‘‘බොන්ජෝ‘‘ ත්‍රිරෝද හොරා අල්ලා ගනී


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගිරාඹේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රාත්‍රී කාලයේ නතර කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන ගිය බව කියන පුද්ගලයකු පොලිස් නිල සුනඛ බොන්ජෝ කිලෝමීටර් තුනක පමණ දුෂ්කර දුරක් ගෙවා ගොස් ලබාදුන් හෝඩුවාවක් අනුව අඹගස්දෝව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවක් අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දරගල ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකි.

මෙම සැකකරුට එරෙහිව යතුරු පැදි ගණනාවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.

ගිරාඹේ ප්‍රදේශයෙන් සොරා ගත් මෙම ත්‍රිරෝද රථය පදවාගෙන යන අතරවාරයේ නුගතලාව විදුහල ආසන්නයේදී එහි ඉන්ධන අවසන් වීම නිසා සැකකරු එය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණි යැයි පොලීසිය කියයි.

මෙම ත්‍රිරෝද රථය පසුව පොලිසිය විසින් සොයාගෙන මෙය සොරාගෙන ගිය පුද්ගලයා ගැන හෝඩුවාවක් ලබා ගැනීමට බණ්ඩාරවෙල  පොලිස් නිල සුනඛ කොට්ඨාශය බොන්ජෝ කැඳවා එම ත්‍රිරෝද රථයේ රියදුරු අසුනට සහ රෝද රථයේ හැඩලයට ඉව ලබාදී ලබා දී ඇත.