(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා හෙට (16) දැවැන්ත පා ගමනක් පවත්වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ පැවසූහ.
මෙම පාගමන කොල්ලුපිටිය වාලුකාරාමයෙන් පස්වරු 3.15 ට ආරම්භ කර කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය දක්වා ගොස් ඒ වෙත සංදේශයක් භාරදීමට සැලසුම් කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
කුඩා පැටවකුව සිටියදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් 1977 වසරේ දී ජර්මානු ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙන් පසු එම ව්‍යාපාරිකයා විසින් ඇමෙරිකානු ඩොලර් 9789 ක මුදලකට කැනඩාවේ සත්වෝද්‍යානයට මෙම සත්වයා විකුණා ඇතැයි ද සෝභිත හිමියෝ කීහ.
මේ වන විට එම සත්වයා කොන්ක්‍රීට්වලින් වට වූ තමාට කිසිසේත් නොගැලපෙන ශීත පරිසරයක කල් ගෙවන බවත්, වසර 44 ක කාලයක් තිස්සේ දුක්ඛිත ජීවිතයක් ගත කරන ලුසීට දැන්වත් නිදහස් පරිසරයක් උරුම විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

