’හැට්ටයා’ රිමාන්ඩ්


(ටෝනි කරුණානායක) 

රුපියල් 98, 47,000ක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කළ "හැට්ටයා"යන ආරුඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු ලබන 26 වෙනිදා  දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ක්‍රිෂ්ටි පෙරේරා මහතා අද (21)  නියම කළේය.

ඉකුත් 15 වෙනිදා සිට අධිකරණ නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශනය කල සැකකරු වු වේයන්ගොඩ මගෙලෙගොඩ හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්.ඒ.ප්‍රියන්ත රණවීර හෙවත් හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

සැකකරුගේ බැංකු ගිණුම් හරහා විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බවත් මෙතෙක් කරන ලද විමර්ශන අනුව සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සැකකරුට අයත් සහ තවත් අයට අයත් බැංකු ගිනුම් සහ දුරකතන විස්තර අධිකරණ නියෝග මත ලබා ගෙන වැඩිදුරටත් පරීක්ෂණ කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළේය.