‘‘ජනපතිවරණයට ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් මුහුණදීම සඳහා සූදානම්‘‘


(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඇතුළු එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද ඊයේ (24) පැවැත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ජනාධිපතිවරණය දිනයේදී ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් මතුවුවහොත් අදාළ ප‍්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙනයාම, ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය ආදී කටයුතු සිදුකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මැතිවරණ කොමිසන් සභාවේ කටයුතුවලට අවශ්‍ය සහය ලබාදීම සඳහා දිස්ත‍්‍රික් ආපදා කළමානකරණ ඒකක සූදානමින් සිටින බව ඔහු ප‍්‍රකාශ කළේය.