(විමුක්ති එස් රුද්‍රිගු)
අපනයනකරුවන් ජාත්‍යන්තරය සමග තරඟ කිරීමේදී තමාගේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව දන්නා හෙයින් වසර දෙකක්, තුනක් වැනි කාලයකදී දැනට තිබෙන විදුලි බිල ඉහළ පහල යන ක්‍රමය වෙනස් කරමින් විදුලි බිල සියයට 30 කින් අඩුකිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව රජය දැනුම් දුන් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒ තුළින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරන මොහොතක ඒ සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජය අපේක්ෂාව බවද ඔහු පැවසුවේය.
තාවකාලික ගැලපීම් හේතුවෙන් වසර මුලදී විදුලිය ගාස්තුව අඩු කිරීම හේතුවෙන් සහනයක් ලැබුණු බවත් විදුලි පනත අනුව පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය හේතුවෙන් මෙම අවස්ථාවේදී විදුලිය ගාස්තුව වැඩි කිරීමට සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය වත්මන් රජය හඳුන්වා දුන් දෙයක් නොවන බවත් පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීම රටේ අවශ්‍යතාවක් බවත් ඔහු පැවැසුවේය.
විදුලිය ජනනය, නිෂ්පාදනය, බෙදාහැරීමේ සහ අධීක්ෂණය යටතේ පිරිවැය ගැලපීමට විදුලි ගාස්තුවට සංශෝධන ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට රට බැඳී සිටින බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
සියයට 15 කින් විදුලි බිල වැඩිකිරීමෙන් නිෂ්පාදන පිරිවැයට බලපෑමක් එල්ල වන බව රජය දන්නා බවත් පුළුවන් සෑම අවස්ථාවකදීම අමතර සහන ලබාදීම මගින් මූල්‍ය පිරිවැය අඩු කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.