‘‘ජනපති පැමිණීමෙන් පසු නව ආරක්ෂක මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් පත්කරනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු ආරක්ෂක අංශ පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.

සියලුම ආරක්ෂක තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය නම් කරනු ලබන එම මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධ්‍යයට නිකුත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සියලු සේවා කටයුතු ඊයේ (27) සිට අත්හිටුවා ඇති  අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බනධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.