‘‘කම්කරු කොංග්‍රසයේ කරුණු 31 ට එකඟවන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘


(රංජිත් රාජපක්ෂ)

වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය සකස් කර ඇති කරුණු 31 ට එකඟතාවය පල කරන ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසය අද (30) කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන එස්.සත්‍තිවේල් සහ එම්.රාමේෂ්වරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

දැනටත් ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවත්, තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීමෙන් පසු තම පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් එම අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර තම පක්ෂයේ ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට එකඟතාවය පල කරන ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය දැක්වීම පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ දේශිය සභාව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එලඹෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්.සත්තිවේල් මහතා පැවැසීය.

ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සමඟ නිල නොවන මට්ටමන් දැනටමත් සකච්ඡා කර ඇති බවද එස්.සත්තිවේල් මහතා පැවසීය.

වතුකරයට විශ්ව විද්‍යාලයක් , වතුකරයේ ජනතාවට සාධාරණ වැටුපක් , රාජ්‍ය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බඳවා ගැනීම් , වතු රෝහල් රජයට පවරා ගැනීම , වතු කම්කරු නිවාස ප්‍රශ්නය විසදීම , වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පුවක් සමඟ ඉඩම් ලබා දීම ඇතුළු කරුණු ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කරුණු 31 ඇතුළත් බව ද ඒ මහතා පැවැසීය.