“අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට’’


(යොහාන් භාසුර)

අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට පවරාගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සහල් මිල දිනෙන් දින ඉහළ දමමින් කරන අත්තනෝමතික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එක්ව ඍජු තීරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වී සහ සහල් සඳහා සාධාරණ සහතික මිලක් නියම කරමින් ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට කටයුතු කරන බව කීය.

යහපාලන ආණ්ඩු සමයේදී වී සඳහා සාධාරණ මිලක් නොමැති වීමෙන් ගොවීන් සියදිවිහානි කරගන්නා තත්වයට පත්ව සිටි නමුත් වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ගොවියාගේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් මිල වැඩි කිරීමේ අරමුණින් වී සහතික මිලට වඩා වැඩි මිලට කුමන පාර්ශවයක් ගත්තද සහල් සහතික මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමට ඉඩ නොදෙන බව කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

එහිදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“වී ගොවීන් සහ සහල් මෝල්හිමියන් හැරු වෙනත් තුන්වන පාර්ශ්වයක් විසින් වී සහල් රැස්කර ගබඩා කර පවත්වා ගැනීමට කටයුතු කළහොත්, එම තොග රාජසන්තක කරගැනීම සඳහා අවශ්‍ය ආකාරයට පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති සංශෝධනය කරනවා. සහතික මිලට වී මිලදී ගැනීමට වී මෝල්හිමියන් කටයුතු නොකරන්නේ නම්, සමස්ත තොගයම මිලට ගැනීමට වී අළෙවි මණ්ඩලය සූදානම්ව සිටිනවා”