‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘


(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂය සිය රට කෘෂිකර්මාන්තයේ සිට කාර්මික කරණය කරා ගෙන ගියේ ලෝක ආර්ථිකයෙන් ඈත්වී නොව ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීමෙන් යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වැනි සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් වික්‍රමසිංහ මහතා ඒ බව කීය.

කෘෂිකර්මාතයේ සිට දැන් සයිබර් යුගය දක්වා යන චීනයේ ගමන ලංකාවටත් වැදගත් ආදර්ශයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව මෙම සංවත්සර උත්සවය සංවිධාන කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා :- අපි සියළු දෙනාම අතීතය ගැන අද සිහිපත් කරනවා. ශ්‍රී ලංකාවත්, චීනයත් අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන ආරම්භ කළේ 1919 වසරේදීයි. එදා ලංකාවේ අපි "ලංකා ජාතික කොංග්‍රසය" ආරම්භ කළා. චීනය "මැයි 04" නම් ව්‍යාපාරය ආරම්භ කළා. එම ව්‍යාපාරය හරහා තමයි 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවුණේ.

චීන කොමියුනිස්ට් පක්ෂය තම 100 වන සංවත්සරය සමරන මේ මොහොතේ මාගේත්, එක්සත් ජාතික පක්ෂයේත් සුබ පැතුම් ඉදිරිපත් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. 1949 මාවෝ සේතුං නායකතුමා චීන ජනරජය ඇති කර ඉන් අවුරුදු 100කට පස්සේ චීනයට ස්ථාවරභාවයක්, ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. චීනයේ දුප්පත්කම නැති කිරීමට චීන ජනරජය කටයුතු කර තිබීම අගය කළ යුතුයි.

එදා වෙනස් වූ ලෝකයෙන් චීනය බලවතකු කරන්න චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නායකත්වය දුන් ප්‍රබලයෙකු වන්නේ ඩෙන්ෂියාඕ පිං ජනාධිපතිතුමායි. ඒ කාලයේ දී චීන අත්දැකීම් මත චීනයටම අනන්‍ය සමාජවාදයක් ඇති කළා. එදා ආර්ථික හා සමාජමය වශයෙන් ලෝක විපර්යාස සිදු වන කාලයේදී තමයි ලංකාවේත් විවෘත ආර්ථිකය ඇති කොට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බිහි කළේ.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් නවීකරණ ප්‍රතිපත්ති 04 ක් නිර්මාණය කළා. ආර්ථිකය නවීකරණය කිරීම, කෘෂිකර්මය නවීකරණය කිරීම, විද්‍යාව හා තාක්ෂණය නවීකරණය කිරීම, ජාතික ආරක්ෂාව නවීකරණය කිරීම ඒ ප්‍රධාන කරුණු 04 යි. ආර්ථිකය විවෘත කිරීමෙන් චීනයට සංවර්ධනයේ දොරටු විශාල වශයෙන් විවර වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ඉලක්ක 03 ක් පදනම් කරගෙන මූලික ඉලක්කයට පැමිණියා.1983 සිට 1990 දක්වා දළ ජාතික නිෂ්පාදනය දෙගුණයක් කිරීම, 1980 පැවැති දළ ජාතික නිෂ්පාදනය 2000 වර්ෂය වන විට හතර ගුණයක් කිරීම, 2020 වන විට එරට ජනතාවට ගෝලීය මට්ටමෙන් මධ්‍යම පරිමාණයේ ඒකපුද්ගල ආදායමක හිමිකාරීත්වයක් ලබාදීම, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක තුන වුණා.

එම ගමන ජියෑන් ජෙමිං ජනාධිපතිතුමාත්, හු ජිංටෝ ජනාධිපතිතුමාත් ඉදිරියට ගෙන ගියා. අද ෂී ජිං පිං ජනාධිපතිතුමා යටතේ චීන ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ඉහළින් තහවුරු කිරීමට විශාල සංවර්ධනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සමගම හරිත ආර්ථිකයක් ලබා දෙන්න ක්‍රියා කර තියෙනවා. විශේෂයෙන්ම නවීන සේද මාවත (Belt and Road Initiative) මාර්ගය මගින් ආසියාව, අප්‍රිකාව හා යුරෝපය එකතු කරන නව ආර්ථික රාමුවක් ඇති කරනවා. ලෝකයේ මෙවැනි ආර්ථික රාමුවක් යළිත් ආසියාවෙන් ඇති වෙන්නේ පළමු වරටයි.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් කාර්මික නොවුනු කෘෂිකාර්මික රටක් කාර්මිකකරණය වූ රටක් බවට පත් කරන්නත්, තාක්ෂණික රටක් බවට පත් කරමින් සයිබර් යුගයකට ගෙන යෑමත් දක්වා වූ ඒ අත්දැකීම් දියුණුව සිතන අපි හැමෝටම වැදගත්. චීන කොමියුනිස්ට් පක්ෂය යථාර්තය හඳුනාගෙන, ලෝක දියුණුව හඳුනාගෙන මේ සියලු කටයුතු ආරම්භ කළා. ලෝකයෙන් හෝ ලෝක ආර්ථිකයෙන් ඔවුන් ඈත් වුණේ නැහැ. ඒ සියල්ලටම ඇතුළු වී අවසානයේ ගෝලීයකරණය තමන්ගේ ප්‍රයෝජනයට ගත්තා.

චීන කොමියුනිස්ට් පක්ෂය චීනයට දුන්න ඒ නායකත්වය අපි අගය කළ යුතුයි. මොකද අපේ රටවලට එය ඉතාම වැදගත්. මෙයින් ඉගෙනගත හැකි පාඩම් ගණනාවක් අප වැනි රටවලට තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අද ලෝක ආර්ථිකයේ බලවත්ම රාජ්‍ය බවට පත්ව තිබෙනවා. චීනයේ දියුණුවෙන් ආසියාව ඉදිරියට පැමිණ සිටිනවා. අනාගත සයිබර් යුගයට යන දියුණුව ශ්‍රී ලංකාවට අදාළ වන්නේ කෙසේද යන්නත් එයින් දියුණුවට යන්නේ කෙසේද යන්නත් අපම වටහා ගත යුතු කරුණක්. ලෝක බලවතකු වෙමින් චීන කොමියුනිස්ට් පක්ෂයට, චීනයට නායකත්වය දෙමින් ලෝක සාමය තහවුරු කිරීමට විශාල වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමැතියි.

චීනයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත් යළිත් සුබ පැතුම් එකතු කරමින්, මට මේ අවස්ථාවට ඇරයුම් කිරීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ද මාගේ ස්තූතිය නැවත එක් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.