’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං  තීරුවක් අද  හෙටම  විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය

ගල් පර්වතය කඩා වැටුණු ස්ථානයේ ඉහළින් ඇති අනෙකුත් ගල් පුපුරවා හැරීමට බලාපොරොත්තු වුවත් වර්ෂා තත්වය හමුවේ එය කිරීමෙන් අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වාදී ඇතැයිද ඔහු කීවේය.

අදාල ස්ථානයේ භූ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා  අවස්ථාවේ විවාදයේදීය

බිමල් රත්නායක  මහතා  මෙසේද පැවසීය.

කඩුගන්නාවේ සිද්ධිය ඛේදවාචකයක්. පාර ගිලා බැහැපු තැන් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් අනුව අද හෝ  හෙට නුවර පාරේ එක මං තීරුවත් අරින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම  එතන තත්වය සොයන්න භූමිද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා. කඩුගන්නාව තත්වය බරපතල  එකක්.සමස්ත වාර්තාව අරගෙන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒක පුපුරුවා හැරලා අයින් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. වහින වෙලාවේ මේක පුපුරවා හැරියොත් හානිය වැඩි වෙන්න පුළුවන් කියල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියලා තියෙනවා. ඒ නිසා පාර බැහැපු තැන දැනට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරනවා.