‘අනේ භාතිය නැගිටින්න’


ගල්ගමුවේ භාතිය, පරිසර පද්ධතියේ දළ ඇත් පරපුර නියෝජනය කරන විශිෂ්ට නියෝජිතයෙකි. නිතර ගල්ගමුව, මහව, නිකවැරටිය, අඹන්පොළ අවට පරිසරයේ සැරි සරමින් සිටිනු දැකීම සුලබ දසුනකි.

භාතියගේ ඇද වැටීම

නමුත්  මේ වසරේ පෙබරවාරි මාසයේ සිට භාතියගේ සුපුරුදු චර්යාව දැක ගැනීමට නොහැකි වූයේ ඔහු පාදයේ ආබාධයක් හේතුවෙන් ඇදවැටෙමින් නැගිටිමින් සිටි නිසාය. ගල්ගමුව පොල්පිතිගම නිකවැරටිය ප්‍රදේශවල දී ඔහු කීප වරක්ම ඇද වැටී ඇත.

ඒ කීප අවස්ථාවකම වන ජීවී නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුවත් කළද  ඔවුන් භාතිය වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බවට ජනතාව මැසිවිලි නඟති.

භාතිය වෙනුවෙන් වනජීවී නිලධාරීන්ගේ  අවධානය යොමු වන්නේ පසුගිය මැයි මස 19 වෙනිදා සිටය. ඒ වෙන විටත් ඔහු සිටියේ ඉතාම අසීරු තත්ත්වයකය. ඇතාගේ දකුණු පාදයට දැඩි හානි සිදුවී තිබූ අත​ෙර එහි විෂ්කම්භය වට අඩි හයකි. අසාමාන්‍ය ලෙස ඉදිමී තිබුණු මෙම පාදයේ එක්ස්රේ කිරණ පරීක්ෂාව සිදු කිරීම ද අපහසු විය. එයට හේතුව ලංකාවේ ඇති එක්ස් කිරණ උපකරණවලට එවැනි පළල් පාදයක් ස්කෑන් කිරීමේ හැකියාව නොමැති වීමයි.

කෙසේ හෝ වේවා වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් පසුව වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, තරිඳු විජේකෝන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගල්ලගේ විශේෂ අවධානය භාතිය වෙනුවෙන් යොමු විය.

ඒ අවධානය යොමු වූ මොහොතේ පටන් සේලයින් ඇතුළු අවශ්‍ය සියලු‍ ඖෂධ ලබාදෙමින් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු උපරිම මට්ටමෙන් සිදු කෙරෙමින් පවතී.

අවුරුදු තිහ තිස්පහ වයස අතර පසුවන භාතිය සුවවීමට නම් ඔහු සුපුරුදු දින චර්යාවට අනුගත විය යුතුය. එනම් අලි ඇතුන් රාත්‍රියට ආහාර ගනිමින් දවාලට නිදාගන්නා සතුන්ය. ඒ අනුව ඔහුට ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලිය සමතුලිත කර ගැනීමට ඉඩකඩ සලසා දිය යුතුය.

වනජීවී නිලධාරින් හා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු භාතියගේ නිදහසට බාධා නොකර දහවල් කාලයේ තෝරා ගත් කාල පරාසයක් තුළ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන අතරතුර රාත්‍රී කාලයේ ඔහුට ආහාර ලබාදීම සිදු කරයි.

භාතියට ඇති ප්‍රධාන රෝග

භාතියගේ රෝගී තත්ත්වයට ප්‍රධාන හේතු කීපයක් මෙසේය.

1.ඔහුගේ ඉදිරිපස දකුණු පාදයේ ඇති ඉදිමුම.
2. තනිව ආහාර ගැනීමට නොහැකි ලෙස ඔහුගේ සොඬයට වැදී ඇති වෙඩි පහර
3.බෙල්ලෙහි ඇති වෙඩි පහර
4.භාතියගේ ඉදිරිපස වම් පාදයේ යටිපතුල ගැලවී තිබීම.
5.ශරීරය පුරා වෙඩි බෙහෙත් පහරවල් බොහෝ ප්‍රමාණයක් තිබීම යන කාරණාය.

මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ ගැඹුර

භාතිය ලෙඩ වූ දා පටන් ගල්ගමුව මහව අඹන්පොළ අවට මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ ගැඹුර ප්‍රදර්ශනය වෙමින් තිබේ. මේ ප්‍රදේශය අවට මිනිසුන් ජීවන සටනට ප්‍රවේශ වී ඇත්තේ වන අලි ගැටුම් මැදය. කෘෂිකාර්මික කටයුතු සඳහා ​ෙවන හානියට අමතරව  ඔවුන්ට දරුවෙකු පාසලට යවාගත නොහැකි තරමට වන අලි නිසා කරදරය.ඒ කුමන කරදර බාධක තිබුණ ද භාතිය ලෙඩ වූ දා පටන් මේ මිනිස්සු හඬා වැලපෙමින්, සෙත් පිරිත් සජ්ඣායනා කරමින් භාතියට දීර්ඝායුෂ පතති. ”‍අනේ භාතිය නැගිටින්න”‍ යැයි කියමින් විලාප දෙති. මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට භාතියගේ සුපුරුදු දර්ශනය නොමැතිව ප්‍රදේශයම පාළුවට ගියා සේය. ඔවුන්ට එය දරාගත නොහැකි වේදනාවක් බවට පත්ව තිබේ. ඒ උතුම් මනුෂ්‍යත්වය ඉස්මතු වූ අවස්ථාවකි.

බොර දියේ මාළු බාන හැටි

භාතිය දැනට ඇද වැටී සිටින්නේ මානින්ගමුව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළකය. ඒ අවට ජීවත් වන බී.එම්. සරත් කුමාර බන්නැහැක මේ සිදුවීම පිළිබඳ අදහස් දැක් වූයේ මෙසේ ය.

“මේ භාතිය කියන්නේ අපේ ප්‍රදේශයේ හිටිය දැවැන්ත හස්තිරාජයෙක්.

ඔහු දෙතුන් වතාවක්ම මගේ ගෙවත්තට ඇවිත් මගේ වගාවන් විනාශ කළා. මං ඒ සෑම අවස්ථාවකම කොළඹ වනජීවී කාර්යාලයට මහව වනජීවී කාර්යාලයට දැනුම් දුන්නා. ඒත් ඒ කිසිම අවස්ථාවක ඔවුන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

භාතිය මේ වතුර වළේ වැටුණාට පස්සේ තමයි ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. මේ ප්‍රතිකාර කටයුතු අවශ්‍ය විදිහට සිද්ධ වෙනවා කියලා මට නම් කිසිම විශ්වාසයක් නෑ. මෙතන තියෙන්නේ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් කියලයි මට හිතෙන්නේ. මාධ්‍යයෙන් ආව වෙලාවට  සමහර නිලධාරීන් ඇතාගේ කටත් පිහිනවා. හැබැයි මාධ්‍ය එතනින් ඉවත් වුණාට පස්සේ සංදර්ශනය ඉවර වෙනවා.

ඒ අතර තමන්ගේ රැකියාව වගකීමෙන් කරන වන ජීවී නිලධාරිනුත් ඉන්න බව අපිට පේනවා.

සමහර අවස්ථාවල මට තේරෙන විදිහට නම් මේ සතාට ආහාර පවා ලබා දෙන්නේ හිතුමතේට. කොමඩු ගෙඩියක් බඩ ඉඟු‍රු කරලක් හිතුණු වෙලාවට කෝටුවක ගහලා දෙනවා.

ඒ විතරක් නෙමෙයි. මේ සිදුවීමත් එක්ක මේ අවට විවිධ  විදිහට සංවිධානය වුණු කල්ලි විසින් විවිධ අයතා ක්‍රමවලට මුදල් ඉපයීමේ කටයුතු ආරම්භ කරල තියෙනවා. මේ පිළිබඳ වගකිව යුත්තන් සොයා බලනවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ”‍

භාතිය වෙනුවෙන් සෙත් පිරිත්..

භාතිය වෙනුවෙන් කඳුළු සලමින් පිරිත් පොතක් අත ඇතිව දිනපතා එම ස්ථානයේ පිරිත් සජ්ඣායනා කරන මවක් අපට මුණ ගැසුණි. නමින් ඇය එච්.එම්. බණ්ඩාර මැණිකේය. ඇය මෙසේ පැවසුවාය.

“මේ අද වැටිලා ඉන්න යෝධ ඇතා අපේ වතුවලට නිතර ඇවිල්ල හානි කරපු සතෙක්. සමහර දවස්වලට මං ජනේලයෙන් එබිලා බලද්දී ඉතා විශාල දැවැන්තයෙක් වත්තේ ඉන්නවා. මං ඒ වෙලාවට මේ ඇතාට ඉතාම කරුණාවන්ත විදිහට කතා කරනවා.”‍ “පුතේ තියෙන දෙයක් කාලා ඉක්මනට පලයන්”‍ කිව්වහම හැරිලා ආපහු යනවා.

මං නිතර පන් හොයන්න කැලයට යනවා. කවදාවත් අපිට මේ සතාගෙන් හානියක් වෙලා නම් නැහැ. මට මේ සතා විඳින දුක බලා ඉන්න බෑ.. මගේ දරුවෙකුට දෙයක් උනා වගේ වේදනාවක් මට දැනෙනවා...... ඒ නිසා මං මේ කරන්නේ මට පුළුවන් දේ ..මං මේ පිරිත් පොත දවස ගානේ මෙතෙන්ට ඇවිල්ලා සජ්ඣායනා කරනවා......

මං අනුරාධපුරේ උඩමළුවට ගිහිනුත් මේ සතා වෙනුවෙන් භාරයක් වුණා......හිතින් හැම වෙලේම මේ සතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....”‍

ඇතා වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කිරීමට සහභාගි වී සිටි නිට්ටඹුවෙ ධම්මාරාම හිමි ...

“මේ ප්‍රදේශයේ වනඅලි හානි උපරිමයි. අලි රංචු පිටින් තමයි ගැවසෙන්නේ. ඒ අලි රංචුවේ ඉන්න සද්දන්තයා තමයි භාතිය. ඒ සද්දන්තයා තමයි මේ විදිහට අද වතුර වළක වැටිලා ඉන්නේ..

වනජීවී නිලධාරින් ඔවුන්ට කළ හැකි දේ කරනවා. වෛද්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කරනවා. ආරක්ෂක නිලධාරීන් ඇතාට ආරක්ෂාව සපයනවා. ස්වාමීන් වහන්සේලා විදිහට සෙත් පිරිත් ගායනා කරමින් ඇතාට පිරිත් නූල් බැඳලා පිරිත් පැන් පෙව්වා. ඒ තමයි ස්වාමීන් වහන්සේලා විදිහට ඇතා වෙනුවෙන් අපට කළ හැකි දේ. මේ රටේ සියලු‍ම දෙනාගේ ප්‍රාර්ථනාව වගේම අපේ ප්‍රාර්ථනයත් ඇතා ඉක්මනින් සුව වී නැගිටිනු දැකීමයි...වෙනදා වගේ මේ ප්‍රදේශයේ සැරි සැරීමයි..”‍ යනුවෙන් පැවසුවේය.

වෛද්‍යවරුන්ගේ මතය

දළදා මාලිගාවේ ඇත් පන්තිය භාරව සිටින පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා.

“මේ සතා වෙනුවෙන් මං මේ දින කීපයේම මෙම ස්ථානයට පැමිණියා. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු නිසි පරිදි සිදු කෙරෙනවා. සැලසුම් සහගතව දින කීපයකට අවශ්‍ය ඖෂධ ඔහුට ලබා දෙමින් සිටිනවා. ඒ අනුව ඇතා සුවවෙන තත්ත්වය පරීක්ෂාවට ලක් කරනවා. මහාචාර්ය අශෝක දංගොල්ලත්, පසු වෛද්‍ය තාරකත් දැනුවත් කරමින් මේ සියලු‍ ප්‍රතිකාර කටයුතු දිනපතා සිදු කරනවා. ඒ සඳහා වනජීවී නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින්ගේ සහයෝගය සහ අවට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය උපරිමයෙන් ලැබෙනවා. මේ ප්‍රදේශයේ මිනිස්සු මේ සතා වෙනුවෙන් හරිම සංවේදියි. මට ඒ පිළිබඳ තියෙන්නේ ඉතාම ධනාත්මක හැඟීමක්.”‍

මහාචාර්ය  වෛද්‍ය අශෝක දංගොල්ල 

“වෛද්‍ය තාරක ප්‍රසාද් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි අද මම මෙතනට පැමිණියේ. අපි භාතියව පරීක්ෂා කළා. ලේවල හැටියට හොඳක් නෑ. අවශ්‍ය දේ ලෑස්ති කරගෙන ආවා. මේ තත්ත්වය මත කෙළින් කරන්න බෑ. සවිශක්තිය  නෑ. ඉදිරිපස අත් දෙකේම තුවාල. මේ සත්වයාට සවි ශක්තිය නැහැ. මාස දෙකක් තුළ මේ සතා ඇද වැටුණු හතරවෙනි අවස්ථාව තමයි මේ. මේ සතාගේ හම ඉරිතලා ගිහින්.  දකුණු පැත්තේ ඒක අතක් හන්දියකින් නැමිලා. ඒක වැඩ කරන්න අමාරුයි. අනිත් ඉස්සරහ අතේ යට අඩිය ගැලවිලා. ක්‍රියාකාරීත්වය අනුව හොඬේ හෝ කශේරුකාවේ තුවාලයක් ඇති බව දැනෙනවා. ඒක වෙඩි පහරකින් විය හැකියි. මාංශ පේශි දියවෙලා. පුළුවන් තරම් ප්‍රතිකාර කර ඇතා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ ගන්නවා. ඒක පහසු කාර්යයක් නොවෙයි. අපි මෙතනට ආවට පස්සේ අපි වටේ තියෙන නෙට්වර්ක් එක හරහා මේ කටයුත්තට බොහෝ උදව් උපකාර ලැබෙනවා.”‍

අඹන්පොළ 
අනිල් ගාමිණි විජේරත්න