උද්ධමනය වැඩියි ආහාර මිල අඩුයි. මෙහෙම වෙන්නේ කොහොම ද?


සරල භාණ්ඩ හුවමාරු ක්‍රමයක සිට මුදල් භාවිත කෙරුණු වෙළෙඳ අර්ථ ක්‍රමයකට විතැන් වූ දා සිට මිල ඉහළ පහළ යාම් පිළිබඳව ජනතා අවධානයට ලක් නොවී තිබෙන්නට හේතුවක් නැත. ආර්ථික විද්‍යාත්මක පර්යාය පද, පාඨ නැතත් නොඳනිතත් මිනිසුන් ඒ ගැන නිසැකවම කතා කරන්නට ඇත. 
 
ඒ කෙසේ වෙතත් අද වෙන විට සාමාන්‍ය පොදු ජනයා පවා “උද්ධමනයක්” ගැන කියනු විමසනු ඇසේ , පෙනේ. සැබවින්ම උද්ධමනය යනු කුමක් ද ? උද්ධමනය යනු භාණ්ඩ හා සේවා වල මිල මට්‍ටම් වැඩිවීමේ සීඝ්‍රතාව වශයෙන් සරළව අර්ථ නිරුපණය කළ හැකිය.
 
අතීතයේ පොදු ජනයා නිරන්තරයෙන් මුහුණ දුන්නේ හා කතිකාවට ලක් කෙරුණේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම් පිළිබඳව ය. වත්මනෙහි ඒ ගැන ඇත්තේ නිහැඬියාවෙකි.  ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයන් කියන්නේ වත්මනෙහි ආහාරවල මිල පහළ යාමක් හෙවත් අවධමනයක් දර්ශක කෙරෙන බවකි. එය එසේ වූවත් සමස්ත උද්ධමනයේ වැඩිවීමක් ගැන ද ඔවුන් කියති. එවන් පරස්පරයක් නිර්මාණය වී ඇත්තේ ඇයි ?      
 
මෙම තත්ත්වය පිළිබඳ වැඩිමනත් තොරතුරැ දැනගැනීමට වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ගෙන් “ඉරිදා ලංකාදීප” කළ විමසුමක දී , ඔහු මෙසේ විස්තර කළේය.
 
උද්ධමනය වැඩි වීම සහ ආහාර උද්ධමනය පහත වැටීමේ තත්ත්වය විස්තර කළොත්?
 
“2025 ජූනි මාසය වන විට උද්ධමනය වැඩි වීමට සාපේක්ෂව ආහාර උද්ධමනය අඩු වෙලා තියෙනවා.මේ පිළිබඳව අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. උද්ධමනය කියන්නෙ මිලෙහි වැඩිවීමේ වේගයයි. උද්ධමනය මනිනු ලබන සාධක දෙකක් තමයි ආහාර සහ ආහාර නොවන අනෙකුත්  භාණ්ඩ හා සේවාවන් ආදිය. මේ කියන කාරණාවෙ දි අපි මුලින්ම බලන්න ඕන ඇයි මේ එකක් වැඩිවෙද් දි එකක් අඩුවෙලා තියෙන්නෙ කියල. මෙයට බලපෑ ප්‍රධානතම හේතූන් තමයි ආහාර උද්ධමනය   අඩුවීම සහ අනෙකුත් ආහාර නොවන භාණ්ඩ හා සේවාවල උද්ධමනය   වැඩිවීම. අන්ලෙසකින් කිවහොත් පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ යාම.”   
 
“උද්ධමනය හරහා සිදුවන්නේ මිල මට්ටම් ඉහළ යාමයි.එහි අවසන් පීඩනය එල්ල වන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට. කෑම් බීමවල මිල වැඩිවීම හෝ අනෙකුත් දේවල්වල මිල වැඩිවීම අවසානයේ දී පාරිභෝගිකයාට  දරා ගන්නට වෙනවා.අපි එය හඳුන්වනවා ජීවන වියදම ඉහළ යාමක් කියල.මෙහිදී සමස්තයක් විදියට ආදායමේ වැඩි වීමක් කොතැනකවත් සිදුවෙලා නැහැ.එතකොට ආදායම වැඩි නොවී වියදම ඉහළ යනවා කියන්නේ රටේ සමස්ත ජනතාවට අඩු වැඩි වශයෙන් එය  බලපෑමක් සිදුවන බවයි.”
 
“පසුගිය මාස කිහිපය පුරාම පැවතියේ අවධමන කලාපයක්.නමුත් රටක ස්ථාවර ආර්ථික ස්ථායීතාවක් පවත්වා ගෙන යාමට නම් සාමාන්‍ය උද්ධමනයක් තිබිය යුතුයි. මහ බැංකුවේ ඉලක්කය වී ඇත්තේ ද රටේ සමස්ත උද්ධමනය සියයට5ක මට්ටමකට ළඟා කිරීමටයි. 2022  වර්ෂය වනවිට උද්ධමනය සියයට 70ක තරම් අගයක් ගත්ත ද, පසුව ක්‍රම ක්‍රමයෙන් ඉහළ අගයකට පැමිණීමෙන් පසුව එය ඍණ අගයකට පැමිණියා.”
 
ඒ කෙසේ වෙතත් එම ඍණ අගය නැවත වතාවක් සියයට5ක මට්ටමකට ගෙන ඒම රටේ මූල්‍යමය ප්‍රතිපත්තිය බැවින් එසේ සිදු කිරීමට මහ බැංකුව ක්‍රියා කරන බවද, හෙතෙම සිටියේය. උද්ධමනයේ දී සලකා බලන්නා වූ ප්‍රධාන සාධකයන් මෙන්ම මෙම උද්ධමනය හා ආහාර උද්ධමනයේ පහත වැටීම සමස්ත සමාජයට කෙසේ බලපෑම් කරයි ද යන්න ඔහු මෙසේ පැහැදිලි කළේය. 
 
“මෙහි දී සලකා බලනුයේ ආහාර පරිභෝජනය කරන ප්‍රමාණයේ අඩු වැඩිවීම නොව මිල ගණන් ය.ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහත වැටුණ ද ආහාර නොවන අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් ඉහළ ගොස් ඇත. එම නිසා උද්ධමනය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. යම් භාණ්ඩයක් පසුගිය මාසයේ රුපියල් 100ක් නම් මෙම මස එම භාණ්ඩය රුපියල් 60කින් ඉහළ ගොස් ය. ඒ අනුව එලෙස පෙර හා පසු ගණන් සැසඳීමේ දී මිල ගණන් වැඩි වූයේ රුපියල් 60කිනි.එම  වැඩිවීම සිදුව ඇත්තේ රුපියල් 60ක් වැනි ඉතා කුඩා අගයකිනි. එනම් වැඩිවීමේ වේගය අඩුය.නමුත් මෙම වෙනස්වීම ඉතා වේගයෙන් සිදු වුවහොත් ආහාර පරිභෝජනය කිරීමේ ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.”
 
“උද්ධමනය වැඩිවීමත් සමග එම පීඩනය දරාගන්න ඕන එම රටේ පාරිභෝගිකයන් විසින්මයි. පාරිභෝගිකයාගේ ආදායම වැඩි නොවී උද්ධමනය වැඩි වීමත් සමග සිදුවන්නේ මිනිසුන්ට කන්න බොන්නවත් අතේ සල්ලි නැතිවෙන එක. එහි දිගුකාලීන ප්‍රතිඵල තමයි රට තුළ  දුප්පත්කම නිර්මාණය වීම. එය පසුගිය කාලයේ  සියයට 25 සිට සියයට 33ක් පමණ දක්වා වැඩිවෙලා තියෙනවා. අනික් අතින් මන්දපෝෂණය  ඇති වීම. මේ සියලු කාරණාවන්  මිනිසුන් ගේ ඵලදායිතාවට බලපෑම් කරනවා.මෙය මුළු මහත් අනාගත‍යටම එල්ලවිය හැකි ප්‍රබල තර්ජනයක් විදියට හඳුන්වන්න පුළුවන්.නමුත් ඉන්දියාව වැනි රටවල ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අවදානය යොමු කරන්නේ ආහාර,ශක්තිය සහ ඵලදායීතාව වැනි කරුණු කෙරෙහියි. මේ තුනම එකින් එකට බැඳී පවතිනවා. නමුත් අපේ වෙන්නෙ ඕකෙ අනික්  පැත්ත. එතකොට අප සිදුකරන්න ඕන ආහාර , ශක්තිය, ඵලදායීතාව යන කරුණු තුන ගැන අවධානය යොමුකිරීමයි.”
 
“කන්න බොන්න සල්ලි නැති වුණහම භාණ්ඩ හා සේවා මිලයට ගැනීමේ හැකියාව හෙවත් ක්‍රයශක්තිය අඩුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඵලදායීතාව අඩුවෙනවා. ඒකෙන් කියන්නෙ රටේ අනවශ්‍ය උද්ධමනයක් ඇති වුණොත් ඒක සමස්ත සමාජයටම බලපෑම් කරනවා.නමුත් දැන් පවතින උද්ධමනය අපට කළමනාකරණය කළ හැකියි. ඒ කියන්නේ  තනි ඉලක්කමක උද්ධමනයක් තිබ්බොත් අපිට ඒක කළමනාකරණය කරගන්න  පුළුවන්.ඒ කියන්නෙ සියයට 10ට වඩා අඩුවීම හොඳයි. නමුත් සියයට 10ට වඩා වැඩි වුණත් ඒක දරාගන්න අපිට ටිකක් අමාරුයි” 
 
සමස්ත උද්ධමනය වැඩි වීමත් ආහාර උද්ධමනය අඩු වීමත් ගැන කරුණු කාරණා පැහැදිලි කළ මහාචාර්යවරයා කියා සිටියේ සමාජය යනු එක් කොටසක් නොවන බවත්, එය මුළු මහත් දුප්පත් පොහොසත් දෙකොටසක් නොව තනි කොටසක් බවත් ය. එමෙන්ම උද්ධමනය වැඩි   වීමත් සමග එය ආර්ථිකයට ධනාත්මකව ගැනීමට නම් දිළිඳු ජනතාව වෙනුවෙන් යම්කිසි සහනදායී වැඩ පිළිවෙළක් අනුගමනය කිරීම රජයේ වගකීමක් බවත් උද්ධමනය වැඩි වීමත් සමග එකී දිළිඳු ජනතාවත් රැකගෙන ආර්ථිකය සමබර කරගත යුතු ආකාරය පිළිබඳව ද අවධානය යොමුකළ යුතුබවත්, සඳහන් කළේය.
 
2025 ජූනි මාසය සඳහා නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශක වාර්තාව අනුව, වාර්ෂික අවධමන අනුපාතය (මිල පහවීම) 2025 මැයි මාසයේ - සියයට0.7 සිට ජූනි මාසයේදී - සියයට0.6 දක්වා සුළු ප්‍රතිශතයකින් අඩු වී ඇත. මෙයින් පෙනී යන්නේ දේශීය ආර්ථිකයේ අඩු මිල ප්‍රවණතාවය පහව ගොස් උද්ධමන මට්ටමට ළඟා වූ බවය. මෙම අවධමන ප්‍රවණතාවය අඩුවීමට හේතු වී ඇත්තේ ආහාර වර්ගවල මිල වෙනස්වීම්ය. ආහාර වර්ගවල වාර්ෂික මිල වර්ධනය සියයට 5.2 (මැයි) සිට  සියයට4.3 (ජූනි) දක්වා පහත වැටී ඇත. ආහාර වර්ග වල මිල අවධමන මට්ටමකට ළඟා වුවද සෙසු උද්ධමනය මැයි මස සිට ජුනි මස දක්වා කාල පරාසය තුළ දී ආර්ථිකය යම් ආකාරයකින් මිල වැඩිවීමකට නැවත සක්‍රිය වීමට පටන් ගෙන ඇත.මහ බැංකුවේ වාර්තාව අනුව, ඉදිරි මාස වල දී අවධමන(deflation) තත්ත්වය අවසන් වී උද්ධමන(inflation) අගය යළිත් ධනමය අගයන් වශයෙන් සටහන් වීම බලාපොරොත්තු වන අතර, ඒ අනුව උද්ධමනය සියයට5 inflation අරමුණට ගමන් කිරීම සදහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම මහබැංකුවේ අරමුණයි.
 
නමුත් මහ බැංකු දත්ත විශ්ලේෂණයට අනුව 2025 ජූනි මාසයේ දී     ඉහළ ගොස් තිබූ සියයට 0.90ක සමස්ත උද්ධමනයට සාපේක්ෂව ආහාර උද්ධමනය පහත වැටී තිබීම විශේෂත්වයකි. මෙවැනි තත්ත්වයක් පාරිභෝගිකයාගේ ජීවන වියදම, ආදායම් සහ ඉල්ලුම/සැපයුම තත්ත්වයන්ට වැදගත් බලපෑමක්  ඇති කරයි. උද්ධමනය ඉහළ යාමක් සහ ආහාර උද්ධමනය පහළ යාමක් එකම කාල සීමාවක් තුළ පවතින අවස්ථාවක් යනු, මූල්‍ය ප්‍රතිපත්ති, වෙ​ෙළඳ පොළ ක්‍රියාවලීන් සහ ජනතාවගේ දෛනික ජීවිතය අතර පවතින සූක්ෂම සම්බන්ධතා අවබෝධ කර ගැනීමට ද විශේෂ අවස්ථාවක් සලසා දෙනු ලබයි.  
 
මෙම තත්ත්වය ඉදිරියටත් පවතී දැයි විමසූ විට ලැබුණේ මෙවන් පිළිතුරකි. 
 
“මෙම උද්ධමනය ආහාර උද්ධමනය පහත වැටීම කියන කාරණය කරුණු කීපයක් මත පදනම් වෙනවා.මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය වන ප්‍රධානතම සාධකය තමයි ඩොලරයේ වටිනාකම. පසුගිය කාලයේ ඇති වූ සංසිද්ධීන් සමග ඩොලරයේ වටිනාකම වැඩි වුණා.ඒ කියන්නෙ අනෙකුත් භාණ්ඩවල මිල ද ඒ හා සමානව වැඩිවුණා.උදාහරණයක් ලෙස ඛනිජ තෙල් මිල වැඩිවුණා. එයට හේතුව තමයි ඩොලරයේ අගය වැඩිවීම.ජාත්‍යන්තර වෙළෙඳපොළේ මේ තියෙන කරුණු කාරණා සමග ඉදිරියේ දී මිල මට්ටම්වල යම් ආකාරයක ඉහළ යාමක් සිදුවිය හැකියි. අනෙක් අතට ලංකාවේ පවතින කාලගුණික දේශගුණික විපර්යාස. දිගින් දිගටම වැස්සොත් එළවළු මිල ඉහළ යන්න පුළුවන්. ඒ වගේමයි අපි දන්නව මේ දවස්වල හාල්වල හිඟයක් පවතිනවා. කඩිනමින් සහල් ගෙන්වීම සිදු නොකළොත් සහල් මිල ඉහළ යන්න පුළුවන්. ඒ විදියට මිල ගණන්  වැඩිවීමේ සම්භාවිතාවක් පවතිනවා”
 
එය කළමනාකරණය කරගැනීමට නම්,
 
“උද්ධමනය වැඩි වීමත් සමග ජනතාවත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. අපි දන්නව මේ රටේ සාක්ෂරතාව සියයට 98ට වඩා වැඩියි. නමුත් ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව සියයට 57ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා ජනතාවත් අවධානය යොමුකරන්න ඕන කොහොම ද  තමන්ගේ මූල්‍ය කළමනාකරණය කර ගන්නෙ කියල. ඒ වගේම ගම් මට්ටමින් හෝ තමන්ට අවශ්‍ය දෑ වගා කරගන්නවා නම් සමස්ත ආර්ථිකයටම තනි පුද්ගල වශයෙන් හෝ දායක විය හැකියි.”
 
“නමුත් ආහාර උද්ධමනය පහළ ගොස් ඇත්නම් වෙළෙඳසල්වල බඩු මිල  ඉහළ ඇයි කියා මිනිසුන් ඇසිය හැකියි. එම නිසා මෙහිදී අනිවාර්‍යයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි. එනම් උද්ධමනය පහළ යාමක් යනු මිල පහත වැටීමක් නොව මිල වැඩිවීමේ වේගය පහත වැටීමක් බව. උද්ධමනය පවතින තුරු මිල ගණන් වැඩිවීම සාමාන්‍ය දෙයකි.මිල පහත වැටීමට  නම් අත්‍යවශ්‍ය අනෙකුත් භාණ්ඩවල අවධමනයක් විය යුතුයි. මෙහි දී සිදුවන්නෙ මිල පහළ යාමේ වේගය අඩුවීමක්ම පමණි.”
 
අනුව සනාථ වන්නේ  සමස්ත උද්ධමනය ඉහළ ගියද ආහාර වර්ග වල මිල වෙනස් වීමේ වේගය අඩුවී ඇතත්, අත්‍යවශ්‍ය අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව 2025 ජුනි මාසයට සාපේක්ෂව උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ විදුලිබලය, ප්‍රවාහන ගාස්තු,ගෑස්, ඖෂධ,ඇඳුම් සහ සේවාවන් වැනි ආහාර නොවන භාණ්ඩවල මිල ගණන් දැඩිව ඉහළ යාමයි. ඒත් සමගම, රුපියලේ අගය පහත වැටීමත්, ආනයනික වියදම් වැඩි වීමත් නිසා දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගියේය. මීට අමතරව, පසුගිය වසරට සාපේක්ෂව ජනතාව සතුව තිබූ ඉක්මන් මිලදී ගැනීම්, බදු වැඩිවීම් සහ ආර්ථික අපේක්ෂාවන් ද උද්ධමනය වැඩිවීමට බලපා ඇතිබව පෙන්නුම් කරයි.
 
මදූශා දිල්ශානි.