“රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුවේ ටෙන්ඩර් කොන්දේසි කඩ කරලා’’


(යොහාන් භාසුර)

රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුව (2021-2022) මූලික ටෙන්ඩර් කොන්දේසි ද කඩ කරමින් ආරක්‍ෂක සේවා සපයන ආයතනයකට ලබාදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ රෝහල් පිරිසිදු කිරීම හුදු මතුපිට පිරිසිදු කිරීමක් පමණක් නොවීම හේතුවෙන් රෝහල් පවිත්‍රතා කටයුතු අදාල රෝහලේ විශේෂඥා ක්‍ෂුද්‍ර ජිවි අංශය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ ආසාදන පාලන අංශය යන අංශ අධීක්‍ෂණය කරන බවත් රෝහල් පවිත්‍රතාව සාමාන්‍ය කාර්යාල පවිත්‍රතාවට වඩා කාර්යක්‍ෂම සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස රෝගී සත්කාර සේවා වඩාත් ඵලදායි වන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

වර්තමාන කොවිඩ් ව්‍යාප්තිය යටතේ ආධුනික සමාගමකට පවිත්‍රතා කොන්ත්‍රාත්තුව ලබාදීමට කටයුතු කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මෙවර ලංසු කැඳවීමේදී වෙනත් වසරවලදී මෙන් රෝහල් පරිපාලකයෙක් සහ වෛද්‍ය පරිපාලකයෙක් ලංසු ඇගයීමට සහභාගි නොකිරීම, ලංසු විවෘත කිරීමෙන් පසුව අඩු පාඩු සකස් කිරීමට අවස්ථාව ලබාදීම සහ අදාල සමාගමට පවිත්‍රතාව පිළිබඳව අවම වශයෙන් වසර හෝ පළපුරුද්දක් නොතිබීම යන කරුණු මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දී තිබේ.