‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත්  පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය.

පක්ෂයේ ව්‍යවස්ථාවට  අනුව  පක්ෂ සම්මේලනයක් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තු කණ්ඩායමට රැස්වී  පක්ෂ නායකත්වය තීරණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු  මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය මාරු කිරීමේ හෝ ඉවත් කිරීමේ හෝ කිසිඳු බලයක් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා  මහමැතිවරණයෙන් පසු තේරී පත්ව එන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සාමාජිකයන් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකළ යුතුව  ඇති බවත් සඳහන් කළේය.

එක්සත්  ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිඳු වෙනසක් මේ වෙලාවේ සිදු නොකිරීම  පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ගත යුතු ඉතාම වැදගත් තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

නායකත්වය සම්බන්ධයෙන් කුමන රැස්වීමක් තිබුණත්  අමුතු තීරණයක් නොලැබෙන බවත් කී මන්ත්‍රීවරයා පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බලවේග සියල්ලක්ම  නියත වශයෙන්ම පරාජය කරන බවත් වැඩිදුරටත් පැවැසීය.