’’බලශක්තිය ඇමැතිවරයාගෙන් ලිඛිත එකඟතාවයක් ඕනේ’’


(යොහාන් භාසුර)

බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ලිඛිත එකඟතාවයක් ලැබුණු පසු ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (14) පැවසීය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් කොළඹ දී අද(14) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රභාත් ප්‍රියන්ත මහතා එසේ පැවසීය.

ගැටලුසහගත තත්වය නිරාකරණය කර ගැනීම සඳහා ලංවිම වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා විසිහතරටම බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙරේදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළකළ බවත් එම එකඟතාවය ලිඛිතව ලබාදෙන ලෙස අමාත්‍යවරයාට වෘත්තීය සමති පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ප්‍රියන්ත මහතා කීය.

එම සාකච්ඡාවේ එකඟතාවයන් ලිඛිතව ලැබුණු වහාම දැනට ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රියන්ත මහතා සඳහන් කළේය.