‘‘රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපෙක්ෂා කරන්නේ මොනවාද?‘‘


(නිමල කොඩිතුවක්කු)

සංචරණ සීමා ලිහිල් කර සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශවල උපදෙස් මතදැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹ දී අද  පැවසීය.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලි නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා හිතු මනාපයට කටයුතු කරමින් සිදුවන හානියේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැටුප් විෂමතාවයන් ඇතුළු කරුණු මුල්කර ගනිමින් ගුරුවරුන් පාරට බැස ඇති බවත් කොමිසමක් පත්කර සියලුම ක්ෂේත්‍රවල වැටුප් විෂමතා නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.