‘‘පුංචි ආණ්ඩු 100ක බලය අපි ගන්නවා‘‘


(නිමල කොඩිතුවක්කු)

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සියයක බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුවට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පොදු විපක්ෂය එකට කටයුතු කරන බවද අත්තනායක මහතා සඳහන් කළේය.

පොදු විපක්ෂයේ නියෝජිතයින් කොළඹ අන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“පළාත් පාලන මැතිවරණය ලබාදුන් ප්‍රතිඵල අනුව විපක්ෂයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එම ජන මතය ක්‍රියාත්මක කිරීම විපක්ෂයේ සියලු පක්ෂවල වගකීමයි. ජනතා තීරණය ඉටු කිරීමට පළාත් පාලන කොට්ඨාස මට්ටමින් එකට එකතු වී කටයුතු කිරීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. මෙම තීරණය සමග සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම රැසක් එක්ව සිටිනවා. එතනදි අපි සියලු දෙනා ඒකාබද්ධව පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ විපක්ෂය විදිහට බලය පිහිටුවනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී විවෘත ඡන්ද විමසීමක් අවශ්‍ය යි කියලා අපි පක්ෂ සියල්ලක්ම සභිකයන්ට දැනුම් දීල තියෙනවා.

ඒ අනුව සභාපති නගරාධිපති ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී විවෘත ඡන්දයකින් පත්කර ගත යුතුයි. එම තනතුරු පත්කර ගැනීමේදී දේශපාලන පක්ෂ ගත් තීන්දු අනුව නියෝජිතයන් කටයුතු කළ යුතුයි කියලා අපි පොදු උපදෙසක් ලබා දීලා තියෙනවා. ඒ උපදේශ පිළි නොපදින සභිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ඇතුළුව විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතන සියයකට අධික ප්‍රමාණයක බලය පිහිටුවීමට පොදු විපක්ෂ ලෙස අප කටයුතු කරනවා. මෙතන කිසිදු ගිවිසුමක් හෝ කොන්දේසියක් නැහැ. ජනතා මතය අනුව අවබෝධයෙන් අපි කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියහ.