‘‘උසස් පෙළ ගැන මැදහත් තීරණයක් ගන්නවා‘‘


(යොහාන් භාසුර)

උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව මත දෙකක් තිබීම නිසා තාක්ෂණික උපදෙස් අනුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

විෂය නිර්දේශ ආවරණය කර නොමැති වීම නිසා විභාගය කල්දමන ලෙස පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලා සිටින බවත් ප්‍රමාදයකින් තොරව විභාගය ඔක්තෝබර් මස පවත්වන ලෙස දෙවැනි වර විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව සාධාරණ තීරණයක් ගැනීමේදී විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් සහ කාර්යක් පැවරෙන බවත් මෙහි පළමු පියවර ලෙස විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීම ආරම්භ කළ බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පළමු වරට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ලක්‍ෂ දෙකක් පමණ ද, දෙවැනි වරට පෙනී සිටින අපේක්‍ෂකයන් 150,000ක් පමණ ද, පෙනී සිටීමට නියමිත බවත්ය.