“දෙමටගොඩ රුවන්”


(නිමන්ති රණසිංහ)

“දෙමටගොඩ රුවන්” නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු, අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිව්දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (19) නියෝග කළේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුවන්, යම් හෙයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද ඇප කොන්දේසි වශයෙන් සදහන් කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු  ලෙස පෙනී සිටි මාලබේ ප්‍රදේශයේ පදිංචි කාංචන එරික් සිංහාරගේ, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි කියන දෙහිවල පදිංචි මීරා සයිබදු මොහොමඩ් මොහිදීන් සෆ්රාස් සහ ඔහුගේ බිරිඳ වන ශකිලා මුම්තාස් තායුබ් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු වූ පොලිස් සඳරුවන් යන අයවලුන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉකුත් 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර අද (19) නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කර හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමුකළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සැකකරුවන් සිව් දෙනාම සාක්ෂිකරුවන් විසින් අද (19) පැවැත්වූ හදුනා ගැනීමේ පෙරට්ටුවේදී හදුනාගනු ලැබූහ.

මෙම සැකකරුවන් දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයාගෙන් රුපියල් කෝටි එක හමාරක මුදල ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවියට ලබා දීමට යැයි පවසමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ බවද සඳහන් වන අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවීම සඳහා දෙමටගොඩ රුවන් යන අය ගේ පුත්‍රයා සම්බන්ධ කර දී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා බව ද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.