය මිනිහා එක්ක ආයෙත් යන්න එපා කියලා.මම ගෙයක් හදලා දෙන්නම්. ඒ ගෙදරට වෙලා ඉන්න, එහෙමත් නැත්නම් රට රස්සාවකට යන්න කියලා.නමුත් පහුවදා දුව ආයෙත් ඒ මිනිහා හොයාගෙන ගියා. ඒ ගියාට පස්සේ තමයි මේ විපත්තිය දුවට වුණේ.
දෙන්නා අතර සිද්ධ වෙන ආරවුල් පොලිසිය දක්වා ගියා. දුව සැමියාගෙන් වෙන් වෙනවා කියලා කිව්වත් දික්කසාද නඩු දාන්න ගියේ නැහැ. දුවට කරදරයක් වෙලා කියලා මම දැනගත්තේ මහියංගණයට ගිහිල්ලා ඉද්දි. පොලිසියෙන් මට සෑහෙන වෙලාවක් යනකම් දුවගේ මළසිරුර බලන්න යන්න දුන්නෙත් නැහැ. අපි නම් කියන්නේ දුවව මරලා එල්ලුවා කියලයි. දුව සියදිවි නසා ගන්නා බවට ලියුමක් ලියා තිබුණා. ඒ ලියුමේ අත් අකුරු දුවගේ නොවෙයි.”
මෙහෙම කිව්වේ සමන්මලී ගේ පියාය. සමන්මලී මරා එල්ලුවා ද? එසේත් නැත්නම් සිය දිවි නසා ගත්තා ද? ඒ ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවේ තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් සමන් රත්නායක විසිනි. සමන්මලීගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය ඉෂාන් හිල්මි විසින් පවත්වන ලදි.
මෙය ගෙළවැලලා ගැනීමෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කෙරුණු නමුත් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යවා වාර්තාවක් ගෙන්වා ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
සමන්මලීගේ මවුපියන් ඇතුළු ඥාතීන් ලියුමේ ඇත්තේ ඇයගේ අත් අකුරු නොවන බව පැවසීම නිසා ඇයගේම අත් අකුරු ද නොමැති නම් වෙනත් අයෙකුගේ අත් අකුරු දැයි සොයා ගැනීමට පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි. ඇය මීට කලින් ලියා ඇති අත්අකුරු හා මෙම ලියුමේ අත්අකුරු සැසඳීම සඳහා අත්අකුරු විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ සහ මහනුවර සහ මාතලේ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපති නවරත්න ගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක මහින්ද ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

