’’සිසු සැරිය’’ සැරි සරන තැන් වැඩි කරයි


(අංජුල මහික වීරරත්න)

ජාතික ගමනාගමන කොමිෂන්  සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය සේවා ව්‍යාපෘතිය පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාසල් දරුවන්ට මානසික හෝ ශාරීරික අපහසුතාවකින් තොරව නියමිත ‌වේලාවට පාසල් වෙත පැමිණීමටත්, අධ්‍යාපන කටයුතු නිමා කොට ආරක්ෂිතව නිවෙස් කරා යාමටත් හැකි වන පරිදි සහන ගාස්තු ක්‍රමයක් යටතේ වඩා විශ්වසනීය බස් රථ සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 2005 වර්ෂයේ සිට සිසු සැරිය ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. 

එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ මඟින් සිසුන් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබේ. 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිසු සැරිය බස් රථ සේවාවන් 1,537ක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, දිනකට පාසල් ළමුන් ලක්ෂයකට පමණ එමඟින් ප්‍රවාහන පහසුකම් සැපයේ. 

2024 වර්ෂයේ  නව සිසු සැරිය සේවා 500ක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් උපයාගනු ලබන අරමුදලින් වෙන් කර ගැනීම පිණිස ප්‍රවාහන හා මහා මාර්ග  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.