
(නිමන්ති රණසිංහ)
“අත උස්සන්න කියනකොට අත් උස්සන්නත්, පහළ දාන්න කියනකොට පහළ දාන්නත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ. අපි කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම දරනවා වගේම ආණ්ඩුව වැරදි දෙයක් කරනවා නම් අපි ඊට විරුද්ධව පෙනී සිටිනවා. මේ ආණ්ඩුව ඇතුළේ රූකඩ වගේ හැසිරෙන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට බිය නොවන අතර, රට කඩා වැටෙන ආකාරයට කටයුතු නොකරන බවත්, විශේෂයෙන්ම බොරදියේ මා`ථ බෑමට තම පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මේ ආණ්ඩුවට මිනිස්සු බනිනවා. ආණ්ඩුව හොද නෑ කියලා කියනවා. නමුත් විපක්ෂයට බලය දෙන්න කවුරුත් කැමැති නැහැ. නැවත රනිල් වික්‍රමසිංහට හරි සජිත් ප්‍රේමදාසට හරි ජනාධිපතිකම දෙන්න කැමැති ජනතාවක් මේ රටේ නැහැ. රටේ ජනතාවගේ විශ්වාසය සහති විපක්ෂයක් හෝ විපක්ෂ නායකයකු අද ඉන්නවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන්නේ රට වෙනුවෙන්. ඒ සදහා තීන්දු තීරණ ගන්න බය වෙන්නේ නැහැ. විරෝධතා කරන විදිහ හොදටම අපි දන්නවා. අපි බොර දියේ මා`ථ බාන්නේ නැහැ. රට කඩා වැටෙන ආකාරයේ කිසිදු කටයුත්තක් අපි කරන්නේ නැහැ. විරුද්ධ පක්ෂයේ ඉන්න රූකඩ බලයට ගේන්න අපි කටයුතු කරන්නේත් නැහැ. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ නිකං රූකඩ වගේ හැසිරෙන්නත් අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි ආණ්ඩුවේ වැරදි වලට විරුද්ධව පෙනී සිටිනවා. සමහර මන්ත්‍රීවරු අපිට විරුද්ධව එක එක දේවල් කියනවා. අපිට ඒවා අදාළ නැහැ. ඒ අය තමයි මේ රටේ ගොඩක් ප්‍රශ්න නිර්මාණය කළේ. ඒ අයම තමයි මේ ආණ්ඩුව විනාශ කරන කට්ටිය”

