කහවත්තේ ඝාතනය විසඳූ හැටි


 
මත්ද්‍රව්‍ය සහ මීනිමැරුම් සමග බැඳී ඇති පාතාලය විසින් සිදු කළ, කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කටුරොද ගම්මානයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයේ සුළ මුල අනාවරණය වෙමින් පවති.
 
මෙම ඝාතනයට සෘජු හේතුව, ඝාතනයට ලක්වු තරුණයාත් ඔහුගේ නිවුන් සොහයුරාත් ගමේ තවත් තරුණයින් කිහිප දෙනෙකුත් මත්ද්‍රව්‍ය ජාවරමකට විරුද්ධවීම බව තරුණයාගේ පවුලේ අය කියද්දී කහවත්ත පොලිසිය කීවේ වෙනත් කතාවකි.
 
පවුල් ආරවුලක් මත පුද්ගලික කරුණු, ඝාතනයට මුල්වු බවත් ඝාතනය කෙරුණු තරුණයා මත්ද්‍රව්‍ය ගැන පොලිසියට ඔත්තු නොදුන් බවත්‍  කහවත්ත පොලිසිය පැවසු කතාව පොලිසිය මාධ්‍ය නිවේදනයකින්ද තහවුරු කළේය .
 
පරික්ෂණ මෙ​ෙහයවන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගල
එහෙත් අවාසනාවකට, කහවත්ත පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ගත්,  ජාම බේරා ගැනීමේ මේ උත්සාහය ව්‍යවර්ථ වී ගියේ මෙම ඝාතනයේ පරීක්ෂණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර වීම නිසාවෙනි. කහවත්ත පොලිසියේ කලක් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් රත්නපුර කොට්ඨාසයේ අපරාධ විමර්ෂණ ඒකක භාරව කාලයක් කටයුතු කළ, බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයේ වත්මන් අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලු‍ගලට කහවත්ත ඝාතනයේ අබිරහස විසඳන්නට  භාර දෙන්නේ වැඩබලන  පොලිස්පතිවරයාය.
 
සැලසුම් සහගත සහ සූක්ෂ්ම ලෙස සිදුකළ ඝාතනයක අබිරහස කාලයේ වැලිතලාවෙන් වැසි යෑමට ඉඩ නොතබා, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ආරම්භ කරන පරික්ෂණ සඳහා රත්නපුර  කොට්ඨාස අපරාධ ඒකකයේ සහායද හිමි වේ.
 
පාතාලයේ  වෙඩි තැබීමකින් රත්නපුර පොලිස් කොට්ඨාසයෙන් මිට පෙර කිසිදු ඝාතනයක් වාර්තා වි නොතිබුණි. පසුගිය 30 වැනිදා කහවත්ත නගරයට කිලෝමීටර දෙකක් ආසන්න බුංගිරිය පලන්සූරියගම හල්ලිඳ පදිංචි පහළගම විතානලාගේ ඉමන්ත සුරංජන, නිවාස ඉදිරිපිට ඔහුගේ නිවුන් සොහයුරා සහ තවත් මිත්‍රයෙකු සමග සිටියදී, පැහැරගෙන ගොස් කහවත්ත ඇන්දාන මාර්ගයේ පාළු ස්ථානයකදී වෙඩි දෙකක් තබා ඝාතනය කිරීම රත්නපුරය කැළඹු පාතාලයේ වෙඩිල්ල විය.
 
මේ ඝාතනය සිදුවුයේද විශේෂ දිනයකදීය. එදින එනම් ඝාතනය සිදුවු වේලාවට සමානව රත්නපුර පොලිස් කොට්ඨාසයේ අමුත්තන්ගේ රාත්‍රිය නම් වු පොලිස් විශේෂ මෙහයුමක් ආරම්භ වී තිබිණි.
 
පොලිසියෙන් කියා පැමිණි පිරිසක් පුතාට මාංචු දමා රැගෙන ගිය බවට ඉමන්ත ගේ පියා කහවත්ත පොලිසියට ගොස් කියද්දී පොලිස් නිලධාරීන් සිතුවේ වෙනත් යාබද පොලිසියකින් කිසියම් වැටලීමක්  අමුත්තන්ගේ රාත්‍රියේ දී සිදු කර ඇතැයි කියාය. ඒ නිසාම ඝාතකයින් කහවත්ත ප්‍රදේශයෙන් නිදහසේ පළා ගියේය. මේ වෙන විට සිදුකරන ලද පරික්ෂණ අනුව, නිල් පැහැති පොලිස් ජිප් රථයකට සමාන ජීප් රථයකින් අපරාධකරුවන් පැමිණ තිබේ. ‘‘අපි පොලිසියෙන්, උඹලා කුඩු විකුණනවා නේද?’’ යැයි ඇසු විට, අතේ මාංචුද තිබූ නිසාත් හැසිරීමෙනුත්  ඉමන්තගේ  නිවසේ අය සිතුවේ ඔවුන් පොලිසියෙන්ම කියාය.
 
ඒ අවස්ථාවේදිී ඉමන්ත ගේ නිවුන් සොහයුරා පළාගිය නිසා ඔහුගේ ජීවිතය බේරුණි.
 
ඝාතනය කෙරුණු ඉමන්ත 
ඇන්දාන මාර්ගයේ දී දණ ගස්සවා මාංචු දමා සිටි ඉමන්තගේ හිසට එක් වෙඩිල්ලක්ද පාදයකට තවත් වෙඩිල්ලක් ද තැබූ වෙඩික්කරුට වැරදී ගිය ඉලක්කයක උණ්ඩයක්  මාර්ගයේ තාර කට්ටේ වැදීමෙන් පසු  අපරාධ කල්ලියේ අයෙකුට ද  සුළු තුවාලයක් සිදුවී තිබේ.
 
ඉමන්ත සමග රැගෙන ගිය ඔහුගේ මිතුරාට සුළු තුවාලයක් පමණක් සිදුව තිබුණි. ඝාතනයෙන් පසු කහවත්ත නගරය  ඔස්සේ පැල්මඩුල්ල ට පැමිණි ජීප් රථය කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරයට කිලෝමීටරයක් දුරින් පිහිටි විහාරස්ථානයක් ආසන්නව නවතා තිබේ.
 
එහිදී ජීප් රථයේ සිටි හය දෙනාගෙන් කිහිප දෙනෙකු බස් රථවල නැගි කොළඹ බලා ගමන් කර ඇත්තේ සැලසුමට අනුවය. ජීප් රථය රත්නපුර ඔස්සේ කෙළින්ම කොළඹ නොගොස් කිරිඇල්ල ඔස්සේ පානදුර හොරණ මාර්ගයේ ගමන් කර තිබේ.
 
පොලිස් පරික්ෂණවලට පළමු හෝඩුවාවක් ලැබෙන්නේ මෙහිදිය. අමුත්තන්ගේ රාත්‍රිය නිසා කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ජීප් රථය නවත්වා පරික්ෂා කරනු ලැබේ. සැකකටයුතු කිසිවක් නොමැති නිසා රියැදුරු ගේ තොරතුරක් පමණක් සටහන් කර ගෙන ජිප් රථයට යෑමට අවසර ලබාදී තිබේ. පසුව සිදු කළ පරික්ෂණ වලදී කිසියම් තොරතුරක් ලබාගැනීමට එම පරික්ෂාව ඉවහල් වුවත් කොළඹ දී ජීප් රථ​යේ පාට වෙනස් කර තිබුණි.
 
ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයට ධාවනය කර ඇති අතර එය තාප්පයක් සහිත ස්ථානයක නවත්වා  තබන ලෙස උපදෙස් ලැබි තිබූ බව පරික්ෂණවලදී අණාවරනය විය.මෙම ඝාතනය  ඩුබායි රටේ සිට මෙහයවු හදපාන්ගොඩ හඳයාගේ හිතවතෙකු වෙන ‘‘පොඩි ඉසුරු’’ නැමත්තා හරහා ක්‍රියාත්මක කර ඇති බව අනාවරණ වෙන බවයි. 
 
‘‘මේ ජීප් රථය කහවත්තේ වැඩකට ගිහින් ආව එකක්. තාප්ප වටකරපු තැනක තියන්න. ටීවී එකේ නිව්ස් බැලු‍වේ නැද්ද?’’ කියා එම උපදෙස් ලැබි තිබුණි.ඝාතනයෙන් පසුදින, එනම් පසුගිය 01 වැනිදා ජීප් රථය සපුගස්කන්ද සිට කිරිල්ලවල දක්වා රැගෙන ගොස් තිබේ.උදැසැන 11 සිට පස්වරු තුන දක්වා ජීප් රථයේ පැහැය වෙනස් කිරීමට අළුපාටට හුරු වර්ණයක් ආලේපනය කරන අතර කහවත්තට පැමිණි අංකය වෙනුවට වෙනත් අංක තහඩුද ඒ වෙන විට සවිකර තිබේ.
 
පසුව මෙම ජීප් රථය මීගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලැබෙන තොරතුරක් ඔස්සේ, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ව්සින් සොයා ගනී.ඉමන්ත සුරංජන ගේ ඝාතනයේ සුල මුල දිග හැරෙන්නේ ඉන් පසුවය.පුද්ගලයින් සිව් දෙනෙකු 15 වැනිදා වෙන විට අත් අඩංගුවට ගෙන ඉන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයේ අවසරය ලබා ගනී.
 
ජීප් රථය පිංතාරු කළ දෙදෙනා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාගත කෙරේ. ජීප් රථයේ තීන්ත ගාන අතරෙදී එක් අයෙකු පික්මී ආයතනයේ ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන මත්වතුර බෝතලයක් රැගෙන ඒමට ගොස් තිබේ. මෙම ඝාතන සිද්ධියේ සම්බන්ධතා ගැන දන්නා සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන් පසුවය. ඔහු මත්වතුර බෝතලය රැගෙන පැමිණි අයයි.
 
ඉමන්ත සුරංජනගේ ඝාතනයට චෝදනා එල්ල වෙන ඩුබායි රාජ්‍යයේ සිටින මීගොඩ අමිත් අවුරුදු දෙක තුනක් කහවත්ත පලන්සුරියගම හල්ලිඳ ප්‍රදේශයේ ජීවත්ව තිබේ. ඉමන්තගේ ලොකු අම්මාගේ දියණිය සමග මීගොඩ අමිත්ගේ බිරිඳ සහ ඝාතනය කෙරුණු ඉමන්ත සහ චෝදනා එල්ලවෙන අමිත් අතර නෑදෑකම එලෙසිනි.
 
මේ පවුල් දෙක අතර නොහොඳකම් තිබූ බවද පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. පොලිසිය පවසන ආකාරයට, ඉමන්ත සහ ඔහුගේ නිවුන් සොහයුරා අමිත්ගේ මත්ද්‍රව්‍ය  ක්‍රියාකරම්වලට හිසරදයක් වී තිබේ.
 
 
පරික්ෂණ සිදු කරන පොලිස් කණ්ඩාය​ෙම් කොටසක් සහ සැකකරුවන් සතුව තිබු යතුරු පැදි .
 
හඳපාන්ගොඩ හඳයා නම් පාතාල නායකයාගේ ගෝලයෙකුවු මීගොඩ අමිත් ද හඳයා සමග ඩුබායි රටේ ජීවත්වෙන බවත් එහි සිට මත්ද්‍රව්‍ය ජාවරම් මෙහයවන බවත් පොලිසිය කියයි. ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, පැල්මඩුල්ල හරහා කහවත්ත දක්වා මත්කුඩු ජාවරමේ අණසක පතුරන්නටත් මේ කණ්ඩායම උත්සාහ ගත් බව පොලිසියට හෙළිදරව් වී තිබේ.මෙම කලාපය මත්කුඩු වසන්ගතයට රටේ සමහර ප්‍රදේශ මෙන් නම් දරා නොතිබුණි.
 
පරික්ෂණවලදී අනාවරණය වු පරිදි, කහවත්ත බුංගිරියේ තරුණයෙකුට මාසයක් යනතෙක් අයිස් මත්ද්‍රව්‍ය නොමිලේ ලබාදීමෙන් ඔහු මතට හුරුකරවාගෙන පසුව මත්කුඩු ජාවරමටද එක්කරගෙන තිබේ. එම තරුණයා මෙයට සති කිපයකට පෙරදී මත්කුඩු සමග පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
කහවත්ත  ප්‍රදේශය  අදටත් මත්කුඩු ජාවරමට තෝතැන්නක් වී නැත. එහෙත් මත්කුඩු රකුසන් පිටස්තරින් පැමිණ කහවත්ත පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කයම බිලිගැනීමට උත්සහා කරති.ඉමන්ත සුරංජන ඝාතනය කිරීමේ අරමුණ ද එයයි. එක් පැත්තකින් තර්ජනයක් වෙන අයට පණිවිඩයක් ලබාදීමත් අනෙක් පැත්තෙන් මත්කුඩු ජාවරමේ අණසක පතුරන්නේ තමන් බව කියා පෑමටත් ඉමන්ත සුරංජන ඝාතනය කිරීමට හේතුව බව මේවෙන විට පරික්ෂණ සිදු කරන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සහ ඊට සහයෝගය ලබාදෙන රත්නපුර ව්ශේෂ අපරාධ ඒකකය පවසයි.
 
ඝාතනය සඳහා පැමිණි හය දෙනාගෙන් වැඩි දෙනෙකු පරික්ෂණ කණ්ඩායම ව්සින් හඳුනාගෙන අවසන්ය. වෙඩික්කරු ද හඳුනාගත් බව පොලිසිය පවසයි.  වෘත්තීය මට්ටමේ අපරාධයක් නිසා අපරාධකරුවන් සෙවීමට පොලිසිය උත්සාහා ගන්නේද  දැඩි පරිශ්‍රමයක් දරමිනි.
 
දක්ෂ පොලිස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් දක්ෂ පොලිස් කණ්ඩායම් දෙකක් හෝඩූවාවන් කිපයක් ඔස්සේ ප්‍රධාන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.
 
ඉමන්ත ගේ ඝාතනය නිසා පොලිසිය සමග විරසකව සිටි ගම්වාසීන් ගේ වේදනාව ඔහුගේ අවමංගල්‍යය දා පිට කළේ පිටතින් පැමිණි පොලිස් ස්ථානවල නිලධාරින් සමග ගැටුමක් ඇති කරගනිමිනි.එහෙත් ඉමන්ත ගේ සත් දවසේ මතක බණ දා ඔහුගේ නිවසේ අයගේ මැදිහත්විමෙන්, ගම්වාසීන් විසින් ගමේ ආරක්ෂාවට සිටි සියලු‍ම පොලිස් නිලධාරින්ට රාත්‍රී ආහරය ලබා දුන්නේ  පොලිසියේ කෙනෙක් දෙන්නෙක් කරන නොහොබිනාකම්වලට සියලු‍ දෙනා වගකිව යුතු නැති බව
සිහිපත් කරමිනි.
සටහන/ජයාරූප:
කහවත්තේ ලසන්ත නිරෝෂණ පෙරේරා