“පාසල් දරුවන්ගේ බෑගය බර වැඩියි, ඉගෙන ගන්න තියෙන වෙලාව වැඩියි, විෂයන් ප්‍රමාණය වැඩියි” මෙවැනි මැසිවිලි සමාජයේ බොහොමයක් දෙමාපියන්ගෙන් මෙන්ම දරුවන්ගෙන් එල්ලවෙයි. අධ්‍යාපනය පිළිබඳ කතිකා ගොඩ නැගෙන කාලවකවානුවක අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකිය යුතු පරිවර්තනයකට ලක් කළ යුතු බව නම් සැබෑවකි. රජය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ එවැනි පසුඉමිමකය.
ඒ අනුව ද්විතීයික අංශයේ ශ්‍රේණිවල කාලච්ඡේද අට කාලච්ඡේද හත දක්වා අඩු කරමින් එක් කාලච්ඡේදයක් විනාඩි පනහක් දක්වා වැඩි කෙරේ. සාමාන්‍ය පෙළ විභාගය සඳහා හර විෂයන් අතුරෙන් ඉතිහාසය යන විෂය ඉවත්කර ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, ආගම, මව්බස පමණක් හර විෂයන් යටතට එක් කිරීමට යෝජිතය. ඉතිහාසය විෂය තෝරා ගැනීමේ විෂය කාණ්ඩය යටතට ගෙන එනු ඇත.
කවුද මේ ප්‍රතිසංස්කරණ හැදුවෙ. කවදද මේව හැදුවෙ
දරුවකුගේ පෞරැෂයත් චින්තනයත් ශක්තිමත් කරන ඉතිහාසය වැනි විෂයක් හර විෂය පද්ධතියෙන් ඉවත් කිරීම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් අදහස් විමසීමක් කළෙමු.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල කාලච්ඡේද සංඛ්‍යාව අඩු කිරීම මෙන්ම හර විෂයන්ගෙන් ඉතිහාසය යන විෂය ඉවත් කිරීමේ යෝජනාවල කිසිම තර්කානුකූල බවක් නැහැ. කාලච්ඡේද සංඛ්‍යාව අඩු කිරීම ගැන විවාදයක් ගොඩනැගීමට අවශ්‍ය නොවුණත් දරුවෙකුගේ පෞරුෂය ගොඩ නැගීමට සමත් ඉතිහාසය වැනි විෂයක් හර විෂයන්ගෙන් ඉවත්කර තෝරාගැනීමේ විෂය කාණ්ඩයට ඇතුළත් කිරීම සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. නමුත් මට තියෙන ගැටලුව තමයි කවුද මේ ප්‍රතිසංස්කරණ හැදුවෙ. කවදද මේව හැදුවෙ. මොකද්ද පදනම ඒ වගේම තමයි කාත් එක්ක සාකච්ඡා කරලද ප්‍රතිසංස්කරණ හැදුවෙ කියන කාරණය. මෙහි පරදෘශ්‍ය භාවයක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ගේනවා නම් මාස කිහිපයක් නෙවෙයි දීර්ඝ කාලයක් සාකච්ඡා කරන්න ඕනෑ.එය සංකීර්ණ ක්‍රියාවලියක්. අකිල විරාජ්ලා, සුසිල් ප්‍රේම ජයන්තලා ඉන්න කාලෙ ඉඳන්ම සාකච්ඡා මට්ටමේ තිබුණ ප්‍රතිසංස්කරණ තමයි මේ කරන්න යන්නේ. මම හිතන්නෙ නැහැ නව ප්‍රතිසංස්කරණ ගේන්න තරම් මේ ආණ්ඩුවට කාලයක් තිබුණා කියලා.එහෙම සාකච්ඡා පැවතුණා නම් අනිවාර්යයෙන්ම මහාචාර්යවරුන් විදියට අපි නොදැන ඉන්න හේතුවක් නැහැ.
සත්‍ය ලෙසම ගැටලුවක් තියෙනවා. මොන පදනමකින්ද මේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නෙ. මේ ආණ්ඩුව යටතේ අධ්‍යාපනය පිළිබඳව තීන්දු ගැනීමේ කමිටුවේ මමත් හිටියා. නමුත් මේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අප දැනුවත් කර නැහැ. ඒ නිසා මෙය දේශපාලන න්‍යාය ප්‍රත්‍රයට පිටින් ආපු එකක්. එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම ගැටලුවක්.”
එසේ සිදුකිරීම සාධාරණද? එසේත් නැති නම් එසේ ඉතිහාසය වැනි විෂයක් හර විෂයන්ගෙන් ඉවත් කිරීමේ අභිප්‍රාය කුමක්ද? යන කරුණු විමසා බැලීමට මෙන්ම සිදුකිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් ඇතුළු පාර්ශ්ව දැනුවත් කළ යුතුය. ඒ සඳහා අධ්‍යාපන විෂයට අදාළ ඇතැම් පාර්ශ්ව වැඩිදුර විස්තර දැනගැනීමට සම්බන්ධ කරගත්තද නිසියාකාර පිළිතුරක් ලබා දීමට ඔවුහු අපොහොසත් වූහ. මෙය සත්‍ය වශයෙන්ම මෙය කුමන අභිප්‍රායකින් සිදු කරනවාද කියා සොයා බැලීම කළ යුතුයි. ඒ පිළිබඳව මහාචාර්ය නිර්මාල් රංජිත් මෙසේ අදහස් දැක්වීය.
“මේ ප්‍රතිසංස්කරණයවල අතිශය වැදගත් කාරණාවක් තමයි ඉතිහාසය කියන විෂය හර විෂයන්ගෙන් ඉවත් කිරීම. ඇතැම් පාර්ශ්ව කිව්වෙ ඉතිහාසය ඉවත්කිරීම හොඳ බව. ඔවුන්ගෙ අදහස ඉතිහාසයෙන් සිදුවන්නෙ ජාතිවාදය ඇවිස්සීම බවයි. නමුත් ඉතිහාසය කියන විෂය ළමයෙක් අනිවාර්‌යෙන්ම ඉගෙන ගන්න ඕන. ඉතිහාසය නොදැන අනාගත ලෝකයට පිවිසීම අපහසුයි. ඉතිහාසය ඉගැන්වීමේ අරමුණු හයක් සඳහන් වෙනවා.
සත්‍ය සෙවීම, මිනිසාගේ ඉතිහාස විකාශනය වූ දෙයක් බව හඳුනා ගැනීම, ජනතාව අතර සහ ජාතීන් අතර අන්‍යාන්‍ය බලපෑම සහ සබඳතාව හඳුනා ගැනීම, සමාජ සහ ආර්ථික සාධකවල ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම, ඉවසීම සහ සාමය සඳහා වූ අරගලය. මේ අරමුණු සාක්ෂාත් කරගැනීමට තමයි ඉතිහාසය කියන විෂය වැදගත් වෙන්නෙ. මනුස්සයෙක් විදියට මේ සමාජයේ ජීවත් වෙද්දි උපකරණ සමග ජීවත් වෙන්න බැහැ. අනෙකා සමග අන්‍යාන්‍ය සබඳතා ගොඩනඟා ගන්න ඕනෑ. සංචරණය කරන්න ඕනෑ. ඒ වගේ විශාල මිනිස් ධාරිතාවක් තියෙන්න ඕනෑ. මේක අපට පවුලෙන්, සමාජෙන් ඉබේම ලැබෙන දෙයක් නෙවෙයි. අධ්‍යාපනිකවත් විධිමත්ව ලැබෙන්න ඕනෑ. ඒ නිසා අපි හැමෝටම මිනිස් ධාරිතාවක් එකක් අවශ්‍යයි. මේ දේවල් විධිමත්ව ලැබෙන්නෙ අධ්‍යාපනයෙන් පමණයි.
යම් හෙයකින් අධ්‍යාපනය බිඳ වැටෙනව කියන්නේ සමාජය බිඳ වැටීම. සමාජය බිඳ වැටෙනවා කියන්නෙ පුරවැසියා බිඳ වැටීම. ඒ නිසා පුරවැසියා නිර්මාණය කරන්න ඕනෑ. පුරවැසියා නිසියාකාරව නිර්මාණය කරන්න නම් ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ සමාජවබෝධයක් ලබාදීම වැදගත්. අධ්‍යාපනය රුකියා වෙළෙඳපොළෙහි හොඳ රැකියාවක් ලබා ගැනීමට වගේම සමාජානුගත පුරවැසියෙකු වීමටත් ඉතා වැදගත්.නමුත් යෝජිත නව ප්‍රතිසංස්කරණ යටතේ යහපත් පුරවැසියෙකු කිරීමට අවශ්‍යයි කියන කාරණාව ගැන ඉතා අඩු සැලකිල්ලක් තමයි දක්වලා තියෙන්නේ. එය සාර්ථකව කරන්න නම් ඉතිහාසය කියන විෂය අත්‍යවශ්‍යයි. ඒ නිසා තෝරා ගැනීමේ විකල්පයක් විදියට යොදාගැනීම සම්පූර්ණයෙන්ම නොකළයුත්තක් බවයි සමස්ත ජනතාවගේම අදහස. අධ්‍යාපනයෙහි පවත්නා බර අඩුකරන්න නම් ටියුෂන් කර්මාන්තය තියෙන තුරු කරන්න අමාරුයි. විෂයන් පහක් වුණත් හතක් වුණත් ඒ ධාරිතාව තියෙනවා.මේ බර නිර්මාණය වෙලා තියෙන්නෙ අධ්‍යාපනයේ තියෙන සැකැස්ම නිසා නෙවෙයි. පවතින තරගකාරිත්වය නිසයි. අපි ලෝකයක් එක්කයි ගනුදෙනු කරන්නෙ. අපට මේ ලෝකය ගන දැනගැනීම අත්‍යවශ්‍යයි. ඉතිහාසය වගේ විෂයක් ඉවත් කළාම කොහොමද ළමයෙක් රටක් ගැන ලෝකයක් ගැන දැනගන්නෙ. ඉදිරියට යන්නෙ කොහොමද? එක කරුණක් ගැන විතරක් හිතල අපිට විෂයන් ඇතුළත් කරන්න බැහැ.සෑම දෙයක් ගැනම අපි හිතන්න ඕන.
ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්වීමේදී ජාතික අරමුණු, නිපුණතා, විෂයට අදාළ අරමුණු සහ විෂය අඩංගුව ගැන අපි සැලකිලිමත් වෙලයි විෂය ඉගැන්වීම් කටයුතු සිදුකරන්නෙ. මේ හතර අතර සම්බන්ධතාවක් තියෙන්න ඕන. නමුත් කිසි විටෙකත් ඒ පිළිබඳව අවධානය යොමු කරල නැහැ. ඒ සියල්ලකටම වඩා ඉතිහාසය අයින් කරනෙක ලේසියි කියල එයාල හිතුවා.මේ ගැන කතා කරන්නම ඕන. රටක පුරවැසියන් නිර්මාණය කරනා මාවතක් තමයි ඉතිහාසය කියන්නෙ. මෙය හර විෂයන්ගෙන් අයින් කළාම වෙන්නෙ වටිනාකම අඩුවෙනවා. ඒ වගේම එය විකල්පයක් වෙන්නත් බැහැ. ඒ නිසා මේ පිළිබඳව විවෘත සාකච්ඡාවක්, නිසියාකාර පැහැදිලි කිරීමක් වගේම මේ විෂය ධාරාව හර විෂයන්ගෙන් ඇයි අයින් කරන්නෙ කියලත් පිළිතුරු ලබාදීම අත්‍යවශ්‍යයි"
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යය වුවද එයට පදනමක් තිබිය යුතුය. ඉතිහාසය වැනි විෂයක් හර විෂයන්ගෙන් ඉවත් කර කාණ්ඩ විශෂයන් යටතට ගැනෙනවා නම් ඒ සඳහා විකල්පයන් ඉදිරිපත් විය යුතුය. කරුණු පිළිබඳව මනා පැහැදිලි කිරීමක් අවශ්‍ය මොහොතක සිදුව ඇත්තේ පැහැදිලි කිරීම් අතින් අතට මාරු වීමකි.
එමෙන්ම කිසිදු ලෙසකින් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා නොකිරීම පිළිබඳවත් සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳවත් ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇත. ළමයෙකු මනා වූ අධ්‍යාපනයකින් මෙන්ම පෞරුෂයකින් යුක්තව ගොඩනැංවීමේ වගකීම දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ටද පැවරී ඇති සුවිශාල වගකීමකි. මෙය ගුරුවරුන් කෙසේ පිළිගනීද යන්න පිළිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ගෙන් කළ විමසමකදී ඔහු ලබාදුන්නේ මෙවන් වූ පිළිතුරකි.
අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේදී ගුරුවරුන් සමග සාකච්ඡා කළ යුතුයි
"අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට කටයුතු සකස් කරමින් යනව.නමුත් ඔවුන් ඒවා සිදුකරන්නෙ පළාත් මට්ටමින් එක එක රුස්වීම් තියමින්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනස් කිරීම වැනි ක්‍රියාවක් එහෙම ලේසියෙන් කරන්න බැහැ. දීර්ඝ සාකච්ඡාවන් සිදු කරන්න ඕන. අදාළ පාර්ශ්වයන්ගේ මත විමසා බලන්න ඕන.මේක ලොකු ක්‍රියාවලියක්. නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය තුමා ප්‍රකාශ කළා පාසලේ කාලච්ඡේද හත දක්වා අඩු කරනව කියල. ඒ වගේමයි විෂයන් ගණන අනිවාර්ය විෂයන් පහකුත් අනෙකුත් විෂයන් දෙකකුත් ලෙස විෂයන් හතක් ගේනව කියල.මේව මේ කා එක්කවත් සාකච්ඡා කරල කරන ක්‍රියාකාරකම් නොවේ.
1966 ලෝක ගුරු ප්‍රඥප්තියේ 75 වැනි වගන්තියේ පැහැදිලිවම දක්වලා තියෙනවා අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේදී ගුරුවරුන් සමග සාකච්ඡා කළ යුතු බව. නමුත් අදාළ කණ්ඩායම් කොයිම වෙලාවකවත් ගුරුවරු හා විදුහල්පතිවරු සමග සාකච්ඡා කර නැහැ. ඊට අදාළව ගුරුවරු ලක්ෂයක් පුහුණු කරන්ව කියල තියෙනවා. නමුත් තවම ඒ ගැන සඳහනකුත් නෑ. ප්‍රතිසංස්කරණ මොනවද කියලත් දක්වල නැහැ. ඒ වගේමයි නම් කරල තියෙන විෂයන්වලට මානව ශාස්ත්‍ර විෂය වගේම සෞන්දර්ය විෂයන් අන්තර්ගත වෙලා නැහැ. හතළිස් තුන්ලක්ෂයකගෙ අනාගතය තීරණය කරන වැඩ පිළිවෙළක් මේක. ඒ වගේමයි ඉතිහාසය ඉගැන්වීමෙන් තමයි යහපත් පුරවැසියන්, පෞරුෂයෙන් පරිපූර්ණ දරුවන් ගොඩනගන්නෙ. මේ වගේ විෂයන් හර විෂයන්වලින් අයින් කරල තෝරගැනීමේ විෂය කාණ්ඩයට ඇතුළත් කිරීමේ අභිප්‍රාය කුමක්ද? සත්‍ය ලෙසම මෙය ගැටලුවක්.
අදාළ පාර්ශ්‍ව නොයකුත් කතා ඉදිරිපත් කරනවා. කාණ්ඩ වි
ෂයන් යටතට ඇතුළත් කරල තියෙන ඉතිහාසයයි සෞන්දර්ය විෂයනුයි ළමයෙක් අනිවාර්යයෙන්ම තෝරාගන්න ඕන් නම් ඉතුරු කාණ්ඩ විෂයන් ඇතුළත් කරන්නෙ ඇයි? සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති කතාවක්. ඔවුන්ම හදපු අසාධාරණ කතාව දැන් ඔවුන්ම වටේ ගෙනියනව. මේ වගේ තත්ත්වයක කොහොමද ළමයෙක් නිසියාකාරව විෂයන් තෝරාගන්නෙ. ඉතිහාසය වගේ විෂයක් අනිවාර්යයෙන්ම හර විෂයන් යටතට ඇතුළත් කළ යුතුයි. ඒ වගේමයි ඒ පිළිබඳව නිසියාකර පැහැදිලි කිරීමක් ගුරුවරු ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් කළ යුතුයි"
ඔහු වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම පිළිබඳව පැහැදිලි ව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළයුතු බවත් එසේ සිදුකරන්නා වූ වෙනස්කම් පිළිබඳව ගුරුවරුන් සමගද සාකච්ඡා කළයුතු බවත් ය.
1972දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහිදී අ.පො.ස සාමාන්‍යපෙළ විභාගය ජා.පො.අ.ස. සා.පෙළ විභාගය බවට පත්වීමේදී ඉතිහාසය විෂයද ඉන් හැළී ගියේය. එය නැවත විෂය නිර්දේශයට එක් වූයේ 2006 වසරේදීය. එයට බලපෑවේ ජනතාවගෙන් එල්ල වූ විරෝධය බව නම් නොරහසකි. අතීතයේ පටන්ම ඉතිහාසයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. දැන් එල්ල වී ඇති ප්‍රබලතම ගැටලුව නැවත වතාවක් මහජනයාට ඉතිහාසය සිහිපත් කරවමින් ඉතිහාසය විෂය හර විෂයන්ගෙන් ඉවත් කොට තෝරා ගැනීමේ විෂය කාණ්ඩයට ඇතුළත් කිරීමය. සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ වූ මත දරන අතර ඉන් ගම්‍ය වන්නේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා මෙන්ම යහපත් පුරවැසියෙකු රටට සමාජයට දායාද කිරීමට අවශ්‍ය වන්නා වූ අඩිතාලම එකී විෂය පද්ධතිය හරහා ගොඩනැගෙන බවයි.
මදූශා දිල්ශානි