‘‘නේපාලය ගැන කනගාටුවයි‘‘


(ෂේන් සෙනෙවිරත්න)

සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනවා. තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එය විනාශයට පත් කර බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක  වේඩරුවේ උපාලි අනුනාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

නේපාලයේ ඇතිවූ අතිශය කණගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත් වූවා. අප බුදුපියාණන් වහන්සේ උපන් දේශයේ මෙවැනි ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේග ජනක සිදුවීම් මාලාව කිසිසේත් සුළු කොට තැකිය නොහැකියි.

දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් කලක සිට ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ රටවල්ව තිබූ රටවල් මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා. සමාජ මාධ්‍ය භාවිතයට තරුණ පිරිස ඇබ්බැහි වී ඇති බව පවසමින් ඒවා තහනම් කිරීමට වඩා එම සමාජ මාධ්‍ය තුළින් තරුණ පිරිසට තම රට ගැන හැඟීමක් මෙන්ම එම රටේ ඉතිහාසය උරුමය කියාදීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් නේපාලය අද මෙවැනි දරුණු ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැති බව පැහැදිලිය.