(මොහොමඩ් ආසික්)
2009 සිට මේ දක්වා වසර දහයක කාලය තුළ ලක්ෂ 25 ක තරුණ පිරිසක් රැකියා සඳහා විදේශගතව ඇති බවත් ඔවුන්ගෙන් සමහර පිරිස් නැවත නොපැමිණෙන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මහනුවර හල්ඔළුවේ රුපියල් ලක්ෂ 320 ක වියදමින් ඉදි කළ නව බස් නැවතුම්පොළ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘‘කිසිදු යුද ගැටුමක් නැති පසුගිය වසර දහය තුළ ලක්ෂ 25 ක් රට දාලා ගිහින් තියෙනවා රැකියා කරන්න. එසේ ගිය සමහරු ආපසු එන්නේ නෑ. ඒකෙන් පොඩි හෝ වෘත්තිය සුදුසුකමක් තියෙන පිරිස ලක්ෂ 10 ක්.
කවුරු මොනව කිව්වත් අද මේ රටේ ලොකු ශ්‍රම හිඟයක් තියෙනවා.අද විශාල වශයෙන් වෘත්තියවේදීන්ගේ ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ මේ නිසයි.
වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිය සේවාවල රටේ සේවයේ ඉන්නේ 52,000 යි ඒවගේම මේ පසුගිය අවුරුදු දහයට වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිකයින් තවත් 52,000 ක් පිටරට ගිහිල්ලත් තියෙනවා. ඒ නිසා අපට පේනවා රටේ දැන උගතුන්ගේ ප්‍රශ්නයක් උගත්තු රට හැර යන තත්වයක් ඇති වෙලා තියෙනවා.
ඒ නිසා වැඩිහිටියෝ හැටියටත් තරුණයෝ හැටියටත් අපි කල්පනා කරන්න ඕන මේ රටේ අපිට කොතැනද වැරදිලා තියෙන්නේ කියලා.ඒ වැරදිච්ච තැන හදා ගන්න ඕන. මේකට ප්‍රධානතම හේතුව තමයි මේ විෂම නාගරීකරණය පාරට ගියහම පාරේ වාහන තදබදය,තැනතැන්වල කුණු කඳු අනවසරෙයන් ගොඩකරල අනවසර ඉදිකිරීම් කරලා.ගංවතුර, එහෙමත් නැත්නම් නියඟය යැයිද අමාත්‍යවරයා කීය‘‘.



