කතරගම දෙවොලක්හැදු මසුමි මයිසාකි දානපතිනිය


ශ්‍රී ලංකාවේ පූජනීය කතරගම පුදබිම යනු හුදෙක් ආගමික ස්ථානයකට එහා ගිය, දෙස් විදෙස් බැතිමතුන්ගේ ආධ්‍යාත්මික සුවය පතා එක්රැස් වන සුවිශේෂී විශ්වාසයේ තොතැන්නකි. එහෙත්, වර්තමාන ඩිජිටල් යුගයේ මෙරට ජනතාව තාක්ෂණය හා ජංගම දුරකථන සමඟ දැඩි ලෙස බද්ධ වී සිටීම හේතුවෙන්, ආගමික ස්ථානවල පැවැතිය යුතු පාරිශුද්ධභාවය සහ සංවරකම ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින බව නොරහසකි. මෙවැනි පසුබිමක, ජපානයේ නාගානෝ නගරයෙන් පැමිණි මසුමි මයිසාකි නම් ජපන් ජාතික කාන්තාව කතරගම දෙවියන් කෙරෙහි ඇති කරගත් ගැඹුරු ආධ්‍යාත්මික බැඳීම සහ අපේ රටේ සංස්කෘතික වටිනාකම් අගයමින් ඇය ඉටු කරන පුණ්‍යකර්ම, අද වන විට දේශීය අපටම මහත් ආදර්ශයක් මෙන්ම කැලඹිලි සහිත සත්‍යයක් ද මතු කරනු ලබයි.

භාවනා අත්දැකීමෙන් ජපානයේ ඉදිවූ කතරගම මුරුගන් ආශ්‍රමය

ජපානයේ නාගානෝ නගරයේ බෞද්ධ පවුලක උපත ලද මසුමි මයිසාකි මහත්මියගේ ජීවිතය වෙනස් අතකට හැරෙන්නේ ඇය දිනක් තම නිවසේ නින්දේ සිටියදී රාත්‍රී කාලයේ මොනරකු පිට නැඟ ගිය අදෘශ්‍යමාන පුද්ගලයකු දර්ශනය වීමත් සමඟය. අන්තර්ජාලය ඔස්සේ කළ සොයා බැලීම්වලින් එය මුරුගන් කතරගම දෙවියන් බවට වටහාගත් ඇය, කතරගම පුදබිමටත් ඉන්දියාවේ මුරුගන් කෝවිල් වෙතත් යමින් දෙවියන් පිළිබඳ අධ්‍යයනය කරන්නට වූවාය.

”‍මම මේ වෙනකොට ජපානයේ මුරුගන් ආශ්‍රමයක් ඉදිකර තිබෙනවා. ඒ ආශ්‍රමය ජපානයේ බැතිමතුන්ගේ ප්‍රධාන ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.”‍

”‍මගේ අම්මා තාත්තා බෞද්ධ. මමත් බෞද්ධ. බෞද්ධාගම අදහන පවුලක ජීවත් වුණු නිසා ජපන් ජාතිකයෝ වුණත් බෞද්ධ වටපිටාව මට තිබුණා. එක්තරා දවසක් මම නිදාගෙන ඉන්නකොට පාන්දර තුනට විතර මොණරකු පිට නැඟු‍ණු අදෘශ්‍යමාන පුද්ගලයකු සිහිනෙන් දැක්කා. අන්න ඒ දැකීම තමයි මගේ මේ ආධ්‍යාත්මික වටපිටාවකට ප්‍රධාන හේතුව වුණේ.

මම දුටු සිහිනය මම ජපානයේ ආයුර්වේද තෙරපි වෛද්‍යවරයකු සමඟ පැවසුවා. පසුව ඔහු කිව්වා ඒ අදෘශ්‍යමාන රුව මුරුගන් දෙවියන්ට සමාන බව. පසුව මම අන්තර්ජාලය ඔස්සේ මුරුගන් දෙවියන් ගැන තොරතුරු හෙව්වා. මම මුරුගන් දෙවියන් ගැන තොරතුරු හොයන්න මුලින්ම ගියේ ඉන්දියාවට. ඊට පස්සේ ඉන්දියාවෙදි දැනගත්තා කතරගම පුදබිම ගැන. ලංකාවට ඇවිත් කතරගම පුදබිම වැඳලා යන ගමන් මම කේ. ඩී. දේවප්‍රිය මහත්මා කතරගම දෙවියන් පිළිබඳ ලියූ පොතක් අරගෙන ගියා. ආයෙම ලංකාවට ඇවිත් මම භාෂා පරිවර්තකයකු සහ මාර්ගෝපදේශකයා සමඟ මේ පොත් ලියා තිබෙන දේවප්‍රිය මහත්මාව සොයාගෙන නිවසටම ගියා. එහිදී මට කතරගම දෙවියන් පිළිබඳ ලිවූ පොත් ගණනාවක් එතුමා මට දුන්නා. මට පුළුවන් ජපන් භාෂාව පමණයි. නමුත් මම භාෂා පරිවර්තකයකු හරහා එම පොත් පරිශීලනය කළා.

ඒ විදිහට කතරගම පුදබිමටත් ඉන්දියාවේ මුරුගන් කෝවිල් වෙතත් යමින් දෙවියන් සම්බන්ධයෙන් ගොඩාක් අධ්‍යයනය කළා, කරුණු හෙව්වා. ඒ අතරතුර මම කතරගම පුදබිමටත් කිහිපවරක්ම ආවා. එවිට මට දැනුණා මගේ ආධ්‍යාත්මික නැඹුරුව සඳහා කතරගම පුදබිම තෝරා ගත යුතු බව. කතරගම අවස්ථා තුනක්ම මම ආවා. තුන්වැනි අවස්ථාවෙදි මම නැවත ජපානයට යද්දි කඳ කුමරුන්ගේ කුඩා පිළිමයක්, පින්තූර කිහිපයක් රැගෙන ගිහින් ජපානයේ මම ජීවත් වෙන නිවසේ කතරගම දෙවියන් වෙනුවෙන් ආශ්‍රමයක් හදලා මම මට වඳින්න හදාගත්තා.”‍

මුලදී ඇයගේ පෞද්ගලික වැඳුම් පිදුම් සඳහා පමණක් ඇරඹුණු මෙම ආශ්‍රමය වෙත, ටික කලකින් ඇයගේ හිතවතුන් සහ ඥාතීන් ඇදී එන්නට වූහ. විවිධ ගැටලු‍ සඳහා දෙවියන්ගෙන් පිහිට පැතූ ඔවුන් අතර, අසනීප තත්ත්වයෙන් පීඩා විඳි කුඩා දරුවන්ගේ හිස මත අත තබා ඇය කළ ආශීර්වාදයෙන් බොහෝ දෙනකුට සුවය ලැබීමත් සමඟ මෙම ආශ්‍රමය අද වන විට ජපානයේ බැතිමතුන්ගේ ප්‍රධාන ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

මාස තුනකට වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන මසුමි මහත්මිය, කිරිවෙහෙර, මහා කතරගම දේවාලය, වැඩසිටිකන්ද, සෙල්ල කතරගම, ඔකඳ දේවාලය සහ දඹාන ආදිවාසී ගම මෙන්ම මහනුවර දළදා මාලිගය ද වැඳ පුදා ගැනීමට අමතක නොකරයි.

එපමණක් නොව ඇයගේ ප්‍රථම සත්කාරය ලෙස ඇය තෝරාගෙන ඇත්තේ අසරණභාවයට පත් දරුවන් වෙනුවෙන් බොහෝ අත්‍යවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමය.

”‍මම භාවනායෝගීව අධ්‍යාත්මය වඩන අවස්ථාවල කතරගම දෙවියන් මට බොහෝ දේවල් පවසා තිබෙනවා. මම පෙර භවයක කතරගම ප්‍රදේශයේ වල්ලි දෙවඟන හා සම්බන්ධ ස්ථානයක සේවය කර ඇති බව මට හැගෙනවා. කතරගම පුදබිමට ආවාම මට දැනෙන්නේ මගේ නිවසට ආවා වැනි හැඟීමක්. මම නිර්මාංශයි. මම භාවනා කරලා ලබාගත් යම් ආධ්‍යාත්මික සහයක් මට තියෙනවා කියලා දැනෙනවා. මගේ අත් දෙකෙන් ආශීර්වාද කරපු බොහෝ දෙනාට සහනයක්, සුවයක් ලැබී තිබෙනවා. මුරුගන් දෙවියන් පිළිබඳ අධ්‍යයනයකින් පසු මම ජපානයේ මුරුගන් ආශ්‍රමයක් ඉදිකළා. දැන් මගේ අනුගාමිකයන් 100 ක් පමණ ජපානයේ ඉන්නවා. මම කතරගමට ගොඩක් ගරු කරනවා. මම ජපානේ අය කතරගම දෙවියන් අදහන්න දැනටත් හුරු කරලා ඉවරයි. ජපන් අය කතරගමට රැගෙන නිතරම මා පැමිණීමට අදහස් කරනවා. ඒ වගේම තමයි මගේ හිත නතර වුණු තැනක් තමයි ලංකාවේ අසරණ දරුවන්ට සේවය කිරීම. මම එන හැම අවස්ථාවකම මගේ ධනයෙන් අසරණ විවිධ ආබාධිත දරුවන් වෙනුවෙන් සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඒක තමයි මම ලබන ලොකුම ආධ්‍යාත්මික සතුට. මට කතරගම දේවාලේ බස්නායක නිලමේතුමා, කතරගම අභිනවාරාමයේ නායක හාමුදුරුවෝ ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන්, ඌව පළාතේ ප්‍රධාන සංඝනායක කතරගම ශ්‍රී වල්ලිමාතා පුරාණ ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ඥානානන්ද හිමියන්, මෙන්ම කතරගම පුදබිමේ කපු මහතුන් මට බොහෝ සේ උදව් කරනවා,”‍ යැයි ඇය ආදරයෙන් සිහිපත් කරයි.

ඇගේ ඇසින් දුටු ශ්‍රී ලංකාවේ කනගාටුදායක යථාර්ථය

වෙතත්, ලංකාවේ ආගමික ස්ථානවල නිසි ලෙස ආගම දහම ඇදහුවද, ඇතැම් දේශීය බැතිමතුන් විශේෂයෙන් තරුණ පිරිස් හැසිරෙන ආකාරය පිළිබඳව ඇය සිය දැඩි කණගාටුව ප්‍රකාශ කරයි.

”‍මම ලංකාවට ආවාම පොඩි දෙයක් දකිනවා කනගාටුවෙන් වුණත් කියන්න ඕන; ලංකාවේ දේවාල පන්සල්වල නිසි ලෙස ආගම දහම අදහනවා. නමුත් ඇතැම් බැතිමතුන් විශේෂයෙන් බෞද්ධ අය පන්සල, කෝවිල, දේවාලය වෙත පැමිණීමේදී සංවරව හැසිරෙනවා මම දැක්කේ නැහැ. ඒ අය හරිම නොසන්සුන්. ඇතැම් අය පාවහන් දාගෙන එනවා. තවත් අය සුදුසු නැති ඇඳුම් ඇඳගෙන එනවා. ඇතැම් අය දෙවියන් බුදුන් වඳිනවාට වඩා වැඩි වේලාවක් ඉන්නේ දුරකථනවල. පුදබිම්වල ඒ ඇතැම් දර්ශන හද කම්පා කරවනවා.”‍

ඌව පළාතේ ප්‍රධාන සංඝනායක කතරගම ශ්‍රී වල්ලිමාතා පුරාණ ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ඥානානන්ද හිමියන් ද මසුමි මයිසාකි මහත්මිය පිළිබඳ කියා සිටියේ මෙවැන්නකි:

”‍මාස තුනකට වතාවක්ම මසුමි ජපන් නෝනා අපේ විහාරස්ථානයට පැමිණ වල්ලි දෙවියන් වෙනුවෙන් පුද පූජා තබනවා. ඇය භාවනා කරනවා. ඇය සමඟ බොහෝ ජපන් පිරිස් මේ ස්ථානයට එනවා. ඒ පැමිණීම නිකම්ම සංචාරයක් නෙමෙයි. ඒ අය එන්නේ හරිම භක්තියෙන්. අපේ බෞද්ධ ඇත්තන් කතරගම පුදබිමට අද එන්නේ විනෝද චාරිකා යනවා වගේ. ඒ ඇත්තන් මේ පුදබිමට එන්නේ ඉතාමත් සංවරව සුදුසු ඇඳුමින් සැරසිලා. ඒ අය මේ කරන වත්පිළිවෙත් කරන ආකාරය, දෙවියන් බුදුන් වැඳීම, භාවනා කිරීම බෞද්ධ ලාංකිකයන්ට ඉතාමත් ආදර්ශයක්.

ඇය ජපන් ජාතික කාන්තාවක් වුවත් ලංකාවේ පැරණි ආහාරවලට දැඩි ප්‍රියතාවයක් දක්වනවා. කුරක්කන් ආහාර, එළවළු, පළතුරු, අල, බතල ඇයගේ ප්‍රියතම ආහාර. ඒ වගේම ඇය අනාගතයේදී ජපානයේ තමන්ගේ ආශ්‍රමය සහ කතරගම යා කරමින් ‘කතරගම ජපන් මිත්‍රත්ව මුරුගන් ආශ්‍රමයක්‘ පිහිටුවා ලංකාවේ අසරණ ජනතාවට තවදුරටත් උපකාර කිරීමට අපේක්ෂා කරනවා.”‍

කතරගම කේ. ඩී. දේවප්‍රිය