![]() |
| අපේක්ෂා රෝහලට පැමිණෙන වැඩි පිරිසකට නොමිලේ ප්‍රවාහන පහසුකම් දුන් සංජීව කුමාර මහතා |
මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට සිදුවීම කෙනෙකුගේ ජිවිත කාලයෙහි ලබන්නා වු අතිශය කටුක අත්දැකීමකි.කෙසේ වෙතත් එම රෝහලට දිවයිනේ නන්දෙසින් රෝගීහු ද, ඔවුන්ගේ ඥාතීහු ද, දිනපතා පැමිණෙති.
ඔවුන්ගේ පහසුව සඳහා සීමිත බස් සේවයක් යෙදුව ද එය ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා බස් සේවාවක් ලබා දීමට කුමන හෝ අයකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනකි.
මන්ද පිළිකා රෝගයෙන් පීඩා විඳින, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අසරණ රෝගියකුට රුපියලක් හෝ ඉතිරි කරගැනීම ජීවිතය රැකගැනීමට කරන අරගලයට ලොකු ශක්තියක් වන හෙයිනි.
අපේක්ෂා රෝහලට එන රෝගීන්ට මෙතෙක් කල් තිබූ ලොකුම ආශිර්වාදය නම් බොහෝ නගර වලින් එම ස්ථානය දක්වා නොමිලේ ධාවනය වූ මෙම බස් රථ සේවාවයි. එවැනි බස් රථ සේවාවක් වූ තන්තිරිමලේ සහ ලග්ගල සිට එම රෝහලට රෝගීන් රැගෙන එන මානුෂීය බස් රථ සේවාව ජාතික ගමනාගමන මණ්ඩලය ගත් තීරණයක් නිසා හිටිහැටියේම නතර කර දැමීම නිසා රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවන්ටය.
ආර්ථික අපහසුතා මැද ප්‍රතිකාර සඳහා පැමිණෙන ජනතාවට ප්‍රවාහන ගාස්තු පවා දරාගත නොහැකි මට්ටමක පවතින පසුබිමක, තිබූ එකම සහනයත් අහිමි කිරීම පිටුපස ඇත්තේ බලධාරීන්ගේ දැඩි උදාසීනත්වය සහ අදූරදර්ශී ක්‍රියාවන්ය.
"ආරෝග්‍යා පරමා ලාභා" නිරෝගීකම උතුම්ම ලාභය කොටගෙන මේ සේවාව ලබාදුන්නේ හෝමාගම පදිංචි සංජීව කුමාර මහතායි.තමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සද්භාවයෙන් යුතුව ආරම්භ කළ මෙම සේවාව ඇණ හිට ඇත්තේ ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපය නිසා බව සංජීව කුමාරගේ සඳහන් කරයි.
මෙහි ඉතිහාසය හා වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳ සංජීව කුමාරගේ මහතා අදහස් දක්වා සිටියේ මෙසේය,
"අවුරුදු කිහිපයක ඉඳලා අපේක්ෂා රෝහලට යන රෝගීන් විදින දුක මම දැක්කා.ඔවුන්ට පිහිට වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන කොට තමයි අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ දිවංගත වෛද්‍ය අරුණ ජයසේකර මේ අදහස ඉදිරිපත් කළේ. ඒක ගැන මම මෙහෙම කියන්නම්.
කොරෝනා කාලයේ පෞද්ගලික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිටියා. ඒ කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා කිලෝමීටරයකට රුපියල් 100 ක් ගෙවන්නම් රෝගීන්ගේ අවශ්‍යතා සඳහා බස් ධාවනය කරන්න කියලා. මාසයක් දෙකකක් දුවනකොට මේ ගෙවීම නොකරපු නිසා බස් ධාවනය එම ඩිපෝවෙන් ඉවත් කර ගත්තා.
නැවතත් බස් ධාවනය කරන්න ඩිපෝවෙන් ඉල්ලීමක් කළත් මුදල් ගෙවපු නැති නිසා ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඒ කාලේ තමයි අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා මට මේ මොහොතේ උදව් වෙන්න කියලා ඉල්ලීමක් කළේ. මුලින්ම මම බස් රථ දෙකක් මහනුවර සිට කොළඹටත් අනුරාධපුරේ සිට කොළඹටත් යෙදවූවා. දිනපතා රෝගින්ගේ ගමනාගමන කටයුතු එයින් සිදුවුණා. අපේක්ෂා රෝහලට එන රෝගීන්ගෙන් වගේම ගැබිනි මව්වරුන්ගෙන්,පූජ්‍ය පක්ෂය හා වැඩිහිටියන්ගෙන් කිසිම මුදලක් අය කළේ නැහැ. ඔවුන්ට මෙම සේවාව මහත් අස්වැසිල්ලක් වුණා.පස්සේ දුෂ්කර ප්‍රදේශයක් වූ තන්තිරිමලේ හා ලග්ගල වැනි ප්‍රදේශ දක්වාත් මේ බස් ධාවනය දිර්ඝ කළා.
කෝටි හතරක මගේ පෞද්ගලික මුදල් වැය කරලා තමයි තාවකාලික මාර්ග අවසර පත්‍ර අරගෙන මේ භාරදූර වගකීම සද්භාවයෙන් ඉටු කළේ. වසර තුනක් පමණ ධාවනය කරනකොට ජාතික ගමනාගමන කොමිසමෙන් බලපත්‍ර ඉවත් කරලා ටෙන්ඩර් පටිපාටියක් මගින් ස්ථිර බලපත්‍ර යලබා දෙන බව කියා සිටියා. ඒ අනුව මම කැමති වෙලා ලක්ෂ තිහක මුදලකට බලපත්‍ර ලබාගෙන බස් ධාවනය කිරීමට සූදානම් වුණාම තමයි මට තේරුම් ගියේ මෙතන කිසියම් දූෂණයක් සිද්ධ වෙන බව. බලපත්‍ර දෙන්නේන් අනුමැතියකින් තොරව මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් වගේ යැයි මට තේරුණා. ඒනිසා මම ඒ සේරම අල්ලස් කොමිසමට පැමිණිලි කළා. මම එයාලාට එරෙහි වූ නිසා එදා සිට අපේක්ෂා රෝහලට රෝගීන්ට එන්න මම නොමිලේ දාලා තිබුණ බස් සේවාවේ ලයිසන් එක කැන්සල් කළා.
මේ ගැන පරීක්ෂණ කරන්න ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොමිසමේ කමිටුවකට යොමුකළා.නමුත් ඒ කමිටුවවේ ඉන්නෙත් එවැනිම නිලධාරීන්. ඉතින් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. දැනට කැබිනට් අනුමැතියක් නොමැතිව පර්මිට් 42 ක් නීති විරෝධී විදිහට ලබා දී තිබෙනවා.
මේ රජය බලයට පත්වන විට පුන පුනා කිව්වේ දූෂණය පිටුදකින බව. එහෙත් දූෂණයට සම්බන්ධ නිලධාරින් තවදුරටත් සේවයේ ඉන්නවා නම් සාධාරණයක් බලාපොරොත්තු වන්නේ කෙසේද?”
මේ සම්බන්ධව අප ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ සභාපති වරයාගෙන් විමසීමක් කරන ලෙසය.ඒ අනුව කොමිසමේ සභපතිවරයාගෙන් විමසීමක් කළෙමු. ඔහු මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය.
ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරියකු අප කළ විමසීමකදී පවසා සිටියේ කැබිනට් අනුමැතියකින් තොරව හා නිසි ක්‍රමවේදයකින් තොරව ජාතික ගමනාගමන කොමිසම මගින් නීති විරෝධීව ධාවන බලපත්‍ර හතළිස් දෙකක් මේ වන විට මුදලට විකුණා ඇති බවය. ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය. කොමිසමට මෙම පැමිණිලි ලැබී ඇත්තේ මේ වසර ආරම්භයේ ගතවූ මුල් මාස දෙක තුළය.
මීට අමතරව ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරින් රාජකාරි ගමන් යන මුවාවෙන් හෝටල්වල නතර වී ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇතැයිද අනාවරණය වී තිබේ. මෙය දීර්ඝ කාලයක සිට කරන ක්‍රියාවක් බවද ඔහු කීය.
නිශාන්ත
කුමාර බණ්ඩාර


