(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය.
උද්ඝෝෂණයේ යෙදී සිටින එක ගුරුවරයකුට හෝ පොලිසිය පහර දී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් උද්ඝෝෂණකරුවන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසලදී කළ ක්‍රියාවකින් පොලිස් නිලධාරියෙකුගේ ඇඟිලි දෙකක් කැඩී ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය මේදක්වා අඩු තරමින් කනගාටුවවත් පළ කර නැති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
උද්ඝෝෂණකරුවන් කිසිවෙකුටත් කිසිම ආකාරයකින් හෝ අත තැබීමට හෝ හිංසා කිරීමට කටයුතු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී තිබෙන බව පැවසූ ඇමතිවරයා වරාය පොලීසිය භාරයේ සිටි උද්ඝෝෂණකරුවන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යෑමට අවසරය ලබාදී තිබූ බවද පැවසුවේය.
පොලිසියට කිසිවිටෙකත් බලපෑම් නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂය පවසන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමාපොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව අද හෙටම ලබාදීමට නියමිත බවත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

