(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින ව්‍යසනකාරි තත්වය නිරාකරණය කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.
තම තමන්ගේ අනාගත දේශපාලන ඉරනම් සඳහා කුඩුකේඩු කම් නොකර රටත් ජනතාවත් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීම් කරන බවද විජේසූරිය මහතා සඳහන් කළේය.
රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීය.
‘‘රටේ මෙවැනි ඛේදවාචකයක් සිදුවන්නේ රටේ දේශපාලන නායකත්වයේ වරදින්. මේ ව්‍යසනයට ජනාධිපතිවරයා වගකිව යුතුයි.
මේ වගේ ව්‍යසනයක් සිදුවන බවට දේශීය සහ විදේශීය බුද්ධි අංශ නිල දැනුම් දීමක් කරලා තිබුණා. ජාතික ආරක්ෂාවට අනතුරක් වන බවට රටේ නායකයාට දැන ගන්නට ලැබුනොත් ඔහුගේ වගකීම තමයි පෞද්ගලික සංචාර තියා නිල සංචාර පවා අවලංගු කරමින් රටේ සිද්ධ වෙන්න යන දේවල් පිලිබඳ අවධියෙන් සිටීමයි. ඔහු ඒ දේවල් කරලා නැහැ.
අනික් පැත්තෙන් අගමැතිවරයා සමඟ පවතින කොන්තර පිරිමසා ගැනීම මුල් කරගෙන ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම් ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. ආරක්ෂක කවුන්සිලය නිසි ආකාරයෙන් කැඳවලා නැහැ.
රටක අගමැතිවරයාට, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීමට ආරාධනා කරන්නේ නැත්නම් විරුද්ධ පක්ෂයේ තමන්ට කැමති පුද්ගලයන් ආරාධනා කරන්නේ අපිට පේනවා රාජ්‍ය පාලනය ඉතාම පිරිහුනු විපරීත එකක් බවට පත්වෙලා තියෙන බව.
ඒ නිසා මේ ව්‍යසනවට සියලූම දෙනාටම පෙර වගකිවයුතු පුද්ගලයා තමයි ජනාධිපති සිරිසේන මහතා. මේ හැම මරණයකටම ඔහු වගකිව යුතුයි.ඔහුට නිලධාරීන් එක්ක වැඩ කරන්න බැහැ.
මේ වනවිට හතරවෙනි ජනාධිපති ලේකම්වරයා සිටින්නේ. ඊළඟට පත් කරන්න යන්නේ හතරවැනි ආරක්ෂක ලේකම්වරයායි. ඔහුට රටේ අගමැති එක්ක වැඩ කරන්න බැහැ. ලේකම්වරු එක්ක වැඩ කරන්න බැහැ කැබිනට් මණ්ඩලය එක්ක වැඩ කරන්න බැහැ.
අගමැතිවරයාත් තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැහැ කියලා දැන් නාහෙන් අඬලා වැඩක් නැහැ. ඔබ රටේ අගමැතිවරයා ලෙස මේවා ගැන කටයුතු නොකිරීම වරදක්. අගමැතිවරයා විදියට කරපු රාජකාරිය මොකක්ද කියලා අපි විමසනවා. අගමැතිවරයාත් ඔහුගේ වගකීම පැහැර හැරලා තියෙනවා.
අද නායකයන් දෙදෙනාම අසාර්ථක වෙලා තියෙනවා. මේ වෙලාවේ තමන්ගේ ජීවිත පිළිබඳව පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මහජන නියෝජිතයන් සියලූම දෙනා එක්කම ජනාධිපතිවරයා මුන ගැහිලා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළ යුතුයි.
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන්න යම්කිසි නෛතික බාධාවක් තිබෙනවනම් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා ලෙස ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කිරීම මේ රටේ ජනතාව බලාපොරොත්තු වනවා. මේ ප‍්‍රශ්නය නිරාකරනය කිරීමට ඒ වගේ දැනුමක් අවබෝධයක් තියෙන පුද්ගලයෙක් අවශ්‍යයි.
ඒ නිසා නැවත මේ වගේ මහා ව්‍යසනයක් ඇති නොවීමට ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටුකිරීමට සුදුසුම පුද්ගලයා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි.
ඒ වෙනුවෙන් පියවර ගැනීම අගමැතිවරයාගෙත් ජනාධිපතිවරයාගෙත් වගකීමයි. තම තමන්ගේ අනාගත දේශපාලන ඉරනම් සඳහා කුඩුකේඩු කම් නොකර රට වෙනුවෙන් මෙම තීන්දුව ගන්නා ලෙසට අපි ඔවුන්ගෙන් ඉල්ලිම් කරනවා ‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.

