සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක හිෂාන් සංඛ මාපිටිගම
ලංකාවේ දේවාල අතරින් සබරගමු මහ සමන් දේවාලයට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. මාස අටකට වැඩි කාලයක් පුරප්පාඩුව තිබූ එහි බස්නායක නිලමේ ධුරයට යොවුන් වයසේ පසුවන හිෂාන් සංඛ මාපිටිගම ඉකුත් දා තෝරා පත් කර ගැනුණි. එතුමා දිනනු ඇතැයි කිසිවෙකුත් සිතුවේ නැත. හෙතෙම මේ තනතුරට තරග කරන බවක් වැඩි දෙනෙක් දැන සිටියේ ද නැත.
එය එසේ වූවත් - මේ වන විට නව බස්නායක නිලමේවරයා කවුරුන් ද යන්න ගැන රත්නපුරේ හැමෝමත්, මේ ගැන උනන්දු වූ රටේ හැමෝමත් කතා කරති. විපරම් කරති. ඒ නිසාම, හදිසියේ වුවත් ඔහු හමුවීමි.
Q ඔබ තුමා හඳුන්වන්නේ කොහොම ද?
“ඇත්තටම මම රත්නපුරේ කෙනෙක්. ලංකාව ආක්‍රමණය කළ අධිරාජ්‍යවාදීන් අල්ලා ගෙන සිටි කටුවන සහ කොළඹ ප්‍රදේශ නැවත ස්වදේශිකයන්ට අයිතිකර දුන් ඓතිහාසික සටන්වලට නායකත්වය දුන් මොරහැල පරම්පරාවෙන් මම පැවත එන්නේ. මගේ තාත්තා රංජිත් මාපිටිගම. අම්මා ශ්‍රියානි ජයරත්න. මගේ ඥාතීන් බළන්ගොඩ, පැල්මඩුල්ල සහ ගොඩකවෙල ඉන්නවා. මම රත්නපුරෙත් ඉන්නවා. කොළඹත් ඉන්නවා. මම අවිවාහකයි. අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි එක්ක පවුලේ එකම පිරිමි ළමයා මම. අක්කලා දෙන්නා විදේශගත වයි ඉන්නේ. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර මිහිඳු විද්‍යාලයෙන්. ඊට පස්සේ ද්විතියික අධ්‍යාපනය ලැබුවේ හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයෙන්. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනයට මම කොළඹ ගියා. ඉතින් මම රත්නපුරේ ම කෙනෙක්. දැනට මම වැවිලි ක්ෂේත්‍රයට සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා.”
Q මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරයට තරග කරන්න හිතුණේ ඇයි.?
“මට හිතුණා මට අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක තමයි මම පළමුවන බස්නායක නිලවරණයට (බොල්තුඹේ සමන් දේවාලයේ) ඉදිරිපත් වෙලා වෙච්ච වැරදි ඔක්කෝම හදා ගෙන තමයි මම මේ අලුතෙන් නිලවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ. ඒකෙන් මට ලොකු පන්නරයක් ලැබුණා. සුමන සමන් දෙවියන් කියන්නේ සෝවාන් ඵලයට පත්වූ බෞද්ධ දෙවි කෙනෙක්. ඒ දෙවියන් වෙනුවෙන් කටයුතු කරන්න, ඒ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න, යහපත්ව කටයුතු කරන්න, මේ ධුරයේ ඉන්න කෙනෙකුට පුළුවන් කියන කාරණය. ඒ සඳහා මාව යොමු වෙන්න කාරණාවක් වුණා.”
Q මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර දේශපාලනයට නතු වෙලා - ආණ්ඩු පක්ෂයේ ආශිර්වාද ලබන කෙනෙක් පත්වෙයි කියලා සමාජයේ ලොකු ප්‍රචාරයක් ගියා. ඒ ගැන හිතුණේ මොනවා ද?
“ ආණ්ඩු පක්ෂයේ සබඳතා ඇති කෙනෙක් දානවා හෝ දාන්න හදනවා කියලා හෝ එහෙම එකක් වුණා ද කියලා මම හරියටම දන්නේ නෑ. ඇත්තටම ඒක ගැන කියන්න මට තේරෙන්නේ නෑ. මම ඉලක්කයට වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම මේ අභියෝගය බාර ගත්තා. මම බාහිර දේවල් ගැන හිත යොමු කරන්නේ නෑ. මේකෙ දී මට විරුද්ධව මඩ ප්‍රචාරණ ගිහිං තිබුණා. මම ඒ එකක්වත් ගණන් ගත්තේ නෑ. මම වැඩ කළේ මගේ ඉලක්කයට යන එකට යි. බාහිර කාරණාවලට හිත යොමු කළා නම් මගේ ඉලක්කයට වැඩ කිරීමේ කාලයයි නැති වෙන්න තිබුණේ. බාහිර කිසිවක් මායිම් නොකර ඉලක්කයට වැඩ කිරීමයි මම කළේ.”
Q මේ ඡන්දෙ දී ප්‍රධානතම ඡන්දදායකයින් තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරු. ඒ අයගේ අවධානය දිනා ගත්තේ කොහොම ද?
“ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ රටේ බොහොම ගරු කටයුතු නිල තනතුරක් දරන පිරිසක්. අතීතයේ නම් රටේ මහත්තුරු. මම මුල ඉඳලාම ඒ අයගේ ගරුත්වය ආරක්ෂා වෙන විදියට බුලත් දීමේ ඉඳන් සියලු චාරිත්‍ර හරියටම කළා. එක පාරක් නොවෙයි අවස්ථා ගණනාවක් මම එතුමන්ලා මුණ ගැහුණා. බොල්තුඹේ සමන් දේවාලයේ ඡන්දයට මම ඉදිරිපත් වුණ අවස්ථාවෙත්, මගේ නම යෝජනා ස්ථිර වුණා. ඒ වෙලාවේ මගේ නම ස්ථිර කරපු ප්‍රාදේශීය ලේකම්තුමාට එදා හිටපු රාජ්‍ය බලධාරීන් ස්ථාන මාරුවක් ලබලා දුන්නා. ඒ ලේකම් තුමා ඊට විරුද්ධව නීතිය හමුවට ගිහින් තිබුණා. එතුමාට ඒ තනතුර නැවත ලැබුණා. ප්‍රාදේශීය ලේකම්වරු මුණගැහිලා, මගේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා. ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ බොහොම උගත් පිරිසක්. ඒ අය එක්ක කටයුතු කළ යුත්තේ බොහොම ප්‍රවේශමෙන්. මම කටයුතු කළේ එහෙමයි. ඒ ගොල්ලෝ මං ගැන බොහොම සොයා බැලීම් කරලා තිබුණා. ඔවුන්ව හමු වෙන්න ගිය හැම වෙලාවක දීම මගෙන් ප්‍රශ්න ඇහුවා. බුද්ධ දර්ශනය ගැන, දේවාල ගැන, සමාජයීය තොරතුරු ගැන ඇහුවාම ඒවාට නිසි පිළිතුරු මම ඔවුනට ලබලා දුන්නා. ඒවා හදාර ලා ඒ ගොල්ලෝ මම සුදුස්සෙක් විදියට තෝරා ගෙන තිබුණා. නිලවරණයට ඉදිරිපත් වෙනකම් මම දැන ගෙන හිටියෙ නෑ, මම ඒ අයගේ ප්‍රසාදයට ලක්වුණ කෙනෙක් කියලා. නිලවරණයේ දී මට වැඩි පිරිසක් කැමති වුණා. මම නිලවරණයෙන් ජයග්‍රහණය කළා.”
Q මේ නිලවරණයට ඉදිරිපත් වන බවට කියැවුණු නම් අතර ඔබේ නම කොතැනකදී වත් බරපතළ ලෙස කැපී පෙනුණේ නෑ. ඔබ කාටවත් අභියෝගයක් වෙයි කියල කිසිදු ආකාරයක කුකුසක් මතු වුණේ නෑ. එහෙම වුණේ කොහොම ද?
“මම වැඩ කළේ වෘත්තීමය විදියට. මට කැපී පෙනෙන්නට වුවමනාවක් තිබුණේ නෑ. සමාජ මාධ්‍යවලින් මම කාවවත් විවේචනය කළේ නෑ. නිගා කළේ නෑ. වෙන වෙන අය ගැන විවේචන කරලා නෑ. මම කළේ මගේ වැඩ කොටස. බස්නායක නිලමේ තනතුරකට තරග කිරීම මට ආගන්තුක දෙයක් නෙවෙයි. බළන්ගොඩ බොල්තුඹේ මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ඡන්දයට මම මුලින්ම ඉදිරිපත් වුණා.”
Q ඔබේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සමාජයේ සමහරු චෝදනා කරනවා. ඔබ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ලබා ගත්තෙ සල්ලි දීලා කියලා. ඒක ඇත්තක් ද?
“මේ චෝදනාව කළේ පරාජය ලැබූ අපේක්ෂකයන් මිසක් - වෙන කිසිම ආයතනයකින්වත්, රජයෙන්වත් මේකට සම්බන්ධ වෙනත් අයගෙන් වත් නෙවෙයි. ඒකට සාක්ෂිත් අපි ගාව තියනවා. පරාජයට පත්වුණ අයට මම ආරාධනා කළා මේක පරාජයක් විදියට බාර ගන්න එපා, එන්න මගෙත් එක්ක වැඩ කරන්න, මම මේක දිනපු ක්‍රමය ඒ අයට කියලා දෙන්නම් කියලා. ඊළඟ සැරේක ඒ අයට ඒ ක්‍රමය ආදර්ශයට ගන්න පුළුවන් නේ.
මේ දේවාල කියන්නේ සම්ප්‍රදායන් එක්ක බැඳිච්ච තැන්. නැවත දේවාලයට ඉදිරිපත් වෙන කෙනෙක් හරි, අලුතින් ඉදිරිපත් වෙන කෙනෙක් හරි, කවුරුවත් මුණගැහෙන්න හිස් අතින් යන්නේ නෑ.”
“මාලිමා රජයේ අලුත් ප්‍රතිපත්තිත් එක්ක ආරාධනා යන කොට ගෙනිච්ච බුලත් අත හැරුණු කොට වෙන කිසි දෙයක් ගෙනිච්චේ නෑ. ඒ අය කිසි දෙයක් බලාපොරොත්තු වුණෙත් නෑ. යම් ලෙසකින් අපි තෑගි භෝග අරන් ගියත්, ඒවා ඔවුන් අනිවාර්යයෙන්ම භාර නොගෙන ප්‍රතික්ෂේප කරනවා. යථාර්ථය එයයි. ගෞරවනීය තනතුරක් දරමින් රටට ලොකු සේවයක් කරන ඒ නිලධාරීන්ට මේ වගේ අභුත චෝදනා එල්ල කරලා නිගා කරන එක මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් අය කියන පරිදි අතීතයේ එහෙම දේවල් වෙන්න ඇති. ඒවා අපි දන්නේ නෑ. නමුත් දැන් ඉන්නේ අදූෂිත හොඳ අවබෝධයක් ඇති තරුණ ලේකම්වරු.”
උනුසුම් පිළිගැනීම මැද
“ඇරත් රැල්ලට ගිය අතීතයේ තිබුණා කියන ඒ පැරණි භාවිතාවන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. මාලිමා රජයේ වැඩ පිළිවළනේ දැන් යන්නේ. රාජ්‍ය නිලධාරීන්, රටවැසියා ඇතුළු සියලු දෙනා දැන් ගමන් කරන්නේ ඒ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුවයි. ඒකට හොඳම නිදසුන තමයි මේ බස්නායක නිලමේ ඡන්දෙට විස්සකට වැඩිය පිරිසක් ඉල්ලුම් පත්‍ර අරගෙන ඡන්දය තියන තැනට ඇතුළු වුණේ. මෙච්චර කාලයකට දෙන්නයි තුන් දෙනයි තරග කළේ. එක් කෙනෙක් නිතරගයෙන් පත් වෙනවා. මෙවර එහෙම සීමා නොවුණේ වත්මන් රජය ගෙන ගිය සමානාත්මතාව සහ සාධාරණත්වය කියන ප්‍රතිපත්ති යේ ලක්ෂණයක් විදියට යි. හැමෝම බලාපොරොත්තු වුණා සාධාරණ ඡන්දයක් තියාවි, අපිටත් ජයගන්න පුලුවන් වේවි කියලා. ඒ ඇරෙන්න වෙන දෙයක් ඔතන නෑ.”
Q අපි දැක්කා අපේක්ෂකයෝ එක්ක නීතිඥවරුත් විශාල ප්‍රමාණයක් ඡන්දය පැවැත්වුණ ශාලාවට යනවා. විරෝධතා ඉදිරිපත් වුණා ද?
“විරෝධතා රාශියක් ආවා. බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්තුමාට වැඩ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන්නේ කොහොම ද කියන අභියෝගයක් ආවා. අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙක් විදියට ඉතාම කාරුණිකව අපිට අවවාද ලබා දෙමින් ඉතාම හොඳට මේ සභාව පවත්වා ගෙන ගියා. චෝදනා, යෝජනා, තිබුණා. විරෝධතා රාශියක් දැක්වූවා. එකම නීතිඥවරයෙක් හෝ අපේක්ෂකයෙක් මට ඇඟිල්ල දික් කළේ වත් චෝදනා කළේ වත් නෑ. මගේ ගැන චෝදනා කරන්න කිසිම දෙයක් නෑ.”
Q සමන් දේවාලයට පත් විය යුත්තේ තමන්ට බුලත් දී කතා කළ හැකි කෙනෙක් කියලා - දේවාලයේ ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ රාජකාරි මණ්ඩලයේ ප්‍රමුඛ ඉල්ලීමක් තිබුණා. කොහොම ද ඔබට ඒ අය ගෙන් ලැබෙන ප්‍රතිචාර?
“මම තවම නිල වශයෙන් වැඩ බාර ගත්තේ නැහැ. නමුත් මම ඔවුන් එක්ක සාකච්ඡා පවත්වලා තියනවා. ඒ අවස්ථාවේ දී ඔවුන්ට වැඩ කරන්න පුළුවන් බස්නායක නිලමෙවරයෙක් කියලා මාව පිළිගත්තා.”
මහ සමන් දේවාලය කියන්නේ මැණික් ඉල්ලම් ඇති නින්දගම් ගණනාවක් ඇති විවිධාකාරයේ මැණික් පතල් ඇති, විවිධ අන්දමේ දේපොළ ඇති ස්ථානයක්.
මේ දේපළ නිසි ආකාරයෙන් පරිහරණය වෙන්නේ නෑ, මැණික් පතල්වල හරි ආදායම දේවාලෙට එන්නේ නෑ, ආදී වූ චෝදනාවන් සිදුවුණා. එවැනි තැනක භාරකාරත්වයටයි ඔබ පත්වුණේ. කොහොම ද ඒ සම්බන්ධව ඉදිරි කටයුතු කරන්නේ?
“මගේ වැඩපිළිවෙළේ මූලිකාංගයක් කරගෙන තියනවා විගණනයක් කරන්න. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් ඒවා අඩංගු වෙනවා. එහිදී මේ දේවාලයට අයිති ඉඩම් මොනවා ද? කොච්චර පතල් ලයිෂන් තියනවා ද? දේවාලයට දැනට ආදායම් මාර්ග ලැබෙන්න තියන අවස්ථා මොනවා ද? කියලා නිසියාකාරව හොයලා බලලා ඒවාට නිසි පියවරක් ගන්නවා.”
Q මෙවර දේවාලයේ වාර්ෂික පෙරහර 24දා පටන් ගන්නවා. කොහොම ද ඔබ ඊට අනුගත වෙන්නේ?
“පෙරහරට ඉතාම සීමිත කාලයක් තියෙන්නේ. මම ඡන්දෙන් දිනපු දවසමෙ දේවාලෙට ගියා. ආගමික කටයුතුවලට සහභාගි වුණා. සාකච්ඡා වලටත් සහභාගි වුණා. බස්නායක නිලමේවරයෙකු නැතුව පෙරහරක් කරන්න බෑ. මම මූලික සාකච්ඡාවලට එක්වුණා. 21දා වෙන කොට මම පෙරහරට මගෙන් විය යුතු යුතුකම් කටයුතු කරන්න පටන් ගන්නවා.”
Q වර්තමානයේ තියෙන්නේ මාලිමා රජයක්. රජයෙන් ඔබට කොහොම සහායක් ලැබෙයි ද? ඔබ රජයට සහයක් දෙන්නේ කොහොම ද?
“මම ස්වාධීන අපේෂකයෙක්. මම මගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහොම පිරිසිදු වැඩ පිළිවෙළක් තමයි ක්‍රියාත්මක කළේ. එතැන දී සම්ප්‍රදායක් විදියට බෞද්ධ කටයුතු ඇමැතිතුමා හමු වෙලා බුලත් දීලා දැනුවත් කළා. ප්‍රදේශයේ හාමුදුරුවරුන්ට, ප්‍රාදේශීය ලේකම් වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරයා වැනි පිළිගත් සහ මතක් කළයුතු අයට බුලත් දීලා ආශීර්වාද ලබා ගත්තා. ඒ කිසි කෙනෙකු ගෙන් මට විරෝධයක් ආවේ නෑ.”
“දේවාලය තියෙන්නේ මහ නගර සභා සීමාවේ. නගරාධිපතිතුමා තමයි මේ කලාපයේ ප්‍රධාන පුරවැසියා. ඡන්දෙන් දිනලා, දේවාලයට ගිහිං, ආගමික වතාවත් කරලා, රාජකාරි මණ්ඩලය හමු වෙලා, මම ඊළඟට ගියේ නගරාධිපතිතුමාව හමුවෙන්න. එතුමා පෙරහරට සහාය දෙන්න සූදානම්.”
Q දේවාලයේ රාජකාරි මණ්ඩලයන් සම්බන්ධයෙන් ඔබේ ඉදිරි දැක්ම මොකක් ද?
“මම මුලින්ම පෙරහරට තමයි මූලිකත්වය දෙන්නේ. රාජකාරි මණ්ඩලය මෙතෙක් කරගෙන ආ ආකාරයට ඒ කටයුතු කරගෙන යාවි. ඒ අයගේ වෘත්තීයමය ගැටලු වගේ දේවල් තියනව නම් ඉදිරියේ දී ඒවා ගැන සොයා බලලා විසඳුම් ලබාදෙන්න හැකි ද බලනවා.”
අජිත්ලාල් ශාන්ත උදය