(මුදිතා දයානන්ද)
ඇමැතිකමෙන් හෝ වෙනත් ධූර වලින් හෝ ඉවත් වන්නේ නැති බවත් දිගටම ඇමැතිකමේ කටුයතු කරන බවත් රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අද (30) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් දැන් සිදුවන දේවල් හේතුවෙන් අනාගතයේ දී ඒ ගැනත් සළකා බලන්න සිදුවෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා මෙසේ ද පැවසීය.
‘‘දේශපාලනික වශයෙන් මාව නැති කරන්න සමහරුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා මාව පක්ෂයෙන් හා මා දැරු තනතුරුවලින් ඉවත් කරන බවට එක්තරා පුද්ගලයෙක් මාධ්‍යයට පවසා තිබුණා.
මම හිටියේ මේ ඇමතිකමනේ ඉල්ලා අස්වෙන්න. එහෙම කරලා සිවිල් පුරවැසියෙක් ලෙස ඔහුට සහය දෙන්නයි හිතාගෙන හිටියේ. දැන්නම් මම ඇමැතිකමෙන් අයින් වෙන්නේ නැහැ. පුලුවන්නම් ඉවත්කර පෙන්වන ලෙස මම අභියෝග කරනවා. මගේ පිටිපස්සෙන් ඇවිත් මට පහරදීලා කොනිත්තලා මාව ආපස්සට හරවා ගත්තා.
පක්ෂ සාමාජිකත්වය සහ රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමා ඉවත්කර තිබෙන බවට යම් යම් පාර්ශවයන් ප්‍රකාශ කළත් ඒවා සම්පුර්ණයෙන්ම බොරු.
මෙය පක්ෂය විසින් ගත් තීරණයක් නොව අත්වැරදීමකින් සිදුවූවක් බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මට දුරකතන ඇමතුමක් ලබාදී පැහැදැලි කළා. නිදහසට කරුණු විමසීමක් නොකර කිසිදු විමර්ශනයක් සිදුනොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ නොහැකියි.
දින 52 ආණ්ඩුවෙන් ඉවත් වූ පසුව ඇතැමුන් අවස්ථා කිහිපයක දී තමාගේ නිවෙසෙට පැමිණ යළි කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තුළ තමාට කෙණෙහිලිකම් නොකරන බවට දැනුම් දුන් නමුත් අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා. ඔවුන් මගේ නිවසට ඇවිත් කළ කී දේවල් ගැන සාක්ෂි මා සතුව තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මට ලොකු විශ්වාසයක් තිබුණා. එහෙත් ඔහු වටා සිටින පිරිස ගැන මට විශ්වාසයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා තරාදියේ එක පැත්තකටත් ඔහු වටා සිටින මා අනුමත නොකරන පිරිස එහි අනෙක් පැත්තටත් දැම්මාම සජිත් මහතාගේ පැත්ත බර වැඩිනම් ඔහුට සහය දෙනවා.එසේ නොවේ නම් මට කණගාටුවෙන් වුණත් වෙනත් තීන්දුවක් ගන්න සිදුවෙනවා. මා සම්බන්ධයෙන් මෙවැනි තීරණයකට එළැඹි පුද්ගලයින් දෙදෙනාගේ ඉවත්වන කාලය ඉතාම ළඟයි.
මම ගෝඨාභයට සහය දෙන බවට අද ප්‍රකාශ කරයි කියන බයට තමයි මාව මේ විදිහට ඉවත් කළේ. කොන්ද පණ නැති මෙවැනි පුද්ගලයන්ට මම බය නැහැ.
ඩී.එස් ගේ එක්සත් ජාතික පක්ෂය අද වනවිට සිටින තැන සම්බන්ධයෙන් කණගාටු වෙනවා. එදා තිබුණ ඒ පක්ෂය ආසන්නයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කළා.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්න ද ඔහු පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂයේම යම් යම් පාර්ශවයන් උත්සාහ දරනවා. ඒ අය මේ මැතිවරණයේදී වැඩ කරන්නේ නැහැ'' යැයිද කීය.

