‘‘සිහන පාසල‘‘ අගමැති ප්‍රධානත්වයෙන් අරඹයි


කේ බුද්ධික කුමාරසිරි

සියලු ගුණ ධර්මයන්ගෙන් මෙන් ම සහකම්පනයෙන් සමන්විත අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම අදින් ඇරඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ලැබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ,

අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ අද  පැවති 2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් දරුවන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේ සඳහන් කළාය.

එහිදී අග්‍රාමාත්‍යතුමිය සිසු සිසුවියන් සමග පාසල් භූමිය තුළ මී පැළයක් රෝපණය කළ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නවීකරණය වූ පළමු ශ්‍රේණි පන්ති කාමර නිරීක්ෂණය කරමින් සිසු සිසුවියන් සමග සුහද කතාබහක ද නිරත වූවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිවයින පුරා පළමුවසරට සිසුන් ඇතුළත් කරගැනීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයට පළමු වසරේ සිසුන්ගේ නම් ඇතුළත් කිරීම සිදු කළ අතර අනතුරුව පාසල් නිල ඇඳුම් සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් පොත් එම සිසුන්ට ලබාදීම ද සිදු කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවා ය.

සෑම දරුවකුටම පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ලබා දීමේ බැරෑරුම් වගකීම රජයක් ලෙස සතුටින් භාර ගෙන තිබෙනවා.  

රටේ දරුවන් සතුටින් පාසල වෙත පියමන් කිරීම දැකගත හැකි වන සේ පොත් බෑගයේ බර අඩු කර, පීඩනයෙන් තොර වූ ඉගෙනුම් වටපිටාවක් සැකසීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහි දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක්, ප්‍රියමනාප පාසල් පරිසරයක් ඇති කිරීම සඳහා “සිහින පාසලක්” සඳහා වූ සැලසුම් යථාර්ථයක් කිරීමට අපි කැපවෙනවා.එසේම 2026 වසරේදී හය ශ්‍රේණියේ සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේදී එම දරුවන්ට ලබා දීමට සැලසුම් සකස් කරමින් සිටිනවා.

නව ප්‍රතිසංස්කරණ තුළින් තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය ක්ෂේත්‍රයන් සඳහා පදනම ගොඩනැගීමත්, විද්‍යා මූලධර්ම මුල් කරගනිමින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් කිරීමත්, ඉංග්‍රීසි හා දෙවන භාෂාව ඉගැන්වීමේ සංවර්ධන කටයුතු සිදු කිරීමත් ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වී තිබෙනවා.දශක ගණනාවක් පුරාවටම අප හුරුවී සිටියේ පොතේ පතේ දැනුම පමණක් ලබා දෙන තරගකාරී අධ්‍යාපන රටාවකටයි. එම ක්‍රමය තුළින් දරුවන් අධ්‍යාපනයෙන් ඉවත්වීමට ඇති ප්‍රවණතාව වැඩි වන අතර එබැවින් අප රජයේ දෙවුර මත වැටී ඇති සෑම දරුවෙකුගේම අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ වගකීම කිසිසේත්ම අතහැරිය නොහැකියි.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. අප මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරිවර්තනීය වෙනසක් ලෙස හඳුන්වන්නේ විෂයමාලාවන් පමණක්ම නොව සමස්ත අධ්‍යාපන පද්ධතියේම සිදුකරන වෙනසක් නිසයි.

පරිවර්තනීය ක්‍රියාවලිය තුළ දරුවන්ගේ මානසික නිදහස සුරැකීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එහිදී සමබර පෞරුෂයකින් යුත් අනාගත පුරවැසියෙකු ලොවට දායාද කිරීම අපේ අරමුණ වෙනවා.

අකුරු පමණක් නොව ජීවිතය සම්බන්ධවද දරුවන්ට උගන්වන ගුරු භවතුන්ගේ වෘත්තීයභාවය ආරක්ෂා කිරීමටත්, හැකියාවන් දියුණු කරන්නත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සැලසුම් සකස් කරනවා.

දෙමාපියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යාපන තීරණය වීමට අප කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගෙන ඇති බව විශ්වාසයෙන් ඔබට කියන්න කැමතියි.