‘‘මාධ්‍යවේදියාට කළ තර්ජනය ගැන පරික්ෂණයක් පවත්වන්න‘‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නිදහස් මාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ෆේස්බුක් මාධ්‍යයෙන් කළ තර්ජනයක් පිළිබඳව අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

"බොරු ලියන අයට සොබාදහම දඬුවම් දෙන බවත් ප්‍රභාකරන්ට වූ අයුරින් මේ අයටත් සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන හයක් සහ තරිඳු ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබෙන බවද කීය.

මාධ්‍යවේදියාට වක්‍රාකාරයෙන් නගා තිබෙන මේ තර්ජන සම්බන්ධයෙන් විභාගයක් කරනවාද ?එහි ප්‍රතිඵල මොනවාදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා ආරක්ෂක ක්ෂේත්‍රයේ අයකුට නිදහස් මාධ්‍යවේදියකු වෙත තර්ජනය කළ හැකි දැයි විමසීය.අදාල මාධ්‍යවේදියාට යම් හිංසනයක් වුවහොත් මේ රජය වගකිව යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.