(සුජිත් හේවාජුලිගේ )
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනිම එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එම පරීක්ෂණ වාර්තාව කෙටි කලකින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
එම පරීක්ෂණ මණ්ඩලය ඒ විමර්ශන කටයුතු දැනටමත් අරඹා ඇතැයි දැනගන්නට ඇත.
ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයට පසුගිය 12 වැනිදාත් අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය 6 වැනිදාත් සිය මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී ඇතැයි චෝදනා එල්ලවී ඇත.
ලොහාන් රත්වත්තේ මහතා එම සිද්ධීන් පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධවීමෙන් පසු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගිය 15 වැනිදා ඉල්ලා අස්විය.

